[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යුතුකම ඉටුකළා මම පුතුගේ නමට

යුතුකම ඉටුකළා මම පුතුගේ නමට

“භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ ජීවත්වන මිනිසුන්ට තිබෙන ලොකුම වස්තුව කුමක් ද?”යි දිනක් එක්තරා දෙවියෙක් තථාගතයන් වහන්සේ වෙත පැමිණ විමසා සිටියා.

එවිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ

“පින්වත් දේවේන්ද්‍රය, මේ ලෝකයේ මිනිසුන්ට තිබෙන ලොකුම වස්තුව දරුවන්" ය. යනුවෙනි.

මවුපියන්ට තිබෙන ලොකුම වස්තුව තමන්ගේ දරුවන්. එහෙත් ඒ දරුවෝ ගුණ දහමින් පෝෂණය නොකර හදාවඩා නො ගත්තේ නම් මහා උගතෙක් වුවත් ඔහු මානුෂීය අදහස් නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. මවුපියන් ගැන කිසිදු වටිනාකමක්, තෙතමනයක්, ආදරයක් නැති දරුවෝ වෙනවා. මවුපියන් ඉතා දුක සේ ඉපයූ මිල වස්තුව පවා විනාශ කර දමනවා. මවුපියන්ගේ ධන ධාන්‍ය පමණක් නොවේ ඔවුන් මහන්සියෙන් උපයා ගත් අභිමානයක්, ගෞරවයක් තිබෙනවා නම්, සමාජයේ යම් පිළිගැනීමක් තිබෙනවා නම් ඒ සියල්ල නැති වී යන්න හේතුවක් වෙනවා දරුවන්ගේ නොමනා ක්‍රියා.

අප අද කතා කරන මෙම කතාවට වස්තු බීජය වන ගීතය තුළින් අපි බලාපොරොත්තු වුණේ මවු සෙනෙහස ඉස්මතු කිරීමට යි. තමන් ගේ දරුවා හොඳ දරුවෙක් කිරීමේ අදහසින් අම්මා දරුවා පැවිදි කළත් ඒ පැවිදි ජීවිතය තුළ දී නොමඟ යාම සහ යම් යම් පෙළඹවීම් නිසා පොඩි නමක් මඟ වරද්දා ගත් ආකාරය යි. ශාසනික මාර්ගයෙන් පරිබාහිරව ගිහියකු ලෙස ඇතැම් අවස්ථාවල හැසිරීම නිසාම පොඩිනම ගිහි සමාජය තුළින් ප්‍රතික්ෂේප වුණා.

යම් ගමක වේවා, සමාජයක වේවා, රටක වේවා දරුවෙක් ප්‍රතික්ෂේප කළත් අම්මා තම දරුවා කිසිලෙසක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බොහෝ දරුණු පුද්ගලයන් පවා පවසන්නේ තමා සිපිරි ගෙදරට නියම වූ දා හිටපු මිතුරන් සියල්ලෝ ම තමා අතහැර ගියා. ඉතිරි වූයේ අම්මා පමණයි කියන කියමනයි. මවු සෙනෙහස කියන්නේ ඒ වගේ ඉතා ප්‍රබල සෙනෙහසක්.

මා බත සරි කළේ මේ ඉඩමයි හේනේ
පූජා කරමි එය අපෙ හාමුදුරුවනේ
මා පුතු වළඳාපු සඟ බත් ඇට ගානේ
හැම පව් ගෙවී සැනසේවා නිර්වානේ

පැවිදිව කුඩා කල සිවුරට ඇති ආසා
තුරුණුව වැඩි එන විට නැති වුණෙ කෙලෙසා
නොහොබිනකම් කළත් සැමගේ දෑස් වසා
අතහැර දමනු බැහැනේ මගේ පුතා නිසා

කළ පවු නිසා දෙස් තැබුවත් ලොවම මට
අංගුලිමාල වුව ආවේ මගෙ කුසට
නෑවිත් සිටිය මුත් මුළු ගම මළගමට
යුතුකම ඉටු කළ මම පුතුගේ නමට

මෙම සිදුවීම දඹුල්ල පැත්තේ එක්තරා නගරයක සිදුවූ සත්‍ය සිදුවීමක්. එක්තරා තරුණ යුවළක් තම කුඩා ගැහැනු දරුවා සමඟ නුවර නගරය කරා ගමන් කරන බස් රථයකට ගොඩවීමටයි පැමිණියේ. ඒ තරුණයා දරුවා සහ කාන්තාව බස් රථයට නංවා නැවත පාර මාරු වනවිට අනෙක් පැත්තෙන් පැමිණි රථයට යට වී ඔහු එතැනම මිය ගියා. මේ මළ සිරුර පරික්ෂා කර බලන විට හැඳුනුම්පත පොඩි හාමුදුරුවන් නමකට අයිති එකක්. ඒ ලිපිනය සොයන විට කැකිරාව පළාතේ විහාරස්ථානයක ලිපිනයක්. ලොකු හාමුදුරුවන්ට සිදුවීම දැන්වූ විට ඒ ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ කියා ගමටම ආරංචි වෙන්න ගියේ ඉතා සුළු මොහොත යි. ආරංචිය සමඟම ගම්මුන් බොහෝ සේ කුපිත වුණා. මළ සිරුර විහාරයට නො ගෙනෙන ලෙස ලොකු හාමුදුරුවන්ට පැවසුවා. දඹුල්ල රෝහලට වැඩම කළ ලොකු හාමුදුරුවෝ බොහෝ සංවේගයට පත් වුණා. ගිහියකු ලෙස සිටින නිසා විහාරස්ථානයට මළ සිරුර රැගෙන යා නොහැකි බව පවසමින් උන්වහන්සේ නැවත පන්සලට වැඩම කළා. ඊටපස්සේ වයසට වඩා සිරුර දිරාගිය දුප්පත් අම්මා කෙනෙක් රෝහලට පැමිණියා. ඒ තමාගේ පුතු බව හඳුනාගත්තා. දේහය බාර ගැනීමට කිසිවෙක් නැති නිසා අම්මා තීරණය කළා දේහය තමන්ගේ නිවසට රැගෙන යන්න. දේහය නිවසට ගෙන ගියත්, ගම්මුන් පවසා තිබුණේ ලොකු හාමුදුරුවන්ට පාංශුªකූලයට පවා නො වඩිනා ලෙසයි. ගමේ කවුරුවත් මළගෙදරට ආවේත් නැහැ. මේ අම්මා ඇය විසින් ම පුතාට පැන් වඩලා පින් අනුමෝදන් කොට චාරිත්‍ර ඉටු කළා. ඊටපස්සේ ගමේ කඩමන්ඩියේ සිටි තරුණයන් වෙත ගොස්,

“අනේ පුතේ මගේ නැති වූ පුතා වළදාගන්න වළක් කපා ගන්න මට සවි ශක්තියක් නැහැ. පුලුවන්නම් උදව් කරන්න කියා ඉල්ලා සිටියා. අම්මා ගැන අනුකම්පා කළ තරුණයන් ඒ තරුණයාගේ අවසන් කටයුතු සිදු කළා.

ඊට දින කිහිපයකට පසු අර අම්මා ලොකු හාමුදුරුවෝ මුණ ගැසෙන්නට ආවා. “අනේ ලොකු හාමුදුරුවනේ මගේ මේ පුතා පුංචි කාලෙ හරි ආසාවෙන් මහණ වුණේ. මෙහෙම නො මනා වැඩක් කළේ කොහොමද කියලා හිතා ගන්නත් අමාරුයි. හාමුදුරුවනේ, දේවදත්ත වුණත්, අංගුලිමාල වුණත් ඒ මගේ පුතා. මට දරුවා අහක දාන්න බැහැ. පන්සලට අපි දීපු දානේ කාලා මේ වගේ වැඩක් මගේ දරුවා කළා කියලා මිනිස්සු මට හරියට දොස් කියනවා. ඒ ණය ගෙවන්න මට ගොඩක් අමාරුයි හාමුදුරුවනේ. ඒත් මගේ දරුවා සාංඝික දේයි අනුභව කළේ. ඒ නිසා මගේ නමට තිබෙන කුඩා ඉඩම මම ඔහුගේ ණය ගෙවෙන්න සාංඝික කර පූජා කරනවා.” කියා ඉඩම පූජා කර පිටව ගියා.

මේ සංවේගී සිදුවීම මුල් කරගෙන ඉහත ගීතය මා විසින් නිර්මාණය කළා. මෙහිදී මට කියන්නට ඕනෑ වුණේ මවකගේ සිතිවිලි, හැසිරීම් සහ ක්‍රියා කරන ආකාරය ගැනයි. බොහෝ දෙනා වැරැදි කරන්නේ තමාගේ ආවේගය පාලනය කර ගන්නට බැරි තැනයි. ආවේගය පාලනය කිරීමට අසමත් නිසා ඇති වූ අසරණවීමක් යනුවෙන් සිතා කාරුණික වීමයි.

මේ ගීතයේ සඳහන් වන තරුණ භික්ෂු ප්‍රතිරූපකයාගේ ක්‍රියා කලාපය නිසා සමාජයේ ඇතැම් දෙනා තමාගේ මානව ධර්ම ගිලිහී යාමට ඉඩදුන් බවයි හැඟෙන්නේ. එහෙම වෙන්න එපා කියන එකයි අපි මෙහිදී අවධාරණය කරන්නේ.

තරුණ භික්ෂුවක් මෙවැනි වැරැදිවලට ගොදුරු නොවිය යුතු බව සත්‍යයක් සේ ම, යම් පුද්ගලයකු කෙරෙහි එසේ අධික ලෙස කිපී ක්ෂණික තීරණ තීන්දුගෙන කෝපය පිට කිරීම තුළින් පිරිහීමට ලක්වන්නේ තමන්ගේ ගුණ ධර්ම බව ද අපි සිතිය යුතු වෙනවා. ඒ වගේම අනුන්ගේ වරදට සමාවදීම තුළින් තමා තුළ ස්වයං ශික්ෂණයක් ඇතිකර ගන්න පුළුවන් කියා මම සිතනවා.

බුදු දහමේ දී අපට කියා දෙන්නේ වැරැද්දක් වුවොත් නිවැරැදි වී ඒ වරදින් නැඟී සිටින ලෙස යි. එනිසයි මේ ශාසනය තුළ අංගුලිමාල, සිරිමා, විමලා, අඩ්ඨකාසී වගේ චරිත මුණ ගැහෙන්නේ.

පවුලක එක් අයෙක් යම් වරදක් කළ විට ඒ තැනැත්තාගේ මවුපියන්ට, ඥාතීන්ට, කුලයට, ජන සමාජයට, ආගමට, මිනිසුන් දොස් කියන්න පුරුදු වෙලා සිටිනවා. එක් පුද්ගලයකුගේ දෝෂයක්, වැරැදි කර්මයක් නිසා සමස්තයට ම දොස් කියන්න එපා කියලයි මම ඔබට යෝජනා කරන්නේ. මෙම ගීතය ගායනා කරන්නේ දිස්නා අතපත්තු, ගායිකාව යි සංගීතය සිදු කලේ නාලක අංජන කුමාර ශිල්පියා විසිනුයි.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]