[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිඟිති අතින් අපේ අනගි ලොවක් තැනේ

සිඟිති අතින් අපේ අනගි ලොවක් තැනේ

ඔබ මා උපන් සිරිලක් රන් දෙරණ ලොවැ සම්මානනීයත්වයට, ගෞරව බහුමානයට පාත්‍රවූයේ සිරිලක ධර්මද්වීපයක් වූ නිසාවෙනි. සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් සැනහුණු බොදු ඇවැතුම් පැවැතුම්වලින් සැරසුණු උදාර ගති ඇති සුචරිත ගුණදමින් බැඳි මිනිස් පවුරකින් සිරිලක් ජන සමාජය සුසැදුණු නිසාවෙනි.

බුදුපියාණන් වහන්සේගේ අමිල ඉගැන්වීම්වලින් දිවි සරසාගෙන, අව්‍යාජ දිවි පැවැත්මෙන්, චාම්, සරල, සුන්දර දිවියක් ගත කළ එදා හෙළයන්ගේ හෙළ හැදියාවන් මුළු ලොවට ම මහඟු ආදර්ශයක් විය.

බුදුදහමේ ආලෝකයෙන් ජන ජීවිතය එළි කර ගත් අපේ මුතුන්මිත්තන්ගේ හැදිච්චකමත්, පිරුණු මනුස්සකමත් සිරිලක් මාතාව ලොව දේශදේශාන්තරයන්හි යශෝ කීර්තියෙන් බැබළීමට ඉවහල් විය.

හෙළදිව හෙළයාගේ ඔපවත් හදවත, මනුස්ස හැසිරීම මිනිස් පවුලට, ගහකොළ සතාසීපාවාට පමණක් නොව මුළු මහත් විශ්වයට ම වචනයෙන් කිව නොහැකි ආශිර්වාදයක් අත්පත් කළේ ය.

“මිනිසා නොහදා රට හදන්න බැහැ

මිනිසා හදාගෙන රටත් හදා ගනිමු”

අති ගෞරවාස්පද මඩිහේ පඤ්ඤාසීහ මහ නා සමිඳුන්ගේ චින්තනය මතු කළේ ද, සිහිපත් කළේ ද අපේ හෙළ හැදියාවයි. ධර්ම ද්වීපයේ පදනමයි. මිනිසා හැදුණු නිසා රට හැදුණේ ය. හැදුණු රටේ කීර්තිය, ලොව දසත පැතිරුණේ ය.

“පුංචි පැළය ලොකු වෙනවා –

ගහක් බවට පත්වෙනවා

සිඟිති අතින් අපේ අනගි ලොවක් තැනේ”

යන හැඟීමෙන් රටක අනාගතය,

ළමා පෙළ නිවැරැදිව හදාගත්විට ජන සමාජය යහපත් වෙයි. යහපත් ජන සමාජයක අත්තිවාරම ළමා පෙළයි.

මහා වනස්පතීන් සකල සත්වගට හිතකර ජීවය දානය කරයි. ළපැටි පැළ තවාන පළිබෝධයන්ගෙන් රැකබලා හදාවඩා ගත් කල සරු අස්වැන්නක ප්‍රතිලාභය ලැබෙන්නා සේ හැදිච්ච ළමා පෙළ මතු දා ජන සමාජය බබළවයි.

බුදුදහම මත ඔප්නැංවුණු ගුණධර්ම, සාරධර්ම, හෙළහැදියාවන් සිරිලක ජනහදින් වියැකී යාම නූතන ජන සමාජයේ නස්පැත්තියට, පරාභවයට හේතුවී ඇත. අද අපට නෙත ගැටෙන, සිසිල ගෙනෙන මහා වෘක්ෂයන් එදා පුංචි පැළ ය. ප්‍රබුද්ධ සමාජයක උදාව උදෙසා අද පැළ තවාන හෙට පූදින මල් කැකුළු බැව් අදහා ගුණදම් මල්මකරන්දෙන් බරිත, සැබෑ මිනිස් බවින් යුතු සමාජයකට පදනම දැමීම සුන්දර දේශයක හෙට දවස ගැන සිතන කාගේ වුව වගකීම ය.

එහිලා මව්පිය, ගුරුවර, වැඩිහිටි, වියත් බුද්ධිමතුන්ගේ වගකීම, වගවීම පුරෝගාමි මෙහෙවරක් ඉටුකරයි.

කරුණා දයාබරිත මෙත් සිත, මුදිතාව, උපේක්ෂාව, ඉවසීම, අධිෂ්ඨානය, වෙරවීරිය ළමා මනසේ පැළපැදියම් වේ නම්, තිරිංග නැති වාහන සේ අපරික්ෂාකාරිව ධාවනය වී වටිනා තාරුණ්‍ය විනාශය කරා ගමන් නොකරයි. සමාජයේ දුරාචාරය වැළලී සදාචාරය රජයයි.

තරුණයකු වන්නේත් වැඩිහිටියකු වන්නේත්, ශාන්තුවරයකු ව ලොවට ශාන්තිය ගෙනෙනුයේත්, ම්ලේච්ඡ ත්‍රස්තවාදියකු ව ලොවක් නසන්නේත් පිවිතුරුව පැවැති ළමා හදවතකි. එනිසා රට සමාජයේ හිතකර පැවැත්ම පිණිස ද, මෙකල සත්ව සංහතියේ හිතසුව පිණිස ද අපේ ගුණනුවණ හදන යාන්ත්‍රණය සැක සේ නම් ඉසි කෝ මාන බිඳ මෙත් කරුණා මුදිතා ගුණ අමාදහරින් ළමා සිත සුවපත් වෙයි.

එදා පන්සල් මිදුලේ විසල්තුරු සෙවණේ ජාතක කථාවෙන්, ලෝවැඩ සඟරාවෙන්, සාධු සිරිතෙන් විරිතෙන් ඔප් නැංවුණු ළපටි සන්තානය පාපයට නොනැමුණේ ය. ළමා ගත සමඟ සිත දින දින වැඩුණේ පව්කම්හි ආදීනව දකිමිනි.

කයේ සංවරය, මනසේ සංවරය, වචනයේ සංවරය, පාපයට ලජ්ජාවීම, බියවීම සැමතැන්හි ම සංවරය ඇතිකර ගැනීම අපේ දරු කැළ තුළ වේ නම්, එය ඔවුන්ගේ දිවි බබළවන අගනා ආභරණයන් ය.

හොඳ දරුවා කුඩා කල පටන් පාපයට බිය වෙයි. ලජ්ජා වෙයි. දුරාතීතයේ දිය රකුසකු පවා දේවධර්ම හෙවත් පාපයට ඇති ලජ්ජා බියට ගරු කළ ආකාරය ජාතක කතා පොත අපට සිහිගන්වයි.

මිස්සක පව්ව පා මුල දී එදා මිහිඳු මහරහතන් වහන්සේ අභියස වැඳ වැටුණු දෙවනපෑතිස් නරනිඳු ප්‍රමුඛ හතළිස් පන්දහසක ලක්වැසි ජනතාව දොහොත් මුදුන්දී පන්සිල් සමාදන් වූහ. එදා අපේ ඇත්තෝ සිය දිවි දෙවැනි කොට පංචශීලය රැක ගත්හ.

ජාතියක සෞභාග්‍යයට මඟ පෑදුනේ දුරාචාරය පසෙක ලා සදාචාරය වැළඳගත් නිසාවෙනි. පන්සිල් සුරැකි අපේ රජ දරුවෝ සතාසීපාවාගේ පණනල ද ආරක්ෂා කළහ. මාඝාත නීති පනවමින් ප්‍රාණඝාතය තහනම් කළහ. මේ බැව් දැන සිතා සිරිලක් බොදු දරුවෝ සිය පණ මෙන් පන්සිල් සුරැකිය යුත්තෝ ය.

පංචශීල රැකවරණය කෙනකුගේ ඇතුළත, පිටත බාහිර ආධ්‍යාත්මික දීප්තිය උදාකරයි. පස්පව් හැර මෙත් කරුණා මුදිතාදී සතරබඹ විහරණයෙන් යුතු අපේ ළමා පිරිස සිරිලක් අම්මාට සැනසිල්ල ද, ආශිර්වාදය ද ළඟා කර දෙති.

ඉහ මොළ මොට කරන, එළැඹසිටි සිහිනුවණ නැතිකරන, භවභෝග විනාශ මුඛයට ඇද දමන මත්වන දැයින් වැළකීම තාරුණ්‍යයේ බලයයි. ජවයයි. ශක්තියයි. අභිමානයි. මේ බැව් දැන අපේ දරුවන් බුදු වදනට අනුව ම පිළිපැදිය යුතු ය. පියවි සිහියෙන් වුව දිවිගෙවීම අසීරු මෙවන් සමයක ඇති සිහිය ද නැතිකොට ගෙවන දිවිය ගැන කවර කථාද?

දහසක් සුපැතුම් හදේ පොදිබැඳ ආදරණීය යුගදිවියකට එළැඹෙන පවුල් සංස්ථාවේ පැවැත්ම දෙදරාගොස් ඇති ආකාරය අධිකරණ පවුල් නඩු කෘත්‍යයන් මොනවට කියාපායි. මේ සියලු අමිහිරි අත්දැකීම් වේදනා, රට සමාජයේ සදාචාර සෝදාපාළුව පංචශීල ප්‍රතිපදාවෙන් බැහැරවීමයි.

වැළලුණු හෙළ හැදියාවට, හෙළ සිරිතට විරිතට පණ දී රැක ගැනීම අපේ දරු පරම්පරාවේ යුතුකමයි.

ළමා සිත විකසිත සිපිරිසුදු සුදු පියුමකි. බාහිර රජස් එහි පාරිශුද්ධත්වය කෙලෙසයි. එලෙසින් ම සුදෝ සුදු ළමා සිත බාහිර පරිසරය කෙලෙසයි. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය,පළිගැනීම, තරහව වැනි දුර්ගුණ පිසදා යහගුණ තුළින් ළමා සිත් පුරවා හදාගැනීමට ද, හදාගත් සිත රැකබලා ගැනීමට ද ළමා සිත පෙළඹවීම, මවුපිය, ගුරුවර, වැඩිහිටි යුතුකමයි.

එසේම කුඩා කල පටන් බෝසත් චරිතයකින් තම දිවි බබළවා ගැනීමට දරුවකු සමත්විය යුතු ය. යහගුණ වඩාගෙන, දුර්ගුණ මකාගෙන තමාටත්, ලෝකයාටත් වැඩදායක මිනිසකු වීමට සෑම දරුවකු ම අදිටන් කර ගත යුතු ය.

“මඟ හොඳට තිබේ නම්, යන්ට දෑසත් පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූවකු ලෙසින්.”

යන කියමන මනාව ග්‍රහණය කර ගත් ළමා සිත කිසිදා වැරැදි මඟ නොයයි. එබඳු දරුවා සමස්ත සමාජයට ම හිත සුව ගෙන දෙයි.

එබඳු සමාජ හිතකාමී දරුවා සැම කල් සැමගේ නොමඳ ගෞරවය ලබයි. මලක අගය පාට හා සුවඳ මත ය. දරුවකුගේ වටිනාකම ගුණ නුවණ මත ය.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]