[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තව දුරට යනු කිමද නොදැනා මෝහයම කණවැලට රැගෙනා

තව දුරට යනු කිමද නොදැනා මෝහයම කණවැලට රැගෙනා

හට ගැනීම , පැවැත්ම, විනාශය යනු මෙලොව සෑම භෞතික වස්තුවක ම ඇති යථාර්ථයයි .“උප්පාද ඨිති භංග“යනුවෙන් බුදුන් වහන්සේ සඳහන් කළේ ද එකී සත්‍ය දහමයි. පණ ඇති, පණ නැති සෑම වස්තුවකට ම පොදු සනාතනික ධර්මතාවකි .

ලොව පහළ වී ඇති සෑම වස්තුවක් ම සෑම මොහොතකම වෙනස් වෙමින් ගමන් කරන්නේ විනාශය කරා ය. එකී වෙනස්වීම පියවි ඇසට නොපෙනේ. එය කලක් ගතවීමෙන් අවබෝධ වන කරුණකි.

පණ නැති වස්තු කලක් ගතවීමෙන් දිරාපත් වන බව පැහැදිලි වේ. මිනිසා කලක් ගතවන විට වයසට ගොස් ඇති බව ද අවබෝධ වේ. පියවි ඇසට එකවර අවබෝධ කර ගත නොහැකි මෙම යථාර්ථය කලක් ගතවීමෙන් අවබෝධ වේ.

එසේම බුදුරජාණන් වහන්සේ අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් සසර තුළ කළ දීර්ඝ පරීක්ෂණයේ දී සොයා ගත් ලොව ඇති එක් සනාතනික ධර්මතාවක් වන්නේ යමක් ලැබුණොත් එම ලැබීම තාවකාලික ය යන්නයි. අහිමි වුවහොත් එය සදාකාලික වෙන්වීමකි. මෙලොව උපදින සෑම සත්වයකු ම උපදින විට රැගෙන එන්නේ භෞතිකමය වූ ශරීරයකි. එම ශරීරය උපතින්ම ලැබී ඇත්තේ තාවකාලිකව ය.

එම ශරීරය කිසියම් දිනෙක සොහොනේ දී අපට අහිමි වෙයි. ඒ අනුව එම ශරීරය නැවත කිසිම දවසක අපට හිමි නොවේ. එය සොහොන් කොතේ අළු බවට හෝ සොහොන් බිමේ පස් බවට පත් වේ. අප උපතින් ම රැගෙන එන ශරීරයේ ඉරණම එසේ නම් වෙනත් දේ පිළිබඳ කුමක් නම් කතා කරමු ද ?

එම නිසා යමක් හිමි වන්නේ තාවකාලිකව ය . එය අහිමි වුවහොත් අහිමි වන්නේ සදාකාලිකව ම ය.

ඉහතින් සඳහන් කළ හටගැනීමත්, පැවැත්මත්, විනාශයත් යන මෙම ලක්ෂණයන් අනතුරුව සඳහන් කළ හිමි වීම හා අහිමි වීම පිළිබඳ යථාර්ථයන් බොහෝ සාහිත්‍යකරුවන් සාහිත්‍ය පෝෂණය කර ගැනීමෙහිලා වස්තු විෂයය වශයෙන් යොදාගෙන ඇත.

සාහිත්‍ය යනු සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යාමයි. එම නිසා සෑම සාහිත්‍යකරුවකුට ම තම නිර්මාණය මඟින් තම සදාදරණීය සහෘදයාගේ මනස ප්‍රඥාව කරා ම රැගෙන යා යුතු ය. ලෝක යථාර්ථය ම අවබෝධ කර වීමට උත්සාහ ගත යුතු ය. එසේ නොවන්නේ නම්, එකී නිර්මාණය ප්‍රාමාණික නිර්මාණයක් නොවේ.

මහගම සේකරයන් විසින් රචිත “කුණ්ඩලකේෂී" නම් ගීත ප්‍රබන්ධය එකී යථාර්ථය ලොවට කියා පාන අති සාර්ථක නිර්මාණයකි. ධර්මසේන හිමියන් විසින් දඹදෙණි යුගයේ රචිත සද්ධර්මරත්නාවලිය නම් බණ කතා පොතේ සඳහන් කුණ්ඩලකේෂි කතා වස්තුව මෙම නිර්මාණයට පාදක වී ඇත.

රජගහ නුවර සිටු කුලයක උපන් සිටු දියණියක් මරණයට රැගෙන යන සොරකුට පෙම් බැඳ ඔහු ව විවාහ කර ගෙන ඇති වූ ජීවිත ගැටලු පිළිබඳ කතාවක් මෙම කුණ්ඩලකේශි කතාවෙහි අන්තර්ගත වේ..

මහගම සේකරයන් විසින් රචිත මෙම කුණ්ඩලකේෂි නම් ගීත ප්‍රබන්ධයට මුල් කොට ගත්තේ මෙම කුණ්ඩල කේෂි කතා වස්තුවයි.

“ ක්ලේශ බර අරගෙන කරට
කම්කටොලු පිරිවරට
සංසාර ගිරි දුර්ග නඟිනා“

එම කතාවේ කුණ්ඩලකේෂී සහ සිය සොර ස්වාමියා ගිරිදුර්ගයක නගින අවස්ථාවක් සඳහන් වේ.

අවසානයේ කුණ්ඩලකේශී විසින් එම සොරා පර්වතයෙන් පහතට හෙළා මරණයට පත් කරන ලදී.

කවියා මෙහිදී එම සිදුවීම මුල් කොට ගෙන ඉතා මනහර ලෙස මෙම ගී පදවැල ගොතා ඇත.

සසර වූ කලි ගිරි දුර්ගයකි.

දුර්ගයක් නැගීම වෙහෙසකර ය. එය තවත් වෙහෙසකාරී වන්නේ බඩු පොදි හිස මත තබා ගෙන නැඟීමේ දී ය. සසර නමැති ගිරි දුර්ගය තරණය කරන මිනිසා ද කෙලෙස් බර නැමැති මහා බඩු පොදි රැගෙන එම දුර්ගය තරණය කරයි . එම ගමනේ කම්කටොලු කෙළවරක් නොමැත.

“නෑ කිසිම පිළිසරණ- ගණ අඳුර නර ගොදුරු සොයනා“

පැමිණි සසර ගමනේ දී කාගෙවත් පිළිසරණක් නොමැත . බිය සහගත පාළුවක් ඇති අන්ධකාර සසරෙහි මිනිසා, මිනිසා ම විනාශ කරමින් ගමන් ගන්නා අයුරු සේකරයන් ධ්වනි පූර්ණ වැකියකින් අපට සිහි ගන්වයි.

"ගන අඳුරු නර ගොදුරු සොයනා" කුණ්ඩලකේෂී කතාවේ ද ඇත්තේ අසීමිත තණ්හාව නිසාම මිනිසා මිනිසා ව විනාශ කරමින් ගමන් ගන්නා අයුරු ය.

“ මඟ නොදැන ගනඳුරෙහි
යන කටුක මෙම ගමන
නතර වෙද කොයි ලෙසක කෙදිනා
නැත තවම තොප විසින හැඳීනා“

කවියා මෙහිදී තම සහෘද පාඨකයාගෙන් විමසා සිටින්නේ අන්ධකාර සංසාර ගමන තුළ කෙළවරක් පිළිබඳ අවබෝධයක් තිබේද යන්නයි. අගක් මුලක් නැති ගොරතර සසරෙහි වල්මත්වී ඇවිදින මිනිසා එකී බිහිසුණු සසරින් එතෙර වන්නට උත්සාහයක් නොකරන්නේ මන්දැයි කවියා විමසයි .

කුණ්ඩලකේෂි කතා ප්‍රවෘත්තිය තුළ ඇති යථාර්ථය නැවත නැවත සිහිගන්වමින් රචිත මෙම ගී පදවැල සසර ගමනෙහි යථාර්ථය අවබෝධ කරවන බණ පද වැලකි.

“ මරණයෙන් කඳු මුදුන
කෙළවරට ඇත පැමිණ
තව දුරට යනු කිම ද නොදැනා
මෝහය ම කණවැලට රැගෙනා“

කුණ්ඩලකේෂි කතාවෙහි මෙම දෙදෙනා ම මරණය සේ කඳු මුදුනට නැඟී ඇත. මෙයට හේතුව මෝහය බව කවියා මෙහිදී සඳහන් කරයි. අධික තෘෂ්ණාව නිසා ඇතිවන මුලාව මිනිසාගේ ගමන් මඟ අතිශයින් ම ව්‍යාකූල, කර්කශ, ප්‍රශ්නකාරි, ගැටලුකාරී තත්ත්වයකට පත් කර ඇත. එම නිසාම ඔබත් මමත් ජීවත්වන මෙම වර්තමාන ලෝකය අතිශය බිහිසුණු ගිනි ගෙන දැවෙන ලෝකයක් බවට පත් වී ඇත.

මෙකී ගින්දර නිවා ගෙන සසර ගමන සුවපත් කරමින් ඉදිරියට පියමන් කිරීමට දහම මඟින් ලබා දෙන උපදෙස් මෙන් ම සාහිත්‍ය මඟින් ලබා දෙන්නේ ද නොමද පිටුවහලකි.

මහගම සේකරයන් විසින් රචිත කුණ්ඩලකේශී ගීත ප්‍රබන්ධය මඟින් ලෝකය සුවපත් කිරීමට සදූපදේශයන් සම්ප්‍රදානය කරමින් කළ මෙහෙවර අතිශයින් ප්‍රශංසා කටයුතු ය.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]