[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති ධුරයට අත්දැකීම් පිරි ලාංකේය නියෝජනය

ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති ධුරයට අත්දැකීම් පිරි ලාංකේය නියෝජනය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ආරම්භ වන්නේ ලාංකේය බොදු ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ලංකාවේ සියලුම බෞද්ධ ආයතන ඒකරාශී කොටගත් ප්‍රධාන ආයතනයක් ලෙසිනි.

ඒ සුවිශේෂී ක්‍රියාවලිය ලාංකේය බොදු ජනතාවට පමණක් සීමා නොකොට ලෝක බෞද්ධ ජනතාව ද ඒකරාශී කොට, ඔවුන්ගේ ද උන්නතිය වෙනුවෙන් වැඩ කරන්නට ලෝක බෞද්ධ සම්මේලනයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව සාකච්ඡා කෙරෙන්නේ 1945 දී කෑගල්ලේ පැවති සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන සමුළුවේ දී ය. එය මල්පල ගැන්වෙන්නේ එම සභාපති මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ උත්සාහයේ හා කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

1948 වසරේ පමණ අමෙරිකාවට ගිය මලලසේකර මහතා විසින් ආපසු එන ගමනේ දී ජපානය ඇතුළු තවත් රටවල් රාශියකට යමින් ලෝක බෞද්ධ සමුළුවක් ඇරඹීමට ලංකාවට පැමිණෙන ලෙස එම රටවල බෞද්ධ නියෝජිතයන්ට ඇරයුම් කරන ලදී.

ඒ අනුව 1950 මැයි මස 25 වැනි දින ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රටවල් 29ක නියෝජිතයින් 129 දෙනකුගේ සහභාගීත්වයෙන්, මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක බෞද්ධ මහා සම්මේලනය ආරම්භ වුණි. එහි සුවිශේෂත්වය වන්නේ, ථෙරවාද, මහායාන, තන්ත්‍රයාන, වජ්‍රයාන යන සියලුම පාර්ශ්වයන් සම්මිශ්‍රණය වී සෑදුණු සංවිධානයක් වීම ය.

ආරම්භක මූලස්ථානය එසේ ලංකාවෙන් ඇරඹුණු පසු 1958 වසරේ මියන්මාර් ජාතික යූ.චාන්. හ්ටුන් මහතාගේ සභාපතිත්වයෙන් මියන්මාරයේ යැංගොන්හිත්, 1963 පූන් පිස්මයි ඩිස්කුල් කුමරියගේ සභාපතිත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරත් ලෝක බෞද්ධ මහා සම්මේලනයේ මූලස්ථාන වුණි.

ඉන්පසු 1969 වසරේ දී ලෝක බෞද්ධයන්ගේ සාමාජිකත්වයෙන් 09 වැනි මහා සම්මේලනයේ දී ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ස්ථිර මූලස්ථානය තායිලන්තයේ බැංකොක් බවට පත් කිරීමට එම රැස්වීමේ දී තීරණය වුණි.

එහි සුවිශේෂත්වය වන්නේ තායිලන්ත රජු විසින් නගරය මැද විශාල භූමියක් ලෝක බෞද්ධ මහා සම්මේලනය වෙනුවෙන් වෙන්කිරීම හා සම්මේලනය පවත්වාගෙන යෑමට විශාල දායකත්වයක් ලබා දීම ය. එහි අවබෝධයක් වන්නේ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපති තායි ජාතිකයෙක් වීම ය.

ලාංකීය බෞද්ධයන්ට තවත් සුවිශේෂී වරප්‍රසාදයක් හිමිවූයේ 1972 වසරේ මැයි 26 වැනි දා ලෝක බෞද්ධ මහා සම්මේලනයේ දසවැනි සමුළුව ලංකාවේ පැවැත්වීම ය. බොරැල්ල කොළඹ තරුණ බෞද්ධ සංගම් පරිශ්‍රයේ දී ප්‍රථම ලෝක බෞද්ධ තරුණ මණ්ඩලය බිහි වූයේ ද එදින ය. ඉන්පසු 1984 වසරේ ද ලෝක බෞද්ධ මහා සම්මේලන මහා සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්විණි.

ඉන්පසු සමස්තලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ලෙස ජගත් සුමතිපාල මහතා ලෝක බෞද්ධ මහා සම්මේලනයෙන් ඉල්ලීමක් කළේ එහි 60 වැනි සංවත්සරය, 2010 වසරේ දී ලංකාවේ දී පැවැත්වීමට ය. එහෙත් මින් පෙර ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු සමුළුවක දී ඇති වූ ප්‍රශ්නකාරී තත්ත්වයක් මත ලංකාව හා බෞද්ධ මහා සම්මේලනය ගැන ලෝක බෞද්ධයන් අතර යම් අවඥා සහගත තත්ත්වය ඇති වී තිබුණි.

2008 වසරේ දී ජගත් සුමතිපාල මහතා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවීමෙන් පසු ජපානයේ පැවැති ලෝක බෞද්ධ සමුළුවට සහභාගි වන විට වසර 10 ක හිඟ සාමාජික මුදලක් ඉතිරි වී තිබුණි. හිඟ මුදල් ගෙවීමෙන් අනතුරුව නැති වූ කීර්ති නාමය ද යම්තාක් දුරකට නැවත ගොඩනඟාගත හැකි වුණි. මේ අතර සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 90 වැනි සංවත්සරය 2009 වසරේ පැවැත්වීමට යෙදුණි. ඒ අනුව ජගත් සුමතිපාල මහතාගේ ආරාධනයෙන් ලෝක බෞද්ධ සම්මේලනයේ මහ ලේකම්තුමා ඇතුළු දූත පිරිසක් ඊට සහභාගි වුණි.

ඒ අවස්ථාවේ ඇති වූ පැහැදීම මත ලෝක බෞද්ධ සම්මේලනයේ 60 වැනි සංවත්සරය හා 25 වැනි සමුළුව 2010 වසරේ ලංකාවේ පැවැත්වීමට එකගතාව පළවුණි. එහිදී සිදුවූ ස්ථාවරයත් සමඟ ශ්‍රී ලංකාවේ ශ්‍රී නාමයත්, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ගැනත් තිබෙන ලැදියාව වැඩිවුණි.

ජපානය, කොරියාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව ආදී බොහෝ රටවල් ඊට සහභාගි වුණි. එහිදී ලංකාවේ සැලසුම් සහගත ක්‍රියාවලිය ගැන ඒ සියලු දෙනාගේ ප්‍රසාදය ඇතිවුණි.

එහිදී ලෝක බෞද්ධ සම්මේලනයේ සභාපතිතුමාගෙන් ජගත් සුමතිපාල මහතා වෙත විශේෂ ඉල්ලීමක් කෙරිණි. ඒ 2010 වසරේ සිට විධායක සභිකයෙක් ලෙස සම්බන්ධ වීමට ය. ඉන්පසු 2016 වසරේ සුමතිපාල මහතා ඒ තනතුරෙන් උපසභාපති ධුරයට පත්වුණි. එතැන් සිට මේ වනතෙක් උපසභාපති ධුරයේ කටයුතු කිරීමට ඒ මහතාට අවස්ථාව උදාවුණි. 2014 වසරේ දී එම උපසභාපති ධුරයට පත්වූයේ මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ය.

ලෝක බෞද්ධ ව්‍යාපාරික ප්‍රජා හමුවක් ප්‍රථමවරට පවත්වන්නට යෙදුණේ ද ජගත් සුමතිපාල මහතාගේ යෝජනාවක් අනුව ය. ඒ 2010 පැවති සමුළුවේ දී ය. ඒ අනුව 2011, 2012 සහ 2014 වර්ෂයන් හි තායිවානය, කොරියාව හා සිංගප්පුරුව ලෝක බෞද්ධ ව්‍යාපාර ප්‍රජා සමුළුව ඉතා සාර්ථකව පැවැත්වුණි.

2015 වසරේ දී ලෝක තරුණ බෞද්ධ සම්මේලනය, ලෝක බෞද්ධ සම්මේලනය හා එක්ව බෞද්ධ රටවලින් බෞද්ධ තරුණයින්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කළ නායකත්ව පුහුණු වැඩසටහන දැවැන්ත ව්‍යාපෘතියක් විය.

පසුගිය දශක දෙක තුළ ආසියාවේ, යුරෝපයේ සහ අමෙරිකාවේ පිහිටි ලාංකේය වෙහෙර විහාර සමඟ සබඳතා ඇති කරගනිමින් බොහෝ ආගමික කටයුතු කිරීමට මෙම මණ්ඩලයට හැකි විය.

2220 වසරේ චෙන්නායි දෙමළ බෞද්ධ සංගමය සමඟ සබඳතා ඇති කර ගනිමින් දෙමළ බසින් ලියැවුණු පොත්පත් ලබාදීම වැදගත් කාර්යයකි.

මේ අනුව 2010 වසරේ සිට ලෝක බෞද්ධ සම්මේලනයේ විධායක සභිකයකු ලෙස හා පසුව උපසභාපතිවරයකු ලෙස ජගත් සුමතිපාල මහතා බොදු සමුළුවට ජාත්‍යන්තර සබඳතා හා කාර්යයන් ශක්තිමත් ව හා පුළුල් ව ඉටුකර ගැනීමට කටයුතු කරමින් සිටී.

විශේෂයෙන් පුරාවිද්‍යාව සම්බන්ධව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියා කරමින් ඒ වටිනාකම් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සුවිශේෂී ය. විශේෂයෙන් ම බුදුන් උපන්දේශය, ඉන්දියාවේ පුරාවිද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළට සහය දැක්වමින් සුවිශේෂී කාර්ය භාරයක නියැළීම ලාංකිකයන්ට අභිමානයකි.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]