[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විපුල පල ලබන්න අවබෝධයෙන් හා සැදැහැ සිතින් දහම් අසන්න

විපුල පල ලබන්න අවබෝධයෙන් හා සැදැහැ සිතින් දහම් අසන්න

රාගයෙන් රත්ව, ද්වේෂයෙන් හා මෝහයෙන් මුලා වී මිනිසා ඉපදෙමින්, මැරෙමින් සසර තුළ ගමන් කරයි. මේ දුක් සහිත සසරෙහි මෙලොව පරලොව සැප පිණිස, දුක් දුරු කොට අපාදුක් ගිනි නිවන, නිවන් අවබෝධය සඳහා හේතුවන මහා කුසල කර්මයන් රැස් කර ගත හැකි වන්නේ ද මිනිසත් බව ලැබුවේ නම් ය. එහි දී ගෞරවයෙන් ධර්මය ශ්‍රවණය කිරීම පින් රැස් කර ගත හැකි කුසල කර්මයකි.

සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි අප මහා බෝසතාණන් වහන්සේ දාන සීලා දී පාරමිතාවන් පූර්ණය කොට ධර්මය අවබෝධ කොටගත්හ. එය සංදිට්ඨික, අකාලික, ඒහිපස්සිකෝ ආදී ගුණයන්ගෙන් යුතු ය. උන්වහන්සේගේ දේශානව වූයේ “සබ්බ දානං ධම්ම දානං ජිනාති“ ලොවෙහි සියලු දානයන් පැරදවීම පිණිස ධර්ම දානය හේතුවන බවයි.

නිවාස, යාන වාහන, ආහාරපාන, මුදල් ආදිය කොපමණ පරිත්‍යාග කළ ද එය එම පරිත්‍යාග ලබන පුද්ගලයාට මෙලොව සැප පිණිස පමණක් හේතුවේ. එසේ වූව ද ධර්ම දානය තුළින් ධර්ම ශ්‍රවණය කරන පුද්ගලයාට මෙලොව ජීවිතය මෙන් ම පරලොව ජීවිතය ද සාර්ථක කර ගැනීමට පමණක් නොව, නිවන් අවබෝධය සඳහා ද හේතුවන බවයි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ.

තථාගත දහමට අනුව මෙලොව යම් ඇසීමක් වේ නම් ත්‍රිපිටක බුද්ධ වචනය ඇසීම ම ශ්‍රේෂ්ඨ ය. ඒ බව අංගුත්තර නිකාය අටුවාව තුළ දී පෙන්වා දී ඇත. දස පුණ්‍ය ක්‍රියා අතර සද්ධර්ම ශ්‍රවණය නව වැනි පින් ක්‍රියාව ලෙස දක්වයි.

වර්තමානයේ දී අපි විවිධ අවස්ථාවන්වල සද්ධර්ම ශ්‍රවණය සිදු කරමු. විහාරස්ථානයක, නිවසක, නැති නම් විවිධ මාධ්‍ය මඟින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන්ට ඇහුම්කන් දෙමු. එමෙන් ම ඥාතියකු මිය ගිය පසු ඒ සඳහා ධර්ම ශ්‍රවණය කිරීම මතක බණ, යුගාසන ධර්ම ශ්‍රවණය, කාව්‍යමය ධර්ම ශ්‍රවණය, අරියවංස ධර්ම ශ්‍රවණය ආදි විවිධ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරමු. බුදු දහම නම් සර්වකාලීන ය. එනම් අතීත, වර්තමාන, අනාගත තුන් කාලයට ම ගැළපෙන්නේ ය.

බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම දේශනාවේ දී ම වදාළේ ධර්ම ශ්‍රවණයක මූලික අරමුණ විය යුත්තේ ශ්‍රාවකයාට නිබ්බිදානය, විරාගාය, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය යන කරුණු අවබෝධය පිණිස ය.

යම් පුද්ගලයකුට තමා මෙම සසරෙහි දිගු කාලයක් ජාති, ජරා, මරණ, ව්‍යාධි තත්ත්වයන්ට පත්වෙමින් දුක් විපාක ලබා ගනිමින් සසරේ ගමන් කිරීම පිළිබඳ ඇතිවන සසර කළකිරීම නිබ්බිදාය ලෙස හඳුන්වනු ලැබේ.

ලොව බොහෝ දේ නිර්මාණය වී ඇත්තේ ද, නිර්මාණය වන්නේ ද, අපගේ ආශාවන් වැඩි කිරීමට ය. ඇස. කන, නාසය, දිව, ශරීරය පිනවීම සඳහා ය. ගේ-දොර, මිල-මුදල්, පිළිබඳ ව අපගේ ආශාව දිනෙන් දින වැඩිවේ. එහෙත් ධර්ම ශ්‍රවණය කිරීම අප තුළ ඇති තද ආශා සමනය කර ගැනීමට හේතුවෙයි. එනම්, රාගය දුරු කිරීමට හේතු වෙයි.

මෙලොව ජීවත්වීමේ දී අපි විවිධාකාර ප්‍රශ්න - ගැටලුවලට මුහුණ දෙමු. බොහෝ දෙනකුට සතුටක් ඇත්තේ ම නැත. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ධර්ම ශ්‍රවණය කෙලෙස් සංසිඳීමට ද, මානසික සතුට පිණිස ද හේතුවේ.

පටාචාරා, කිසාගෝතමී, අජාසත්ත ආදී සැමදෙනා ම තම ජීවිතයේ සංසිඳීම සොයා ගත්තේ සදහම් ඇසීමෙනි. මනසට සුවයක්, සතුටක් හැම කාලයට ම ලබා ගැනීමට අවැසි නම් එය ලබා ගැනීමට හැකිවනුයේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ම ය.

බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රය පිළිබඳ දැන ගැනීම පිණිස හේතු වනුයේ ධර්මය ශ්‍රවණය ම පමණි. යමෙක් ලෝකයේ “බහුශ්‍රැත“ පුද්ගලයකු බවට පත්වනුයේ ඔහු යම් යම් දේ පිළිබඳ දැන ගැනීම පිණිස ය. එනම්, යමක් දැන ගැනීම පිණිස ධර්මය ශ්‍රවණය හේතුවේ.

බුද්ධ දේශනාව තුළ අඩංගු චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය ආදිය මනාව අවබෝධය ලබා ගැනීමට අවැසි ය. නිතර නිතර ධර්මය ශ්‍රවණය කිරීම තුළ නො ඇසූ දෙය අසන්නට ලැබේ. ඇසූ දෙය නැවත අසන්නට ලැබීමෙන් සැක දුරු කර ගැනීමට හැකි වේ. දෘෂ්ඨිය සෘජු වේ. සිත පැහැදීමට පත් වේ.

මේ අනුව සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් දිව්‍ය, මනුෂ්‍ය , ලෝක, සැප සම්පත් ලබා ගත් පිරිස අපමණ ය. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී හා අරහත් තත්ත්වයට පත් වූ අය අපමණ ය. එම තත්වයට පත් වූ අය අතර, විශේෂ වනුයේ හුදෙක් දෙව් මිනිසුන් පමණක් ම නොවේ. සතා සිවුපාවුන් ද සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලද ප්‍රතිඵල බොහෝ ය.

සද්ධර්මය ශ්‍රවණය කරන විට සාධුකාර දෙන පින්වතුන්ගේ මුවින් මානෙල් මල් සුවඳ ඇතිවන බව මනෝරථපුරණි අටුවාවේ දැක්වේ.

විමාන වත්ථු ප්‍රකරණයට අනුව “චම්පා නුවර ගග්ගරා නම් පොකුණෙහි විසූ මැඬියෙක් කිසිම අරමුණක් නැතිව දහම් දෙසන හඬ පමණක් අසා මරණින් මතු දෙව්ලොව උපන් බව සඳහන් වේ.

ලක්දිව කුඹල්තිස් පව්වෙහි විසූ පන්සියයක් පමණ කිරි වවුලන් තේරුම් නොමැතිව සතුටු සිතින් දම් දෙසුම් හඬ අසා ඒ පිනෙන් මිනිස් ලොව උපන් බව ද සඳහන් ය.

මේ නිදසුන් අනුව දුක, දුක ඇතිවීම, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය අප අවබෝධ කොට ගත යුතු ය. පටිච්ච සමුප්පාදයේ ඉගැන්වෙන හේතුඵල වාදය පිළිබඳ අපට අවබෝධයක් ලැබීමට නම් නිරන්තරව ම ධර්ම ශ්‍රවණය කළ යුතු ය. සියලු දුක් නැති කොට නිවන අවබෝධය පිණිස ධර්ම ශ්‍රවණය හේතුවන අතර, ධර්ම ශ්‍රවණයේ අවසාන බලාපොරොත්තුව වන්නේ ද එයයි.

අප නිතර නිතර ධර්ම ශ්‍රවණය කළ යුතු ය. කෙනෙකු යහපත් වීමට ඇත්තා වූ එකම මාර්ගය සදහම් ශ්‍රවණයයි. යමෙක් ධර්මයෙන් ටික ටික ඈත් වූ පමණට සමාජයේ ගුණවතුන් අඩු වේ. මෙලොව වශයෙන් යම් දිනෙක අපට තනිවීමට සිදුවේ. ඒ තමා අවසාන ය. එනම් මරණයට පත්වන අවස්ථාවයි. ඒ අවස්ථාවේ දී පිහිට, පිළිසරණ වනුයේ භෞතික දෑ නොව, තමා කළ යහපත් කටයුතු පමණි.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]