[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු සිරිත් හා බැඳුණු පැරැණි සමාජ වටිනාකම් රැකගැනීම අද පරපුරේ වගකීමයි - ශාස්ත්‍රපති දෙනගම ධම්මරක්ඛිත හිමි

බොදු සිරිත් හා බැඳුණු පැරැණි සමාජ වටිනාකම් රැකගැනීම අද පරපුරේ වගකීමයි - ශාස්ත්‍රපති දෙනගම ධම්මරක්ඛිත හිමි

එදා සමාජයේ සිටි අපගේ මුතුන් මිත්තෝ තෙරුවන කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇතිකර ගත් පිරිසක්. ඒ නිසාම ඔවුන් මහා වෙහෙර විහාර, මහා දාගැබ් ඉදිකෙරුවා. හෙළ බෞද්ධ ගැමියා තුළ තිබූ ඒ අචල ශ්‍රද්ධාව අද කෙතරම් දුරට අප හදවත් තුළ පිහිටා තිබෙනවා ද? යන්න පිළිබඳ ශාස්ත්‍රවේදී දෙනගම ධම්මරක්ඛිත හිමියන් සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීමේ දී මාධ්‍යයට විශාල වගකීමක් පැවැරී තිබෙනවා. උගතකු හෝ පඬිවරයකු හෝ වූ පමණින් ම ඔහුට මේ ධර්මය වැටහෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ප්‍රඥාාවයි. ප්‍රඥාව අවදිකර ගැනීම තම තමන්ගේ පින හා වීර්යය, උත්සාහය මත සිදුවන දෙයක්.

සිදුහත් කුමරු සහ දෙව්දත් කුමරු හැදී වැඩුණේ එකට යි. අධ්‍යාපනය ලැබුවේ එකට යි. ශිල්ප ශාස්ත්‍ර ලැබුවේ එකට යි. නමුත් සිද්ධාර්ථ බෝසතාණෝ බුද්ධත්වය ශාක්ෂාත් කරනවිට දෙව්දත් තෙරුන්ගේ ඉරණම විසඳුණේ කොහොම ද? ඒ හිමි නිරයට ගියා.අදටත් නිරයේ දුක් විඳිනවා.

කිසිදු ශිල්පයක් ඉගෙන නොගත් සුනීත තරුණයා, සෝපාක දරුවා ආදීන් මේ බුද්ධ ශාසනයෙන් උපරීම ඵල ලබමින් අරහත්භාවයට පත් වුණා. එහෙම නම් අපට තේරෙනවා අධ්‍යාපනය හදාරා උගතකු වූ පමණින් මේ ධර්මය වැටහෙන්නේ නැති බව.

එදා ගැමියාට ශිල්ප ශාස්ත්‍රය පිළිබඳ විශාල දැනුමක්, උපාධියක් හෝ මහාචාර්යකමක් නොතිබුණාට ඔවුන් තුළ සාමකාමීබවක් තිබුණා. ඉවසීම, ගුණගරුක බව එකිනෙකාට උදව් කිරීම තිබුණා. ඒ ඔවුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගමේ විහාරස්ථානයෙන් ඇසුණු නිසා. ගමයි - පන්සලයි අතර ලොකු බැඳීමක් තිබුණ නිසා ඔවුන් පාපය සහ පින හඳුනාගෙන සිටියා. නිවන අරමුණු කොට කුසල් වඩන්න ඔවුන්ට ඉවසීමෙන් යුතු දැනුමක් තිබුණා.

ආච්චි, සීයා තම මුණුපුරා ඇකයේ තබාගෙන ඔවුන්ගේ දැනුම පරිදි ජාතක කතා, ධම්මපදය, සද්ධර්මරත්නාවලිය ආදිය කියා දුන්නා. ඒ සමාජය අද වැසී ගොස් තිබෙන්නේ.

පැරැණි ගැමියා ගැමි දරුවාට පැරැණි කතා කියා දුන්නේ අර්ථය රස ගන්වමින්. නරියා මිදි කෑ හැටි කතාව නිකන් කතාවක් ලෙස නොවේ ඉගැන්වුයේ. නරියට මිදි කන්න ආසාවක්, තණ්හාවක් ඇති වුණා. ඒ අරමුණ ඉටු කර ගන්න උපායක් යෙදුවා. ඒ උඩ පැන මිදි කෑමට යි. එය අසාර්ථක වූ නිසා මනසේ ඇති වූ ආශාව කේන්තියට පරිවර්තනය වුණා. කේන්තියත් සමඟ හොඳ නරක යථාර්ථය තේරුම් ගන්නට බැරි වූ නිසා හිවලා කිව්වේ මිදි තිත්තයි කියලා. එය සමාජයේ මතයට පටහැනියි. ඇත්තටම මිදි තිත්ත නැති නිසා

එදා ගැමියා තම දරුවා ළඟට ගෙන කියා දුන්නා හිතේ ඇතිවන ආශාව නොයෙක් අර්බුද ඇතිකර දෙන බව. සිතේ ඇතිවන ආශාව යථාර්ථයක් කර ගන්නට බැරි වුණොත් සිතේ ද්වේෂයක් ඇති වෙනවා. ද්වේෂය හොඳ දෙයක් නෙමේ. ඒ නිසා එය බැහැර කරන්න කියලයි කියා දුන්නේ. අද අප කරන්නේ මේ හර පද්ධතිය දරුවාට නොදී කතා රසය පමණක් දීමයි.

ඒ අර්ථ රසය අද සමාජයේ දරුවාට දීමට ජනමාධ්‍ය තුළින් ඉඩක් විවර විය යුතු ද වෙනවා. හෙළ ඉතිහාසය, හෙළ වෙදකම, හෙළ ඉගෙනුම, හෙළ රජකම, හෙළ සංස්කෘතිය නැවත ස්ථාපිත කර ගත හැකි මාවතක් සොයා ගන්න ඕන. මෙය කළ හැක්කේ බෞද්ධ හෙළයාට පමණයි.

හෙළ දූ පුතුන් පෙරට පැමිණිය යුත්තේ පරපුරත් රැක ගනිමින් උතුම් දහම ද අනාගතයට උරුම කර ගැනීමටයි. අපේකම හැමදාමත්, හැම තැනකම රැකුණේ බුදු දහම හා හෙළ සංස්කෘතිය නිසයි. අපට ම උරුම වූ අපගේ හෙළ පාලන තන්ත්‍රය යළි නඟා සිටුවීමට අවැසියි. අනාගත පරපුර වෙනුවෙන් නැසී යමින් පවතින හෙළ බෞද්ධ නැවතත් නඟා සිටුවමු’ යැයි මම යෝජනා කරන්නේ එනිස යි.

තිදොර සංවර කර නොගත් විට තමන් ණය ගනුදෙනුවක පැටලෙන බව එදා ගැමියා දැන සිටියා. අද බොහෝ දෙනා ඒ ගැන දන්නේ නැති තරම්.

‘පූරුවේ ණයක් මම මේ ගෙවන්නේ’ යනුවෙන් ගැමියා හැඳින්වුයේ අර්ථය ඉස්මතු කරමින්. මෙහිදී ණයක් ලෙස හැඳින්වුයේ තම තමන් කළ කී සිතූ දෙය යි. පරිසරයට, බාහිර සමාජයට තමන් සිතන, කියන, කරන දෙයින් ණය වෙන බව ඔවුන් සිතුවා. එහෙත් එදා ගැමියා සිතුවේ ණය වෙන බව පමණක් ම නොව ඒ ණය කවදා මුත් ගෙවන්නට සිදුවන බවයි.

එදා ගැමි වහරේ තිබු ප්‍රසිද්ධ කියමනක් වන ‘විසඝෝර සර්පයා දැක නෑර මෝඩයා’ කියන කියමන අප අසා තිබෙනවා. එදා හෙළයා ඒ වදනේ අර්ථය පාදක කරගෙන තම ජීවිතය ගොඩනඟා ගන්නට මඟ පාදා ගත්තා. අපට විසඝෝර සර්පයා කියා ඇසුන විට සිහිපත් වන්නේ නයා, පොළඟා, මාපිලා වැනි උග්‍ර විෂ සහිත සතුන්. ඒ සතුන් දුටු තැන නොමරා යන මිනිසා මෝඩයා බවයි හැඟෙන්නේ.

එහෙත් ඉපැරැණි මිනිසා ඒ කියමන බුදුදහම සමඟ කැටිකර ගනිමින් අරුත වටහා ගත්තා. මෙහිදී විස පිරුණු විසඝෝර සර්පයා ලෙස ඔහු හඳුනා ගන්නේ රාග විස, ද්වේෂ විස, මෝහ විස යන තමාගේ හිතේ ඇතිවන කෙලෙස් ගැන යි. මිනිස් සිතේ උපදින කෙලෙස් සිතිවිලි අති භයානක යි. මෙයින් පුද්ගලයන් අතර, ගම් අතර, රටවල් අතර පවා මහා ව්‍යසනයන් ඇති කිරීමට හැකි වෙනවා. එදා දහම දත් ගැමියා, ඒ කෙලෙස් නොමරා, විනාශ නොකර සිටින මිනිසා මෝඩයා බවයි කිව්වේ. කෙලෙස් නොදුටු අයකුට කෙලෙස් නැසිය නොහැකි යි. කෙලෙස් ඉපදුණු බව නොදුටු නිසා ම එම උපන් කෙලෙස් භාවිත කර විපාක උරුමකර ගන්නවා. ඒ නිසා සිතේ රාග, ද්වේෂ, මෝහ උපන් විගස එය නසා දැමීම කළ යුතු වෙනවා.

නමුත් අද බොහෝ දෙනා උපදින කෙලෙස් තව තවත් පෝෂණය කර තමා මෙන් ම සමාජයත් වනසා ගන්නවා. නැවත උපතක් සඳහා පාදක වන කෙලෙස් සංසිඳවා නොගන්නා මෝඩයෙක් බව එයින් අදහස් කරනවා.

පව්, වැරැදි, අකුසල් කරන්නා මෝඩයෙක්. උපදින කෙලෙස් නො නසා භාවිත කිරීම මෝහය යි. අත නෑර දුටු තැන නැසිය යුතු බව ගැමියා එදා කිව්වේ කෙලෙස්වලටයි.

සිතේ උපදින කෙලෙස්, විස පිරුණු සර්පයන් සේ ගැමියා හඳුනා ගත්තා. ඒ කෙලෙස් බැහැර කර සිත පිරිසුදු කර ගැනීමට ඔවුන් දැන සිටියා.

බොදුනු හෙළයාට උරුම මෙවන් අර්ථාන්විත වදන් නැවත නැවත අද සමාජයට විවර විය යුතු කාලය එළඹ තිබෙනවා. අඳුරු ලෝකයකට අන්ධයන් රැසකගෙන් ඇති ඵලය කුමක් ද? දැන් දැන් ලෝකය හමුවෙහි උදා වී ඇත්තේ එවන් කනගාටුදායක තත්ත්වයක්. ඒ තත්තවය මඟ හරවාගෙන එදා ගැමියා රස වින්ඳ අපුරු සුන්දර සිතිවිලිවලින් පෝෂණය වූ හරවත් දේ අපගේ ළමා පරපුරට දායදා කර දීමට උත්සුක වීම අද දවසේ වැඩිහිටි අපගේ කාර්යය නොවන්නේ ද?

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]