[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලංකා සසුනඹර ආලෝකවත් කළ උත්තම ගණයේ ජ්‍යෙෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේ ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි

ලංකා සසුනඹර ආලෝකවත් කළ උත්තම ගණයේ ජ්‍යෙෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේ

ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි

එකුන් සැත්තෑ වසරක් ආයු වළඳා අපවත්වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති සද්ධම්මජෝතිකධජ ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ෂිත සිරිනිවාසාභිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක නාහිමිපාණන් වහන්සේ ලංකා සසුනඹර ආලෝකවත් කළ උත්තම ගණයේ ජ්‍යෙෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි.

යො හොති විසාරදො ච
බහුස්සතො ධම්මධරෝච හොති
ධම්මස්ස හොති අනුධම්මචාරි
ස තාදිසො වුච්චති සංඝ සොභනො

යමෙක් ව්‍යක්ත ද, විශාර ද, බහුශ්‍රැත ද, ධර්මධර ද, ධර්මයට අනුකූලව හැසිරෙන්නේ වේ ද හෙතෙම සංඝ ශාසනය බබුළුවන්නෙක් වේ.

එම බුදුවදන වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ ජීවන චරිතය හා ගැළපේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ. භික්ෂූත්වය ශෝභමාන කරන ගුණාංග රාශියකින් උන්වහන්සේගේ උදාර චරිතය සමන්විත වෙයි. පරාර්ථ චරණය පරමාදර්ශය කොටගත් උදාර සේවයක් ඉටුකළ සංඝ නේතෘවරයාණන් වහන්සේ නමක ලෙස දේශදේශාන්තරවල පවා ගෞරව බහුමානයට පාත්‍ර වූ උන්වහන්සේ අග්‍රගණ්‍ය උගත් යතිවරයාණන් වහන්සේ නමකි.

1953ක් වූ ජනවාරි මස 02 වන දින මාතලේ වගපනහ පල්ලේසිය පත්තුවේ පල්ලේගම ග්‍රාමයේ දී ජන්මලාභය ලැබූ උන්වහන්සේ කරුණාසිංහ මුදියන්සේලාගේ ටිකිරිබණ්ඩා නිලමේතුමා සහ දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමි නම්, සැදැහැවත් මව්පිය දෙපළගේ වැඩිමහල් පුත්‍ර රත්නය විය. කිතුල්හිටියාව රජයේ පාසලෙන් මූලික අක්ෂර ශික්ෂාව ලබා ගත් උන්වහන්සේ සංසාරගත පාරමිතා බලයෙන් 1968ක් වූ මැයි මස 09 වැනි දින උතුම් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූහ. අනතුරුව අනුරාධපුර මහා විහාර පිරිවෙන, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙන, සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙන, කොළඹ හුණුපිටිය ගංගාරාම ජිනරතන පිරිවෙන යන සම්භාවනීය පරිවේණස්ථානයන්හි ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබූහ.

නිසි වයස එළඹි කල්හි 1975ක් වූ මැයි මස 06 වැනි දින මල්වතු මහා විහාරයේ දී උතුම් වූ උපසම්පදා ශීලයට පත්වීමට තරම් පුණ්‍යවන්ත වූ උන්වහන්සේ එම කාල පරිච්ඡේදයේ දී ම කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ.

අටමස්ථානයේ චිරස්ථිතිය, අභිවෘද්ධිය පිණිස කැපවීමෙන් කටයුතු කළ උන්වහන්සේ රුවන්වැලි මහා සෑයේ සලපතළ මළුව ප්‍රතිසංස්කරණය කළහ. මිරිසවැටිය විහාරස්ථානයේ විහාරාධිකාරින් වහන්සේගේ වගකීම් භාරගත් උන්වහන්සේ එහි සංවර්ධනය උදෙසා සුවිශාල කර්යභාරයක් සිදු කළහ. අනතුරුව අභයගිරිය විහාරාධිපතීන් වහන්සේව වැඩ සිටි පෙරියන්කුලමේ උපතිස්ස හිමිපාණන් වහන්සේ අපවත්වීමත් සමඟ 1994 වර්ෂයේ දී අභයගිරි විහාරාධිකාරින් වහන්සේ ලෙස පත්වූ උන්වහන්සේ එහි සංවර්ධන කටයුතු රාශියක් සිදුකර ඇත.

රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරි වූ ඇතිනිමලේ ගුණරතන නාහිමියන් අපවත්වීමෙන් පසු 1995 වර්ෂයේ දී පල්ලේගම සිරිනිවාස නාහිමියෝ රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරීන් වහන්සේ ලෙස ශාසනික වගකීම් භාරගෙන සම්බුද්ධ ශාසනයේ චිර ජීවනය උදෙසා කැපවීමෙන් කටයුතු කළහ.

ශ්‍රී මහා බෝධියට පමණක් දෙවැනි වූ රුවන්වැලි මහා සෑ රාජයාණන් වහන්සේගේ භාරකාරත්වය ගෙන විහාරාධිකාරි ලෙස පත්වීමත් සමඟ 1995 වර්ෂයේ දී මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත්වූයේ " පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස" නම් වූ ගෞරව නාමයෙන් පිදුම් ලබමින් ය. අටමස්ථානාධිපතිව වැඩ විසූ පූජ්‍ය පල්ලේගම ඤාණරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත්වීමත් සමඟ අටමස්ථාන කාරක සභාවේ අනුමැතිය පරිදි 1997 වර්ෂයේ දී පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අටමස්ථානාධිපති ධුරයට පත්වූහ.

දේශදේශාන්තර බෞද්ධ අබෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ භාරකාරත්වය උසුලමින්, බෝධින් වහන්සේගේ ආරක්ෂාවට හා අලංකාරය පිණිස දෙවන රන්වැට ඉදිකිරීමේ භාරධූර වගකීම ඉතා සාර්ථකව නිමකරනු ලැබුවේ “අනුරාධපුර ජයශ්‍රී මහා බෝධි රන්වැට අරමුදල නමින් අරමුදලක් ද පිහිටුවමින් ය. මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ වැඩ විසූ යටිරාවන නාරද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 1969 වර්ෂයේ දී ජය ශී‍්‍ර මහා බෝධිය වටා පළමුවන රන්වැට ඉදිකළ කාල පරිච්ඡේදයේ දී පල්ලේගම සිරිනිවාස නාහිමියෝ තරුණ භික්ෂූන් වහන්සේ නමක් ලෙස එම ආදර්ශවත් බව උකහාගත්හ.

ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආධාරක කණු රන් ආලේප කිරීම, පළමු රන්වැට හා දෙවන රන්වැට නැවත ප්‍රතිනිර්මාණය කිරීම, පැරැණි ප්‍රාකාරයට මායිම් ව පැරැණි පුරාවස්තු හා ඓතිහාසික සාධක සංරක්ෂණ, තැටියක් නිර්මාණය කිරීම, දෙස් විදෙස් වැඩම කරන ගරුතර මහා සංඝරත්නයේ පහසුව වෙනුවෙන් ලේඛනාගාරයක් හා පුස්තකාලයකින් සමන්විත අංග සම්පූර්ණ සංඝාවාසයක් ඉදිකිරීම, මහා විහාරය සතුව පැවැති ඉතාමත් පැරැණි ලිපි ලේඛන සංරක්ෂණය කිරීම පිණිස ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ලේඛනාගාරයක් හා පුස්තකාලයක් ඉදිකිරීම ආදීය ඓතිහාසික වන වැදගත් සිදුවීම් ය.

ලංකාරාම පුදබිම, ජේතවනාරාම පුදබිම, ථූපාරාම පුදබිම, මිරිසවැටිය පුදබිම, සංවර්ධනය කිරීමට කටයුතු කළ උන්වහන්සේ භික්ෂූන් වහන්සේට වගේම සැදැහැවතුන්ට පැවැති පානීය ජල ප්‍රශ්නය ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ සහයෝගයෙන් විසඳීමට කටයුතු කර ඇත.

උන්වහන්සේගේ අනුශාසකත්වය මත “අනුරාධපුර වකුගඩු ආරක්ෂණ පදනම” පිහිටුවා එමඟින් අසරණ වූ වකුගඩු රෝගීන්ට ශක්තියක් විය. තවද, අනුරාධපුර මහරෝහලේ වකුගඩු රෝගීන් වෙනුවෙන් වෛද්‍ය උපකරණ ඇතුළු සියලු පහසුකම් සහිත දැඩි සත්කාර වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට ද කාරුණික වූ නාහිමිපාණන් වහන්සේ ජාතික, ආගමික, සාමාජීය වශයෙන් අමිල මෙහෙවරක් ඉටු කළ සුවිශේෂී යතිරුවනක් වශයෙන් හැඳින්විය හැකි ය.

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය චිරස්ථිතිය පිණිස අනුපමේය මෙහෙවරක් ඉටුකළ උන්වහන්සේ ශාසනයේ චිර ජීවනය උදෙසා ධර්මකාමි ශික්ෂාකාමි සඟ පරපුරක් සම්බුද්ධ ශාසනය වෙත දායාද කිරීමට ද ක්‍රියා කළහ.

අපවත්වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති සද්ධම්මජෝතික ධජ ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ෂිත සිරිනිවාසාභිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක නාහිමිපාණන් වහන්සේට උතුම් වූ නිර්වාණාවබෝධය ම ලැබේවා !

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]