[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත්වී වදාළ නිල්වක්කේ සුගතවංශ නාහිමි

අපවත්වී වදාළ නිල්වක්කේ සුගතවංශ නාහිමි

ශ්‍යාමෝපාලිවංශික මහා නිකායන්තර්ගත කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කොළඹ මහා දිසාවේ උපප්‍රධාන සංඝනායක, කොටහේන ශී‍්‍ර පරමානන්ද පුරාණ විහාරාධිපතිව වැඩ විසූ ධර්මකීර්ති ශ්‍රී සුමංගල ධම්මක්ඛන්ධ ශාස්ත්‍රවේදී නිල්වක්කේ සුගතවංශ නා හිමිපාණන් වහන්සේ සංඝ සෝබන ගුණයෙන් යුත් තෙරපාණන් වහන්සේ නමකි. සසුන් කෙත ශෝභමානවත් කිරීම උදෙසා උන්වහන්සේ විසින් සිදුකළ ආගමික ශාසනික මෙහෙවර මෙන් ම යතිවරයාණන් වහන්සේ නමක් සතු අරුත්බර කතා බහ සුපසන් ඉරියව්, උතුම් ගුණාංගයන් කෘතවේදී කිසිවකුට අමතක කළ නොහැක.

1953 මැයි මස 30 වැනි දින මෙලොව එළිය දුටු උන්වහන්සේ පවුලේ සිව්වැන්නා ලෙස ඉපදී ලේකම් රාළලාගේ ජයවර්ධන බණ්ඩාර නමින් ළමා කාලය ගෙවූහ. කෑගලු බෞද්ධ මිශ්‍ර පාසල මඟින් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා පැවිදි දිවියට එළිඹියේ 1964 වර්ෂයේ දී ය. කොටහේන ශි‍්‍ර පරමානන්ද පුරාණ විහාරාධිපතිව වැඩ විසූ එල්ලාවල කල්‍යාණවංශ නාහිමිගේ ගුරුදේවත්වයෙන් නිල්වක්කේ සුගතවංශ නමින් පැවිදි බිමට පිළිපන් උන්වහන්සේ පොල්ගහවෙල වෙහෙරපිටිය පිරිවෙන, පැපිළියානේ සුනේත්‍රාදේවී පිරිවෙන, රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන ආදි ධර්මායතන මඟින් ස්වකීය අධ්‍යාපනය හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත්හ.

1980 ජුනි මස 17 වන දින ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ ශ්‍රී මංගල උපෝසථාගාරයේ දී එල්ලාවල කල්‍යාණවංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයේ පිහිටියහ.

මෙසේ සිය අධ්‍යාපනික හා ආධ්‍යාත්මික ශක්තීන් වර්ධනය කර ගනිමින් තමා ලබාගත් දැනුම බෙදා දීමට පරාර්ථකාමි වූ උන්වහන්සේ මාලගම්මන මහ පිරිවෙනේ හා මහනුවර විද්‍යාර්ථ පිරිවෙනේ ආචාර්යවරයකු වශයෙන් අමිල වූ උදාරතර මෙහෙවරක් සිදුකළ සේක. සිය ගුරුදේවයන් වහන්සේගේ අපවත්වීමෙන් හිස් වූ කොටහේන ශී‍්‍ර පරමානන්ද විහාරස්ථානයේ නායකත්වයට පත්වූ පසු උදාර ජාතික, ශාසනික හා සංස්කෘතික මෙහෙවරක් ඉටුකළහ.

ජාතික, ආගමික, ශාසනික වශයෙන් උදාරතර සේවාවක නියැළුණු සුගතවංශ හිමිට උදාරතර ශිෂ්‍ය පරපුරක් ද ඇත. ඒ සියලු පිරිස මෙන්ම සිය සහෝදර තඹවිට විමලවංශ හිමි සමඟ එක්ව පරමානන්ද විහාරයේ උන්නතිය වෙනුවෙන් කළ කටයුතු ඉතා ප්‍රශංසනීයයි. මේ අයුරින් සුවහසක් බොදු ජනයා වෙත අප්‍රතිහත කැපවීමෙන් ශාසනාලයැතිව කටයුතු කරමින් සිටි උන්වහන්සේ හදිසියේ රෝගාතුර වීමෙන් පසු 2014.10.02 වන දින සිහිනුවණින් යුතුව අපවත්වූ සේක. උන්වහන්සේගේ එම උදාර ගුණ සමුදායට කෘතගුණ සලකමින්, ගුණානුස්මරණය කිරීම සඳහා මෙවර ද ධර්ම දේශනා පිරිත් පින්කමක් හා සංඝගත දක්ෂිණාවක් ඔක්තෝබර් මස 21 වෙනි දින සිට ආරම්භ වී 25 වන දින කඨින පූජෝත්සවයට සමගාමීව සිදුකිරීමට, වත්මන් විහාරාධිපති තඹවිට විමලවංශ නාහිමිගේ හා විහාරාධිකාරි ලෙල්ලාගොඩ සීවලී මාහිමිගේ අනුශාසකත්වයෙන් දායක කාරකාදීන්ගේ එකමුතුවෙන් සියලු කටයුතු සංවිධානය කර තිබුණි. බුද්ධ ශාසනයටත්, රටටත්, ජාතියටත් මහඟු මෙහෙවරක යෙදී අපවත් වූ නිල්වක්කේ සුගතවංශ නාහිමියන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් පසක් වේවා'යි ප්‍රාර්ථනා කරමි.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]