[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රථම ධර්මදූත සේවාව මෙසේ ඇරඹි වගයි

ප්‍රථම ධර්මදූත සේවාව මෙසේ ඇරඹි වගයි

සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම වාර්තා වී තිබෙන දිනයකි. ඉල් පුර පසළොස්වක පොහොය දිනය,

ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට අයත් වූ මහරහතන් වහන්සේ සැට නම ධර්ම ප්‍රචාරයෙහි යෙදවීම, තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම, මතු අනාගතයෙහි සම්මා සම්බුද්ධත්වයට පත්වන මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම, අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම, භික්ෂූන් වහන්සේ පසුවස් පවාරණය කළ යුතු දිනයවීම සහ චීවර මාසයේ අවසන් දිනය වීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි අවසාන දිනය වීම යන කරුණු ඒ අතර ප්‍රධාන ය.

රහත් සැට නමක්

බුදු සසුන තුළ භික්ෂු සමාජය ආරම්භ වූයේ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම සහ අස්සජි යන පස්වග භික්ෂූන් වහන්සේගෙනි. ඊට පසුව පැවිද්ද ලබා ගත් යස කුල පුත්‍රයා සහ ඔහුගේ යහළුවන් පනස් හතර දෙනා ද එකතුව රහතන් වහන්සේ සැට නමක් බවට පත්වුණි. බරණැස ඉසිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් කාලය නිමවීමෙන් පසුව ඉල් පොහොය දිනෙක මෙම රහතන් වහන්සේලා සැට නම හෙවත් ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළහ.

මහණෙනි, මම දෙවියන් පිළිබඳ වූ ද මිනිසුන් පිළිබඳ වූ ද සියලු කෙලෙස් මලපුඩුවලින් මිදුනෙමි. නුඹලා ද ඒ සියලු කෙලෙස් මලපුඩුවලින් මිදුනාහු ය. මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස ද, බොහෝ දෙනාට සැප පිණිස ද, ලොවට අනුකම්පා පිණිස ද, දෙව් මිනිසුන්ට වැඩ පිණිස ද, හිත පිණිස ද, සැප පිණිස ද චාරිකාවෙහි හැසිරෙන්න. දෙනමක් එක් මගින් නොයන්න. මහණෙනි, මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවර යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ, සියල්ලෙන් සම්පූර්ණ වූ ධර්මය දේශනා කරන්න. පිරිසුදු වූ බ්‍රහ්ම චර්යාව ප්‍රකාශ කරන්න.

ස්වල්ප වූ රාගාදී කෙලෙස් ඇති සත්ත්වයෝ වෙති. ඔවුහු දහම් නො ඇසීමෙන් පිරිහෙති. දහම් අවබෝධ කරන්නෝ වන්නාහ. මහණෙනි මමත්. උරුවෙල් දනව්වෙහි සේනානි නියම් ගමට දහම් දෙසනු පිණිස යන්නෙමි.

දහසක් ජටිලයෝ

එකල උරුවෙල් දනව්වෙහි නේරංජරා ගඟ අසබඩ අසපු ඉදිකරවා ගෙන වාසය කළ ජටිල සොහොයුරෝ තිදෙනෙක් වූ හ. ඒ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යපයි. දහසක් පිරිවර ද සහිතව සිටි ඔවුහු තමන් රහත් ය යන මානයෙන් මුලා වී සිටියහ.

ඔවුන්ගේ මානය දුරැලීමේ අරමුණින් පළමුව බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යපගේ අසපුවට වැඩම කළහ. “කාශ්‍යප, ඔබට කරදරයක් නොවන්නේ නම්, මම එක් රැයක් ගිනිහල්ගෙයි වසන්නෙමි”යි, ඔහු අමතා වදාළහ. එයට උරුවේල කාශ්‍යපගේ පිළිතුර වූයේ “මහා ශ්‍රමණයන් වහන්ස, මට කිසි කරදරයක් නොමැත. මෙහි දරුණු වූ ඍද්ධි ඇති, වහා පැතිරෙන විස ඇති, දරුණු විස ඇති නා රජෙක් වෙයි. ඒ නා රජ නුඹ වහන්සේ වෙහෙසට පත් නොකෙරේවා යන්නයි.

ඍද්ධිමය බලයෙන් නා රජු දමනය කළ බුදුරජාණන් වහන්සේ රැය පහන් වූ පසු ඔද බිඳුණු නාගයා පාත්‍රයෙහි බහාගෙන ගොස් උරුවේල කාශ්‍යපට පෙන්වූ සේක. පසුව තවත් බොහෝ ප්‍රාතිහාර්යයන් ද දැකීමෙන් පසු උරුවේල කාශ්‍යප තමා රහත් ය යන මානය දුරු කළේ ය. ඔහු අනුව ගිය දහසක් ජටිලයෝ ද මානය දුරු කොට බුදුරදුන් වෙතින් පැවිද්ද ඉල්ලා සිටියහ. ඉක්බිති සියල්ලෝ ම ඒහි භික්ඛු සම්පත්තියෙන් පැවිදි උපසම්පදාව ලැබූ හ.

දහසක් වූ මෙකී ජටිල භික්ෂූන් වහන්සේ ද පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ගයා පෙදෙසට වැඩම කළහ. එහිදී දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියල්ලෝ ම රහත්භාවයට පත් වූහ.

නියත විවරණය

බුදුරජාණන් වහන්සේ පස් නමකගෙන් සමන්විත මෙම මහා භද්‍ර කල්පයෙහි අවසන්වරට බුද්ධත්වය ලබනුයේ මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ ය. ඉල් පෙහොය දිනෙක බුදුරජාණන් වහන්සේ මෛත්‍රෙය බෝධි සත්ත්ව භික්ෂූන් වහන්සේ අමතා “ඔබ වනාහි මේ මහා භද්‍ර කල්පයෙහි ම මෛත්‍රෙය නමින් සම්‍යක් සම්බුද්ධ වන්නෙහි යැ”යි නියත විවරණ දුන් සේක.

චක්කවත්ති සීහනාද සූත්‍රයෙහි දැක්වෙන පරිදි මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ උපදින්නේ බරණැස්නුවර කේතුමතී නම් රාජධානියෙහි “කේතුමතී” නම් නගරයෙහි ය. උන්වහන්සේ පිළිබඳ සෑහෙන ප්‍රමාණයක් විස්තර ඇතුළත් වන්නේ “අනාගතවංස” සහ බුද්ධවංස” යන පාලි භාෂාවෙන් රචිත ග්‍රන්ථවල ය. ඒ හා බොහෝ සෙයින් ගැලපෙන කරුණු පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය යනාදී ග්‍රන්ථවල ද ඇතුළත් වී තිබේ. පුරාතන “මෛත්‍රෙය වර්ණනාව“ තුළ කියැවෙනුයේ මෛත්‍රෙය බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිය හැකි වන්නේ කෙබඳු අයට ද, පැමිණීමට නොලැබෙන්නේ කෙබඳු අයට ද යන කරුණු ය. ඒ මෙසේ ය.

මෙතේ බුදුන් නොදකින්නෝ

මවුවරු මැරුවෝ ය. පියවරු මැරුවෝ ය. රහතුන් මැරවෝ ය. බුදුන්ගේ ඇඟින් ලේ සෙල්ලුවෝ ය. සංඝ භේද කළෝ ය. පවිටු සංඝයා ය යන මොවුහු අවීචි මහ නරකයෙහි උපදනා හෙයින් ඒ මෛත්‍රීය බුදුන් දැක්ක නොහෙන්නාහු ය.

දාගැබ් බිඳ, බෝධි ශාඛා කපා, රන් පිළිම පොතු උපුටා, බණ පොත් සිඳ බිඳ පව් කළ සත්ත්වයෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක්ක නොහෙන්නා හු ම ය.

තව ද සංඝයා වහන්සේට ආක්‍රෝෂ කොට බිනුවාහු ද, සිල්වතුන්ට බොරු චෝදනා ඉපිද වූවා හු ද, ධර්මයට අනාදර බිනුවාහු ද, දන්වැට කෑවාහු ද, බුදුන් සතු දෙය, ධර්මය සතු දෙය, සංඝයා සතු දෙය, සාංඝික දෙය, කෑවෝ ද, මෙලෝ නැත. පරලෝ නැත. කුසල් නැත. අකුසල් නැත. එයින් වන සැප විපාක දුක් විපාක නැත යනාදී දෘෂ්ටිගෙන ඇවිද්දාහු ද, දස අකුසල් කොට සතර අපායෙහි උපන් සත්ත්වයෝ ද, ජාත්‍යන්දාදී ඉන්ද්‍රිය විකලත්වයට පැමිණි සත්ත්වයෝ ද, ත්‍රිවිධ රත්නය නොපවත්නා ප්‍රත්‍යන්ත රටවාසීහු ද, පිටසක්වල මනුෂ්‍යයෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක්ක නොහෙන්නාහු ම ය.

මෙතේ බුදුන් දකින්නෝ

පසුව මෛත්‍රෙය වර්ණනාවෙහි කියැවෙන්නේ මෛත්‍රෙය බුදුරදුන් දැක්මට ලැබෙන්නන් පිළිබඳ වූ විස්තරයකි.

සද්ධාදී ගුණ ධර්මයෙහි පිහිටා දුගී මගී යාචකයනට ද, ශ්‍රමණ බ්‍රාහ්මණයනට ද, ආහාරපාන වස්ත්‍රාභරණාදිය දන් දුන්නෝ ඒ මෛත්‍රී බුදුන් දකින්නෝ ම ය.

තවද පන්සිල් රක්ෂා කළෝ දකිත් ම ය. පොහොය පේවී අටසිල් රක්ෂා කළෝ දකිත්ම ය. දසසිල් සමාදන් වී බ්‍රහ්ම චර්යාව රක්ෂා කළෝ ඒ මෛත්‍රි සර්වඥයන් වහන්සේ දකිත් ම ය. දාගැබ් කෙරෙව්වෝ දකිත් ම ය. බෝධි පිහිටවූවෝ දකිත් ම ය. පොකුණු කරවූවෝ දකිති. ඒ දඬු, අම්බලම් කරවූවෝ දකිති. මං හෙළි කරවූවෝ දකිති. ධර්ම ශාලා, භෝජනාගාර කරවූවෝ දකිත් ම ය.

තවද බුදු සසුන් ඇති කරවන්නට ආධාර වූවෝ දකිති. ධර්ම කථිකයන්ට මණ්ඩප කරවා පිළිගැන්වූවෝ ද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකිත් ම ය. තව ද ආමිස දාන, ධර්ම දානාදී වශයෙන් සංඝයා වහන්සේට පූජා සත්කාර කළෝ දකිත්. මවුන්ට උපස්ථාන කළෝ දකිති. පියන්ට උපස්ථාන කළෝ දකිති, කුල දෙටුවන්ට උපස්ථාන කළෝ දකිති. දස පින් පිරුවෝ ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකිත් ම ය. සංඝාරාම කරවූවෝ දකිති. පිළිම ගෙවල් කරවූවෝ දකිති. පිළිම කරවා නෙත් තැබුවෝ දකිති. බණ පොත ලියවා දුන්නෝ දකිති.

තව ද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දැකුම් හයි පතා යටත් පිරිසෙයින් එක මල් මිටක්, එක පහනක්, එක බත් හැන්දක්, එක බෙහෙත් පැණිත්තක් පමණ පිදුවෝ ද සංඝයා කෙරෙහි ආදර ගෞරවයෙන් පි‍්‍රය මුහුණින්, පි‍්‍රය තෙපුළෙන් පැවැත්මෙන් සංග්‍රහ කළෝ ද, ඒ මෛත්‍රී සර්වඥයන් දකිත්ම ය. අනුන් කළ පින් සතුටුව අනුමෝදනා වූවෝත් ඒ මෛත්‍රී බුදුන් දකිත් ම ය.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]