[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නින්දාවට දුක් වීමත් ප්‍රශංසාවට ප්‍රීතිවීමත් වරදක් වන්නේ ඇයි ?

නින්දාවට දුක් වීමත් ප්‍රශංසාවට ප්‍රීතිවීමත් වරදක් වන්නේ ඇයි ?

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ දෙවැනි මහානායක පදවිය (1998 -2011) සහ රුහුණ විශ්වවිද්‍යාලයේ දෙවැනි කුලපති පදවිය (2000 -2011) හෙබ වූ සාහිත්‍යසූරී, රාජකීය පණ්ඩිත. ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය අත්තුඩාවේ සිරි රාහුල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වටිනා ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් රචනා කළ සිරිලක පහළ වූ අග්‍රගණ්‍ය මහා යතිවරනමකි.

වර්ෂ 1919 දෙසැම්බර් මස 19 වැනි දින උපත ලද මහ නා හිමි 1932 මැයි මස 20 වැනිදා උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත්ව තිබේ. අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලබා ඇත්තේ වර්ෂ 1940 ජුනි මස 02 වැනිදා ය. වර්ෂ 2011 දෙසැම්බර් මස 01 වැනිදා උන්වහන්සේ අපවත් වී වදාළහ. වර්ෂ 1967 පළ කළ අතිපූජ්‍ය අත්තුඩාවේ සිරි රාහුල මහ නා හිමියන්ගේ “උසස් පෙළ බෞද්ධ සංස්කෘතිය” නමැති කෘතියෙන් උපුටා ගත් ලිපියක් ඇසුරින් මෙවර “යතිවර පන්හිඳ” ඔප මට්ටම් වෙයි.

බුදුරජාණන් වහන්සේ ඉන්දියාවෙහි පහළ වන සමය වන විට මිනිසාගේ සිතුම් පැතුම් මෙන් ම අදහස් උදහස් ද බ්‍රාහ්මණ සංස්කෘතියේ බලවේගයට යටපත්ව තිබිණ. ගතානුගතික වූ සාම්ප්‍රදායික අදහස්වලට අනුකූලව ඔවුන්ගේ විචාර ධාරාව හැඩ ගැසී තිබිණ. මේ සාම්ප්‍රදායික විචාර ධාරාව නව මඟකට යොමු කිරීමෙන් උන්වහන්සේ මහත් විප්ලවීය ක්‍රියා මාර්ගයක් උදා කළහ.

ආත්ම විශ්වාසය, අධිෂ්ඨාන ශක්තිය, අප්‍රතිහත ධෛර්යය යන මේ ධර්මයන්ගෙන් යුක්ත ඕනෑම පුද්ගලයකුට ලෞකික – ලෝකෝත්තර දියුණුව සාදා ගත හැකි බව බුද්ධ ධර්මය උගන්වයි. උන්වහන්සේ මාර්ග දර්ශකයෙක් පමණි. ඒ මාර්ගයෙහි යෑමෙහි හෝ නොයෑමෙහි අයිතිය තමා කෙරෙහි පැවරී ඇත.

“තුම්හෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගතා”

ශාස්තෘවරයකු හැටියට ස්වකීය ශ්‍රාවකයන්ට සම්පූර්ණ වගකීමක් හා නිදහසක් ද දුන්හ. භික්ෂු සමාජයේ ශික්ෂාපද පැනවීමට බොහෝ කලක් ගත විය. ඒවා ද ගිහි සමාජයේ හා පැවිදි සමාජයේ අභිවෘද්ධිය පිණිසත්, වුවමනාවන් පිණිසත් පැනවූහ.

දේවදත්ත ස්ථවිරයන් වහන්සේගේ පංච වස්තු යාචනයේ දී ද උන්වහන්සේ එක්වන් ප්‍රතික්ෂේප නො කළහ. කැමැත්තෝ එයට රිසි වෙත්වා – නො කැමැත්තෝ කැමැත්තක් කෙරෙත්වා යි වදාළහ.

උන්වහන්සේ ශ්‍රවකයනට නීති පැනවීමෙන් ඔවුන් යහමඟට ගැනීමට වඩා තමා ආදර්ශවත් වූහ. තමා දෙසූ දහම තමා ම පිළිපැද්දාහ. සෑම දෙන හටම පොදු ජීවිතයක් ගත කළ අතර, ඒ ක්‍රියා මාර්ගයේ සාර්ථකත්වය ස්වකීය ජීවිතයෙන් ප්‍රකාශ කළහ. ඒ අනුව සිතන්නට, ක්‍රියා කරන්නට ශ්‍රාවකයනට නිදහස තිබුණි.

ස්වකීය ආදර්ශවත් ජීවිතයත්, වටිනා ධර්මයත් සමාජය කෙරෙහි මහා කරුණාවෙන් දුන් උන්වහන්සේ පුද්ගලයා ගේ නිදහස කෙරෙහි දැක්වූයේ විශාල සැලකිල්ලෙකි. විමසීමටත්, හිතීමටත් අනුබල දෙන ඉගැන්වීමෙකි ඉදිරිපත් කළේ. එහෙයින් ම විචාරකයන්ගේ මහත් ගෞරවයට බුදුදහම ලක් විය.

ඩේවිඩ් නිල් නමැති විචාරකයා බුදුදහම ගැන මෙසේ සඳහන් කරයි. “විමසීමෙන් තොර අන්ධ භක්තියෙන් යමක් විශ්වාස නො කළ යුතු බව තමන්ගේ අනුගාමිකයනට ඉගැන්වූ ලෝකයේ එකම ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ ය. ඒ නිසා නවීන කියා කිව හැකි එකම ලොවක ව්‍යාප්ත ආගම බුද්ධ ධර්මය බව කීම අතිශයෝක්තියක් නොවේ.”

තමන් ගේ පෞද්ගලික නිදහස තමා විසින් ම ළඟා කර ගත යුතු බව උන්වහන්සේ පෙන්නුම් කළහ.

බුද්ධ ධර්මය පිළිබඳ වුව ද යම් යම් මතාන්තරයන් පිළිගැනීමට උන්වහන්සේ ඉදිරිපත් කළ ක්‍රමය කෙතරම් සාධාරණ වගකීමකින් කරන ලද දැයි සතර මහා උපදේශයන් දෙස බලන විට දත හැකි ය.

මෙය බුදුන් වහන්සේ වෙතින් අසන ලදැයි කී පමණින් පිළීගැනීම හෝ ඉවත දැමීම හෝ නො කළ යුතු ය. එය සූත්‍රය හා සසඳා බැලිය යුතු ය. විනයෙහි ලා සසඳා බැලිය යුතු ය. එවිට ඒ ධර්ම සූත්‍රය හා විනය හා සම නොවන්නේ නම් හළ යුතු ය. සූත්‍රය හා විනය සම වන්නේ නම් ඒකාන්තයෙන් බුදුන් වහන්සේ වදාළහ යි පිළිගත යුතු යැයි මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දෙසූහ.

සත්‍ය වටහා ගත හැකි වන්නේ මධ්‍යස්ථව, කලබල නොවී සන්සුන් වීමෙනි. එහෙත් වග කීමෙන් තොර වූ විට එවැනි තත්ත්වයක් ඇති කර ගත නො හැකි ය. එහෙයින් තම ශ්‍රාවකයනට නින්දාවේ දී දුක්වීමත්, ප්‍රශංසාවේ දී පී‍්‍රති වීමත් වැරැදි බව දක්වමින්,

“මහණෙනි, යම් කිසිවෙක් මට හෝ මා විසින් දේශිත ධර්මයට හෝ මාගේ ශ්‍රාවක භික්ෂු පරම්පරාවට හෝ විරුද්ධව කථා කළ හොත් එය ඔබට කෝප වීමට, ඔවුන් සමඟ අමනාප වීමට, නොසතුටු වීමට කාරණයක් නො වේ. ඔබ කිසිවෙක් එසේ කෝප වීමෙන් නැතහොත් තරහ ගැනීමෙන් තමනට මුහුණ පාන්න වන්නේ අන්තරාදායක තත්ත්වයකට යි.

යම් විදියකින් ඔබ කිසිවකු එවැනි තත්ත්වයකට පත් වුවහොත් ඒ දොස් දකින්නා කථා කරන්නේ සත්‍යය ද, අසත්‍යයෙන් බැහැරව ද යන්න විසඳා ගැන්ම තමන්ට ම අපහසු වෙයි. යමෙක් මා ගැන අසත්‍ය කථාවක් කළහොත් කෝප නොවී, දොම්නස් නො වී, ඒ අසත්‍ය අසත්‍යයක් බව හේතු සහිතව පැහැදිලි කොට ඔබ විසින් ප්‍රතික්ෂේප කළ යුතු ය. එවැනි අසත්‍යවාදී භාවයක් බුද්ධ ශාසනයෙහි නැති බව පැහැදිලි කොට දිය යුතු ය.

මහණෙනි, යම් කිසිවෙක් ඔබ ගේ හෝ ධර්මයේ හෝ සංඝයා ගේ ගුණ කථනය කරන්නේ නම් එය ඔබට සන්තෝෂවීමට, එවැනි ගුණ කථාකරන අයට කෘතඥ වීමට හෝ, සිත්හි උදම්වීමට හෝ හේතුවක් නැත. ඔබ එසේ සන්තෝෂයට හෝ උද්දාමයට පත්වුවහොත් අන්තරායකට මුහුණ පානු ඇත.

ඔබ විසින් සත්‍ය, සත්‍ය වශයෙන් ම ගත යුතු ය. නියත වශයෙන් ම ඇති බව කරුණු සහිතව පැහැදිලි කොට දිය යුතු ය. තමන් ඒ ගුණාංගයන් අනුගමනය කරන බව පිළිගත යුතු ය.

එහෙයින් ශ්‍රීමත් එඩ්වින් ආනෝල්ඩ්තුමා විසින් මනුෂ්‍ය නිදහස පිළිබඳ උදාරතම ප්‍රතිඥාව දෙන ලද්දේ බුදු සමය විසින් යැයි සඳහන් කරයි.

භෞතිකවාදී දර්ශනයන් අතර මානසික ප්‍රධානත්වය ඉදිරිපත් කළ උන්වහන්සේ ස්වකීය මාර්ගයේ වගකීම සම්පූර්ණයෙන් ම රඳා ඇත්තේ තමා කෙරෙහි බව දැක්වූහ.

‘අත්තනාව කතං කම්මං

අත්තනාව ගමිස්සති’

වගකීමත්, නිදහසත් එකිනෙක හා සම්බන්ධ කරුණු දෙකක් වන අතර, නිදහස වගකීමෙන් යුතුව ම රැක්ක යුතු දෙයෙකි.

වැරැද්දක් කළ විට එහි වගකීම උඩ දඬුවම් ලැබේ. කෙනෙක් කරන ලද වරදට තවකෙක් දඬුවම් දීම බුදු දහම නො පිළිගනී. හොඳ දෙයට ප්‍රශංසා කරන්නෙක් ද නැත. පින් පව්වල තත්ත්වය රඳා ඇත්තේ වගකීම උඩ ය.

කර්මය වශයෙන් හැඳින්වෙන්නේ චේතනා පෙරදැරි කොට ඇති ක්‍රියාවනුයි. චේතනාව නම් වගකීමයි. හිතාමතා කරන ක්‍රියාව මත ය වගකීම රඳා ඇත්තේ. කර්මයක් ක්‍රියාකාරී වීමට වගකීමක් අවශ්‍ය ය. කුඩා ළමයින් වගකීමෙන් තොර ව කරන ක්‍රියාවන්ගේ විපාකයක් නැත. ඊට හේතුව නම් චේතනාව නැතහොත් හිත ඊට ප්‍රධාන නො වීම ය.

කර්මය ක්‍රියාකාරී වීමට ලෝභ– දෝෂ– මෝහයන් තිබිය යුතු ය. සිතින්, කයින්, වචනයෙන් සිදු වන ක්‍රියාවන්ගේ කිසියම් ගුණයක් අඩංගු වී ඇත. පින් පව් වශයෙන් ගැනෙන්නේ එම ගුණය යි.

බුදු දහමට අනුව දෙවියකු විසින් හෝ, වෙන කෙනකු විසින් හෝ විපාක දීමක් දඬුවම් කිරීමක් දක්නට නැත. තමා කරන දේවලට විපාක එම ක්‍රියාවෙන් ම ලැබේ. නිදහස් ක්‍රියාවක් වනුයේ බුද්ධිය පෙරදැරි කැරැ ගත් විට ය. නිදහස් ව කටයුතු කිරීමට ඉන්ද්‍රිය දමනය අවශ්‍ය ය. එයින් ම විමුක්තිය ද ලැබේ. “සංඛත ධර්ම චලන ස්වභාවයෙන් යුක්ත හෙයින් අස්ථිර ය. එහෙත් අසංඛත ධර්මයන්ගේ චලනයෙක් නැති. එහෙයින් ස්ථිර ය. චලනය නැති තැන ශාන්තතාව පවතී. ශාන්තතාව ඇති තැන තෘෂ්ණාව නැත. තෘෂ්ණාවත්, ඇලීමත් නැති තැන ඇතිවීම හා නැතිවීම නැත. ඇතිවීම හා නැතිවීම නැති තැන හට ගැනීම හා නිරුද්ධ වීම නැත. හට ගැනීම හා නිරුද්ධවීම නැති තැන මෙලොවක් හෝ පරලොවක් නැත. ඉන් අතර ස්ථානයක් ද නැත. මෙය වනාහී දුක්ඛ නිරෝධය යි.”

ක්‍රියාව නිදහස් වන්නේ බුද්ධිය පෙරදැරිවූ විටය . ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් එහි නිදහස නැති වෙයි. තමන්ගේ වසඟයට තමන් පත්වී නැති නම්, එම ක්‍රියාව නිදහස් ක්‍රියාවක් නො වේ. 

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]