[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පැල්මඩුල්ල සංගායනාවෙහි සත්‍ය තොරතුරු හෙළිකළ අපවත්වී වදාළ මඩලගම වජිරබුද්ධි මහ නාහිමිපාණන් වහන්සේ

පැල්මඩුල්ල සංගායනාවෙහි සත්‍ය තොරතුරු හෙළිකළ

අපවත්වී වදාළ මඩලගම වජිරබුද්ධි මහ නාහිමිපාණන් වහන්සේ

සම්බුදු සසුන වෙනුවෙන් දශක නවයක් පුරාවට තම දිවියම කැපකොට වසර 94ක් ආයු වළඳා පසුගිය දින අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ ඉද්දමල්ගොඩ විහාර පාර්ශවයේ මහානායක, රත්නපුර ආනන්ද මෛත්‍රිය සංඝරාජ විහාරය ඇතුළු විහාර ගණයන්හී නිර්මාතෘවර හා විහාරාධිපති, ත්‍රිපිටක විශාරද, සාහිත්‍ය කලා විශාරද, විද්‍යාලංකාර රත්න විභුෂණ, රාජකීය පණ්ඩිත, මඩලගම වජිරබුද්ධි ස්වාමින්ද්‍රයාණෝ කාලයේ වැලි තලාවෙන් වැසීගිය පැල්මඩුල්ල සංගායනා ඉතිහාසය නැවත මතුකරලීමට මහත් මෙහෙවරක් කළ යතිවරයාණ කෙනෙකි.

1860 සිට මෙරටට ඇතිවෙමින් පැවති ජාතික, ආගමික ප්‍රබෝධය නොයෙක් ප්‍රදේශවලට පැතිර යන්නට විය. පැල්මඩුල්ල “සුදර්ශන” නම් සංගායනා මන්දිරයත්, හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකළ පැල්මඩුලු විනය සංගීතියත් එලෙස නැගීගෙන ආ බොදු පුනරුදයේ ප්‍රතිඵලයකි. මේ අනුව මාතලේ අළු ලෙනේ දී සිදුකළ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪකරණයෙන් පසු එහි සදොස් තැන් නිදොස් කරමින් 1867-1868 කාලය තුළ සංගායනාව සිදුකොට වර්ෂ සියයක් ගතවීමෙන් පසු එනම් 1969 වර්ෂයේ දී එවකට විහාරස්ථානයේ විහාරාධිපති ව වැඩ විසූ ගඟුල්විටිගම පඤ්ඤාලෝක මහා නායක මාහිමියන්ගේ අනුශාසකත්වයෙන් “සුදර්ශන පැල්මඩුලු ධර්ම සංගායනා ශත සංවත්සර අනුස්මරණ කලාපය” නමින් විමර්ශනාත්මක ග්‍රන්ථයක් රචනා කිරීම හා හේන්පිටගෙදර ඤාණසීහ මහා නායක හිමිපාණන්ගේ හා ඩඩ්ලි සේනානායක අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මහා උත්සවයක් සිදුකොට එය සමාජගත කිරීම මඩලගම වජිරබුද්ධි මහ නා හිමියන් සුදර්ශන ධර්මශාලා විහාරයත්, එහි සිදුකළ සංගායනා ඉතිහාසයත් වෙනුවෙන් සිදුකළ විශිෂ්ට සේවාවකි.

එදා උන්වහන්සේ සිදුකළ එම සේවාව නොවන්නට අද පස්වන සංගායණාව පිළිබඳ ප්‍රකට නොවී ඉතිහාසයෙන් යටපත් වන්නට ද ඉඩ තිබුණි.

ඒ සඳහා අප මහ නා හිමියෝ තොරතුරු සොයා නොගිය තැනක් නැති තරම් ය. බුලත්ගම ධම්මාලංකාර මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ හා හික්කඩුවේ සුමංගල ස්වාමින්ද්‍රයන් වහන්සේ වාසය කළ ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානවලට ම ගොස් උන්වහන්සේ තොරතුරු ගවේශණය කළහ.

“මෙම ධර්ම සංගීතිය ලංකා ශාසන ඉතිහාසයේ මෑත භාගයේ සිදුවූ උසස් ම සිද්ධියක් වුවත් මේ පිළිබඳ මෙතෙක් ප්‍රමාණවත් සැලකිල්ලක් යොමු නොවීම විමසා බැලිය යුත්තකි. මේ පිළිබඳ සමකාලීන විද්වතුන් ප්‍රකාශ කර ඇති අදහස් උදහස් අනුව මෙය ලඝු කොට සැලකිය යුත්තක් නොවන බව පැහැදිලිව ම පෙනී යයි. 19 වැනි සියවසේ මැද භාගයේ දී කෙරුණු මෙම සංගායනාව තත්කාලීන සඟ සසුනේ වැජඹුණු අග්‍රගණ්‍ය පඩිවරුන් සම්බන්ධ කරගෙන හුදු ශාසනාලයෙන් කරන ලද්දක් බව සැලකිය හැකි වේ. මෙම සංගායනාව පිළිබඳ ව වර්තමාන ලේඛකයන් ලියන කියන දේට වඩා සමකාලීන හා පශ්චාත් කාලීන උගතුන් ප්‍රකාශ කර ඇති අදහස් හා වාර්තා මෙහි නියම තත්ත්වය බුද්ධිමත් ලෝකයාට වටහා දීමට සමත් වන බව ප්‍රකාශ කළ යුතු ය.

මෙහිලා අපේ ප්‍රයත්නය වනුයේ ද මෙම සංගායනාව පිළිබඳව ඇති ඓතිහාසික වාර්තා සෑහෙන පමණක් තෝරාගෙන එමඟින් මෙහි ඇති නියම තත්ත්වය මතු කර දැක්වීමයි.”

නිකාය භේද ඇතුළු පසුකාලීන විවිධ ගැටලුකාරී තත්වයන් නිසා යටපත් ව පැවති මෙම සංගායනා ඉතිහාසය ගැන සෙවීමට උන්වහන්සේට තිබූ උනන්දුව ඉහත උපුටනයෙන් සිතාගත හැකි ය. තමන්ගේ ලේඛන කුසලතාව නිස්සරණාධ්‍යාශයෙන් සසුන වෙනුවෙන් කැප කරමින් සිදුකළ එම මෙහෙවර සදානුස්මරණීය වෙයි. එහි තවදුරටත් මෙසේ සඳහන් වෙයි.

මෙසේ ලිපිය ආරම්භ කළ උන්වහන්සේ කෘතිය රචනා කිරීම සඳහා එම සංගායනාව සිදුකළ 1860 දශකයේ රාජ්‍ය ලේඛනාගාරයේ පැරැණි පුවත්පත් අධ්‍යනය කර ඒවා මහත් පරිශ්‍රමයක් දරමින් පිටපත් කොට කෘතියට එකතුකොට තිබේ. ඉන් කොටසක් මෙසේ ය.

“1888 ඔක්තොම්බර් 11 වැනි දින ලක්රිවිකිරණ පත්‍රයේ පළකර ඇති ප්‍රාරම්භක නිවේදනය. ඉන් පසු සර්වඥ ධාතූන් වහන්සේලා වැඩූ රන් රිදී මා හැඟි කරඩු ඇතුන් පිට තනවන ලද රන්සිව් ගෙවල්වල හිඳුවා බුද්ධාදී උතුම් රත්නය විසිතුරු මහත් පෙළහරින් කළුතර වස්කඩුව ආදී ගම්වල වැසි සද්ධාවන්තයන්ගේ උපකාරත් ඇතුළුව ඒ අතර විහාර වලිනුත් සමර්ථ ස්වාමින් වහන්සේලා ලබාගෙන පානදුරේ විහාරයට පැමිණියා ය.

“අපමණ ආදර සත්කාර පුද සිරිත් ලදින් ජූලි මස 20 වන දින පැල්මඩුල්ලේ සුදර්ශනාරාම නමින් ප්‍රසිද්ධ අපගේ මහා විහාරයට එකී තුණුරුවන් මා හැඟි ලෙස වඩමවා ගන්නට යෙදුනේ ය.”

මෙසේ සංගායනාව පිළිබඳ කෘතිය රචනා කොට ඉන් නොනැවතුණු අප මහ නා හිමියෝ විවිධ සඟරා සඳහා ද ලිපි ලියා පළකොට තිබේ. එම සංගායනාව පිළිබඳ දර්ශනපති උපාධියට පවා කරුණු සොයන බොහෝ පිරිසක් උන්වහන්සේ රචිත “සුදර්ශන” නම් ග්‍රන්ථය ආශ්‍රය කිරීමෙන් තවදුරටත් එම කෘතියේ සර්ව කාලීන වටිනාකම මැනවින් වටහාගත හැකි ය. මෙසේ සුදර්ශන ධර්මශාලා පින්බිම වෙනුවෙන් එවන් අගනා ධර්ම ශාස්ත්‍රීය සේවාවන් රාශියක් සිදුකරමින් සදානුස්මරණීය මෙහෙවරක් සිදුකළ මඩලගම අප මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රාර්ථනා සඵල වී අමාමහ නිවනට පැමිණෙත්වා.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]