[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

සම්බුද්ධ ශාසනාම්භරයේ සුදිලෙන පහන් තාරකාව

නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේ

අද්‍යතන සම්බුද්ධ ශාසනාම්භරයේ සුදිලෙන පහන් තාරකාවක් බඳු වූ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක, ගිරිහාගම ශ්‍රී සුමංගලාරාමාධිපති, යක්කල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති, මහාසද්ධම්මජෝතිකධජ, සාහිත්‍යචක්‍රවර්තී, ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නොවැම්බර් මස විසි හය වැනි දින ස්වකීය පුණ්‍යවන්ත ජීවන ගමනේ සිවු සැත්තෑ වන විය සපුරමින් පන් සැත්තෑවන වියට පා තබති.

වර්ෂ 1948 නොවැම්බර් මස 26 වන දින සාරසියපත්තුබද ගලසියපත්තුවෙහි නියංගොඩ ග්‍රාමවරයේ මොළගොඩ කෝරළේ නිවසෙහි ගෘහස්වාමී වූ ගුරු - විදුහල්පති යුවලක් වන හේරත් රාජකරුණා වාසල මුදියන්සේලාගේ කුඩාබණ්ඩා නියංගොඩ මැතිඳුන්ගේ සහ මොළගොඩ

රාජකරුණා අතපත්තු වාසල මුදියන්සේලාගේ බිසෝමැණිකේ මැතිණියගේ පුත් රුවනක ලෙසින් ජන්මලාභය ලද අනුනාහිමිපාණන් වහන්සේ මොලගොඩ පියදස්සි විද්‍යාලයෙන් සහ මාතලේ විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූහ.

වර්ෂ 1964 මැයි මස 26 වැනි දින නියංගොඩ පුරාණ විහාරයේ දී ප්‍රව්‍රජ්‍යා සම්පත් ලැබූහ.

පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති ව වැඩසිටි සාර්වභෞම පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ නියංගොඩ ශ්‍රී ධර්මාලෝක පිරුවනින් සහ වෑගම රත්මලේ රත්නසේල පිරුවනින් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කොට පිරුණු විසි වයස් ඇතිව වර්ෂ 1970 වෙසක් පුර පසළොස්වක පොහෝ දින මල්වතු මහා විහාරයේ රාජපූජිත මංගලෝපෝෂථාගාරයේ දී අතිපූජ්‍ය සිරිමල්වත්තේ ආනන්ද මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් වාහලනාග නාමයෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වූහ.

1974 වසරේ ශාස්ත්‍රවේදී උපාධිය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ලබා පරිවේණාචාර්යයන් වහන්සේ නමක වශයෙන් හොරණ කුඩා උඩුව නාලන්දා පිරුවනෙහි සහ කොළඹ හුණුපිටිය ගංගාරාමස්ථ ඥානේශ්වර පිරුවනෙහි ද, පාඨශාලාචාර්ය ධර්මාචාර්යයන් වහන්සේ නමක වශයෙන් ගිරිහාගම නියාමක විද්‍යාලය, පරණගම මහා විද්‍යාලය, මහවැලි මහා විද්‍යාලය සහ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ සේවය කොට විශ්‍රාම ලැබූහ.

අතිපූජ්‍ය සිරිමල්වත්තේ ආනන්ද මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාදයෙන් වර්ෂ 1976 දී මල්වතු මහාවිහාරයේ කර්මවාගාචාර්ය පදවියකට ද, 1986 දී කාරක සංඝසභික පදවියකට ද පත් වූ නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේගේ උභය ලෝක ශාසනික මෙහෙවර පිළිබඳ ප්‍රසාදයට පත් අතිපූජ්‍ය රඹුක්වැල්ලේ විපස්සි මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් 1990 වර්ෂයේ දී මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පදවිය ද, 1993 වර්ෂයේ දී මහා ලේඛකාධිකාරී පදවිය ද, ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික පදවිය ද පිරිනමන ලදී. මෙලෙස ගෘහස්ථ ප්‍රව්‍රජිත චිත්තාරාධනය ලබමින් ලෝක ශාසනික අර්ථචර්යාවෙහි පිළිපන් නාහිමිපාණන් වහන්සේගේ මහරු මෙහෙවර කෙරෙහි ප්‍රසාදයට පත් මල්වතු මහාවිහාර පාර්ශ්වයේ විංශත්වර්ගික කාරක මහා සංඝ සභාව මගින් 2004 වර්ෂයේ දී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල අනුනාහිමිපාණන් වහන්සේ මහා නායක පදවියට පත් වීමෙන් පුරප්පාඩු වූ අනුනායක පදවිය පුද දෙන ලදි.

අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වියත්, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි හැසිරෙන සංඝශෝභන ගුණයන්ගෙන් පරිපූර්ණ වූ මහා යතීන්ද්‍රයන් වහන්සේ නමකි. බෞද්ධ විශ්වවිද්‍යාල තුනකින් සම්මාන ආචාර්ය උපාධි ද, පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන මගින් ස්ථවිර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී ගෞරව නාමය ද, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් සාහිත්‍යචක්‍රවර්තී ගෞරවෝපාධිය ද, බුරුම රජය මගින් මහාසද්ධම්මජෝතිකධජ ගෞරවාභිධානය ද පිරිනැමූහ. එසේම 2020 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය ආයතනය විශ්වවිද්‍යාලයක් ලෙසට උසස් කළ අවස්ථාවෙහි අභිනව විශ්වවිද්‍යාලයේ ප්‍රථම කුලපති පදවිය අනුනාහිමිපාණන් වහන්සේ වෙත පුද දෙන ලදී.

දුටු දුටුවන්ගේ නෙත් සිත් ඇදීයන රූපකායෙන් ද, ගුණ නුවණින් ද, සංඝශෝභන අලාමක ගුණයන්ගෙන් ද පිරිපුන්ව ලෝකාර්ථචර්යාව උදෙසා සදා ඇප කැපව සකල ලාංකේය බෞද්ධ ජනතාවගේ පමණක් නොව අන්‍ය ආගමිකයන්ගේ ද සදාදරයට, ගෞරව භක්ති ප්‍රණාමයට පාත්‍ර වෙමින් සංඝරාජවරයකු සේ වැඩ සිටින අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට එකී මෙහෙවර නොකඩ කොට සිදු කරනු පිණිස විංශත් ශතවර්ෂාධික කාලයක් ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධි සාධනය වේවා' යි ප්‍රාර්ථනා කොට සිටිමු.


පැවිදි දිවියට වසර පනහක් සපිරුණු

කහත්තේවෙල ශ්‍රී චන්ද්‍රජෝති නාහිමි

බණ්ඩාරවෙල,කහත්තේවෙල ග්‍රාමයේ ඊ.එම්.අප්පුහාමි හා ආර්.එම්.උක්කුමැණිකේ යන දෙමව්පියන්ට දාව 1958.07.29 දින මෙලොව එළිය දුටු සෙනෙවිරත්න බණ්ඩාර පින්වත් කුමරු නම් විය.

1972 වසරේ ජූලි 22 වැනි දින කහත්තේවෙල චන්ද්‍රජෝති යන පැවිදි නාමයෙන් උතුම් වූ පැවිදි භාවයට පත්වූහ.

කොත්මලේ, වටද්දර ඥානෝදය පිරිවෙනට හා ගම්පහ විද්‍යාරවින්ද මහ පිරිවෙනට ඇතුල් වී පිරිවෙන් අධ්‍යාපනය ඉතා සාර්ථක අන්දමින් ලැබූහ.

1981 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්වී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන, ගම්පහ විද්‍යාරවින්ද පිරිවෙන් විහාරාධිපති හා එංගලන්තයේ තෙම්ස් බෞද්ධ විහාරාධිපති පහළගම සෝමරතන නාහිමියන්ගේ මඟපෙන්වීම හා ආශිර්වාදය මත ලන්ඩනයේ, තෙම්ස් විහාරස්ථානයට උන්වහන්සේ වැඩම කරන ලදී.

නැවත 2012 වසරේදී යළි තම මවුරටට වැඩමකොට රාවණාගොඩ ශ්‍රී විද්‍යාලෝක පිරිවෙනේ පරිවේණාධිපති ලෙස වසර කිහිපයක් කටයුතු කොට භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන් විශාල කැප කිරීමක් කරන දහම් සරසවියක් අංග සම්පූර්ණව බිහිකර කහත්තේවෙල චන්ද්‍රජෝති නාහිමියන් 2018 වසරේ දී පිරිවෙන් ගුරු අධ්‍යාපනයෙන් විශ්‍රාම ලැබූහ.

මේ වන විට උතුම් වූ පැවිදි දිවියට පත්ව පනස් වසරක කාලයක් ගත කරන කහත්තේවෙල චන්ද්‍රජෝති නාහිමියන් දැනට සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ කොත්මලේ ප්‍රධාන සංඝනායක ධුරය හොබවන අතර, ඊට අමතරව උන්වහන්සේ කොත්මලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි හිමියන් ලෙස වසර ගණනාවක් තිස්සේ ප්‍රදේශයේ බෞද්ධ ආගමික කටයුතු හා එහි උන්නතිය වෙනුවෙන් විශේෂයෙන් ම ප්‍රදේශයේ දහම් අධ්‍යාපනය වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් සිදු කරති.

පැවදි දිවියේ පනස් වසරක් සපුරන චන්ද්‍රජෝති නාහිමියන්ට තව තවත් ලෝ සසුන් වැඩ වඩන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබේවා'යි ප්‍රාර්ථනා කරමු.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]