[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරාර්ථ චර්යාව වගකීම හා යුතුකම ෙලස සැලකූ උතුම් යතිවරයාණන් වහන්සේ ආචාර්ය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි

පරාර්ථ චර්යාව වගකීම හා යුතුකම  ලෙස සැලකූ උතුම් යතිවරයාණන් වහන්සේ

ආචාර්ය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි

කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසූ ආචාර්ය මාදුළුවාවේ සෝභිත මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් මෙම මස 08 වන දිනයට සත් වසරක් සම්පූර්ණ වේ. මෙම ලිපිය උන්වහන්සේට උපහාර වශයෙන් පළ වේ.

සිය ආත්මාර්ථ සාධනය වෙනුවෙන් මෙන්ම පරාර්ථය වෙනුවෙන් දිවි හිමියෙන් ක්‍රියා කිරීම භික්ෂුවගේ ස්වභාවයයි. සිය රට, ජාතිය, ආගම වෙනුවෙන් තමන් වෙත පැවරුන ඓතිහාසික වගකීම මැනවින් අවබෝධ කොට ගෙන ඒ සඳහා අප්‍රමාණ කැපකිරීමක් කළ ශ්‍රේෂ්ඨ යතිවරයකු ලෙස මීට සත් වසකට පෙර අපවත් වී වදාළ අපේ මාදුළුවාවේ සෝභිත මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ හඳුන්වාදිය හැකි ය.

1942 මැයි මස 29 වන දින කුරුවිට ආරච්චිගේ කරලිනාහාමි හා පතිරගේ දොන් පීරිස් අප්පුහාමි යන දෙමාපියන්ගේ පුත්රුවනක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක මාදුළුවාව ග්‍රාමයේ දී උපත ලද උන්වහන්සේ මාදුළුවාව ග්‍රාමය මෙරට පමණක් නොව දේශ දේශාන්තරයන්හි ප්‍රචළිත කිරීමට තරම් භාග්‍යවන්ත වූහ. මාදුළුවාව බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය හදාළ උන්වහන්සේ දෛවය සුදුස්සා සුදුසු තැනට යොමු කරනවා ය යන කියමන සනාථ කරමින් පැවිදි දිවියට පත්වීම සඳහා 1954 වර්ෂයේ දි කෝට්ටේ ශ්‍රී නාග විහාරයට පමුණුවන ලදී.

එවකට නාග විහාරාධිපති ව වැඩ විසූ මුල්ලේරියාවේ රේවත මාහිමියන් වහන්සේ, දේවහන්දියේ ශ්‍රී සද්ධාතිස්ස මහානායක මාහිමියන් වහන්සේ, අංගම්පිටියේ ගුණරතන මාහිමියන් වහන්සේ යන යතිවරයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1955 මැයි මස 06 වැනි දින කෝට්ටේ පාරේ ශ්‍රී ජයවර්ධනාරාමයේ දී පැවිදි දිවියට පත් වූ උන්වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ඇසුරින් සිය පැවිදි අධ්‍යාපනය හදාළහ.

යක්කඩුවේ පඤ්ඤාරාම, කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර, , බඹරැන්දේ සිරි සීවලී, කොටහේනේ පඤ්ඤාකිත්ති යන විශිෂ්ට යතිවරයන් වහන්සේ යටතේ උද්යෝගයෙන් අධ්‍යාපනය හදාළ උන්වහන්සේ පෙර කී යතිවරුන්ගේ ශාස්ත්‍රිය ඥානය පමණක් නොව පෞරුෂත්වය, රට, දැය , සමය වෙනුවෙන් ඇති කැපකිරීම් ආදි ගුණාංග ද සිය දිවියට සමීප කර ගත්හ.

1962 ජුනි 15 වන දින කෝට්ටේ රාජමහා විහාරීය සිරි මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලද උන්වහන්සේ 1963 වර්ෂයේ දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ.

මූලික උපාධියෙන් අනතුරුව අධ්‍යාපන සේවයට එක්වූ උන්වහන්සේ උඩුවේ නාලන්දාරාම පිරිවෙණෙහි ආචාර්යවරයකු ලෙස කලක් කටයුතු කළහ. අනතුරුව සිය ගුරු පරපුරෙහි කීර්තිමත් විද්‍යස්ථානයක් වන කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙණෙහි පරිවේණාධිපති තනතුර කලක් හොබවා ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙණෙහි නියෝජ්‍ය පරිවේණාධිපතින් වහන්සේ වශයෙන් විශ්‍රාම ගන්නා තෙක්ම සුවිශේෂී මෙහෙවරක් කළහ.

ගුරු දේවයන් වහන්සේගේ ඇවෑමෙන් කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති ධුරයට පත්වූ උන්වහන්සේ විහාරස්ථානය අංග සම්පූර්ණ ලෙස නිමවා ප්‍රදේශයට වටිනා සේවයක් කරන ස්ථානයක් බවට පත් කළහ.

අපේ සෝභිත මාහිමියන් වහන්සේගේ ජීවිතය උන්වහන්සේට ම ආවේනික වූවකි. තමන් වහන්සේ අයත් කෝට්ටේ මහා සංඝ සභාව මගින් අවස්ථා ගණනාවක දී ලබා දීමට සූදානම් වූ සියලු නායක පදවි ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ කාරක සභික ධුරයක් පමණක් දරමින් සංඝ සභාවට විශිෂ්ට මෙහෙවරක් කළහ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ පරිදි පරාර්ථ චර්යාව අකුරට ම ක්‍රියාත්මක කළහ.

උන්වහන්සේ සමඟ කටයුතු කිරීමට ගිහි පැවිදි කවුරුත් පි‍්‍රය කළහ. කිව යුතු දෙය කිවයුත්තාට නොබියව කීමත්, අව්‍යාජ නායකත්වයත්, ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තියත්, සුවිශේෂි පෞරුෂත්වයත්, කුමන අවස්ථාවකදී වුව ද ශ්‍රමණ සාරුප්‍යයට හානි නොවන ලෙස ක්‍රියා කිරීමත් ඉහත කී ප්‍රසාදයට හේතු වූහ. නායක පදවි කිසිවක් නොවූවත් උන්වහන්සේ කෙරෙහි රටේ පැවතියේ ගෞරවනීය හැඟීමක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

දුගී දුප්පත් අසරණ ජනතාවට නිතර පිහිට වූ උන්වහන්සේ යුද සමයේ රණවිරුවන්ගේ සුබ සාධන කටයුතු වෙනුවෙන් මෙන්ම සුනාමි අවස්ථාවෙහි දී එම අසරණ වූ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම ආදි පහසුකම් සපයා දීමෙන් ද ඉමහත් මෙහෙවරක් ඉටු කළහ. සිංහල ජාතියත්, බුදු දහමත් වෙනුවෙන් ඉටු විය යුතු සේවාවන් අකුරටම ඉටු කළ උන්වහන්සේ සියලු රටවාසින්ගේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතු තැන්හි ජාති ආගම් කුල භේදයන්ගෙන් තොරව නිර්භයව පෙනී සිටියහ.

ධර්ම දේශකයකු වශයෙන් ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ උන්වහන්සේ තරම් මෑත යුගයෙහි ධර්ම දේශනා කළ වෙනත් ධර්ම දේශකයෙකු නැති තරම් ය. උන්වහන්සේ සතු වූ ධර්ම ඥානයත්, ආරෝහ පරිනාහ දේහ විලාශයත්, වෙනත් කිසිවකුට හිමි නොවූ අපූරු කටහඬත්, සුමිහිිරි භාෂා විලාශයත් ප්‍රකට ධර්ම දේශකයකු වීමට උන්වහන්සේට ශක්තියක් වූහ.

තුන් නිකායට අයත් මහා සංඝයා වහන්සේ තමන්ගේ උත්සවයකට, දානෙට, බණට, පිරිතට උන්වහන්සේ වැඩමවා ගැනීමට මහත් කැමැත්තක් දැක්වූහ. එවන් අවස්ථාවල දී දහ නමක් වැඩ සිටියත් උන්වහන්සේට ම අනුශාසනාවක් පැවැත්වීමට ආරාධනා ලැබුයේ තුන් නිකායේම හැම භික්ෂුවක්ම උන්වහන්සේගේ දේශනා කෞශල්‍යය කෙරෙහි පැවති කැමැත්ත නිසාම ය.

කෙතරම් රටේත්, ලොවේත් ප්‍රසිද්ධියක් ඉසිලුවත්, ජනපි‍්‍රය වූවත් පුහු ආටෝපයන්ගෙන් තොර වූ උන්වහන්සේට ඕනෑම අයකුට පහසුවෙන් හමුවීමටත්, කතා බහ කිරීමටත්, ආරාධනාවක් කිරීමටත්, දුරකතනයෙන් සම්බන්ධ වීමටත් කලින් වෙලාවක් වෙන් කරගත යුතු වූවේ නැත. මහා මන්දිරයේ වුවත්, දුප්පත් පැල්පතේ වුවත් ලද ආරාධනාවෝ උන්වහන්සේ සතුටින් භාර ගත්හ. ඒවාට නිසි වෙලාවට වැඩමවා එම කටයුත්ත නිසි ලෙස කර දුන්හ.

අලුයම අවිදි වන උන්වහන්සේ සමහර දිනවලට උදේ හීල් දානයෙන් පසුව වැඩම කොට විවිධ පින්කම්, උත්සව, රැස්වීම්වලට වැඩමවා නැවත විහාරස්ථානයට වැඩම වන්නේ මධ්‍යම රාත්‍රියට ආසන්නව ය. නැවතත් පෙර දින මෙන්ම කාර්යබහුලව පොදු යහපත සඳහා කැප වී කටයුතු කළහ. තමන්ගේ පෞද්ගලික යහපත, සුඛ විහරණයට වඩා පොදු යහපත සඳහා කැප වී කටයුතු කළ උන්වහන්සේ තමන්ගේ පෞද්ගලික යහපත සුඛ විහරණයට වඩා පොදු සමාජයේ යහපත වෙනුවෙන් කැප වූහ.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පරාර්ථ චර්යාව සිය ජීවිතයේ ප්‍රමුඛතම වගකීම හා යුතුකම කර ගත් උන්වහන්සේ 2015 නොවැම්බර් මස 08 වන දින අපවත් වීමෙන් අප රටට, සසුනට ඇති වූ අඩුව තවත් දශක කිහිපයකටවත් සම්පූර්ණ වේ දෝයි සිතිය නොහැකි ය. එහෙත් උන්වහන්සේ නිරතුරුව බලාපොරොත්තු වූ යුක්තිය, සාධාරණය සැමට උරුම වන දේශයක් නිර්මාණය කිරීමට ඇප කැප වන්නෙමු නම් එය උන්වහන්සේට දක්වන උසස්ම ගෞරවය වනු ඇත. ඒ වෙනුවෙන් ගිහි පැවිදි අප කවුරුත් එකාවන්ව කැප වෙමු. අපේ මාදුළුවාවේ සෝභිත මාහිමියෝ නිවනින් සැනසෙත්වා.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]