[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැබෑ බලවතා හඳුනා ගන්නේ මෙලෙසය

සැබෑ බලවතා හඳුනා ගන්නේ මෙලෙසයි

සිතට නැඟී එන කෙලෙස් විනාශ කරමින්, අලෝභ ආදී කුසල සිතිවිලි මතු කරමින් කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව ඇති කර ගැනීම සම්පක්ඛන්ධන ශ්‍රද්ධාව යි. සැබෑම බෞද්ධයකු නම් ඔහු තුළ මෙකී ශ්‍රද්ධාව තිබිය යුතු ම ය.

සමාජයේ විවිධ ධනවතුන් හා බලවතුන් දක්නට ඇත. ඔවුන් සමහර විට විවිධ හේතූන් මුල් කරගෙන එකී තත්ත්වයට පත් වී තිබේ. ඒ අතරින් යහපත් මෙන් ම අයහපත් පිරිස් ද දක්නට ඇත. ඇතැම් ධනවතුන් හා බලවතුන් නොමනා ක්‍රියාදාමයන් කොට එම තරාතිරම් හිමි කරගෙන ඇත. මෙයින් සමාජයට මෙන්ම රටට ද කිසිදු ප්‍රයෝජනයක්, යහපතක් නොවෙයි.

බෞද්ධයෙක් හැටියට සැබෑ ම ධනවතෙක් හා බලවතෙක් වීමට නම් ඔවුන් ධර්මානුකූල විය යුතු ය. එවිට ඔවුන් සමාජයට මෙන් ම රටට ද වැදගත් වෙයි. තව ද මෙකී පුද්ගලයන් නිසාවෙන් සමාජය දුෂ්චරිතයන්ගෙන් තොරව සුචරිතවත් බවට පත් වේ.

බුදුන් වහන්සේ ධනවතකු හා බලවතකු වීමට අවශ්‍ය ධර්ම කරුණු කිහිපයක් සූත්‍ර පිටකයේ සංඛිත්ත සත්ත බල සූත්‍රය තුළ දී පෙන්වා දී තිබේ. මෙම ධනය හා බලය නැති ජීවිතය හිස් වූවක් මෙන් ම දිළිඳු වූවක් බව උන්වහන්සේ දේශනා කර ඇත. එම සූත්‍රය තුළ පෙන්වා දී ඇති එම බල හා ධන එනම්, ශ්‍රද්ධාව, සීලය, හිරි, ඔත්තප්ප, සුත, චාග හා ප්‍රඥා ය. මෙකී කාරණාවලින් ධර්මානුකූල ව යම් කෙනෙක් කටයුතු කරයි නම්, ඔහු හෝ ඇය සැබෑ ම ධනවතකු හා බලවතකු වන බව මෙම සූත්‍රය තුළ දී පෙන්වා දී ඇත.

පැහැදීම

ශ්‍රද්ධාව යනු අපේ සිතේ ඇති වන සිතිවිල්ලකි. අභිධර්මය තුළ මෙය චෛතසිකයක් ලෙස ද දක්වයි. සැබෑවට ම ශ්‍රද්ධාව යනු තුනුරුවන්ට ඇති ගෞරවය හා භක්තිය යි. එමෙන් ම පැහැදීම යි. ශ්‍රද්ධාව කොටස් දෙකකි. එනම්, සම්පසාධන ශ්‍රද්ධාව හා සම්පක්ඛන්ධන ශ්‍රද්ධාව යි.

සිතේ ඇති වන, සිත කිලිටි කරන කෙලෙස් තාවකාලිකව යටපත් කොට, බුද්ධාදී අරමුණු කෙරෙහි සිතෙහි ප්‍රසන්න බවක් ඇති කර ගැනීම සම්පසාධන ශ්‍රද්ධාව යි.

සිතට නැඟී එන කෙලෙස් විනාශ කරමින්, අලෝභ ආදී කුසල සිතිවිලි මතු කරමින් කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව ඇති කර ගැනීම සම්පක්ඛන්ධන ශ්‍රද්ධාව යි. සැබෑම බෞද්ධයකු නම් ඔහු තුළ මෙකී ශ්‍රද්ධාව තිබිය යුතු ම ය.

සංවරකම

සීලය යනු සිත, කය, වචනය යන තිදොර සංවර කර ගැනීම යි. තව අදහසකින් සීලය හඳුන්වන්නේ නම්, සීලය යනු හැදිච්චකමයි. පුද්ගලයකු සමාජය තුළ ජීවත් වන විට ඔහු කෙතරම් දුරට අධ්‍යාපනය ලබා ඉහළට ගිය ද, ඔහු තුළ හැදිච්චකම නොමැති නම් ඔහු ලබා ගත් අධ්‍යාපනයෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත. වචනයෙහි පරිසමාප්ත අර්ථයෙන් ම කියතොත් ඔහු සමාජය තුළ බබළන්නේ නැත. මෙනිසා සීලය හැම දෙනකු ළඟම තිබිය යුතු ය.

වර්තමාන සමාජය දෙස බලන විට ද පෙනී යන්නේ මිනිසුන් ළඟ මෙකී සීලය නොමැතිකම නිසාවෙන් මිනිසුන් විවිධ දුරාචාරයන් කරන අයුරුයි. මෙයින් සමාජයට අයහපතක් මිස යහපතක් සිදු නොවෙයි. අඩුම තමන්ට ද මෙයින් කිසිදු ප්‍රයෝජනයක් වන්නේ නැත.

සමාජය මේ තරම් පරිහානියට පත්වීමට ප්‍රධාන හේතුව වනුයේ මිනිසුන් ළඟ හැදිච්චකම හා සීලය නොමැතිකම යි. අපේ රටේ අපට උරුම වූ සංස්කෘතියක් ඇත. එකී සංස්කෘතියට හැඩගැසී ජීවත්වීම මෙරට හැම දෙනාගේ ම වගකීමක් විය යුතු යි.

අපේ රටේ මිනිසුන් අද අපේ සංස්කෘතිය වල පල්ලට දමා සුද්දගේ සංස්කෘතියට ඇබ්බැහි වී ඇත. මෙය ශෝචනීය කරුණකි. මේ නිසාම කතා කරන භාෂාව, ගමන බිමන, අඳින පළඳින විදිහ හා කන බොන විදියේ පවා සීලාචාර බවක් දක්නට නැත. සීලයෙන් යුතුව ජීවිත ගත කරන්නේ නම්, ඔහු සැබෑ බෞද්ධයෙකි.

ලජ්ජාව සහ බිය

හිරි යනු පවට ඇති ලජ්ජාවයි. වරදක්, අනර්ථයක් කිරීමට ඇති ලජ්ජාවයි. පංචසීල ප්‍රතිපදාව නිවැරැදිව ආරක්ෂා කරනුයේ නම්, කිසිදෙයකට ලජ්ජා විය යුතු නැත. අද සමාජයේ බොහෝ මිනිසුන් පව් කිරීමට ලජ්ජා නැත. පින් කිරීමට ලජ්ජා සහගත ලෙස කටයුතු කරයි. මෙය මිනිසාගේ අභ්‍යන්තරයට හෙවත් චිත්ත සන්තානය තුළින් ම ඉදිරිපත් වන්නකි.

එහෙත් ඔත්තප්ප යන්න ඇති වන්නේ බාහිර සමාජයෙන් ය. දුශ්චරිත ක්‍රියාවන් සිදු කිරීමෙන් ඇති විය හැකි තර්ජන, ගර්ජන, සිරදඬුවම් ආදී මේවා මෙනෙහි කිරීමෙන් ඇති වන බිය යි. මෙම කරුණු දෙකින් වෙන් ව කටයුතු කිරීම යහපත් දිවියකට මඟ පාදයි.

අසාදැනගැනීම

සුතය යනු අසා දැන ගැනීමයි. අප නොදන්නා දේ දන්නා කෙනකුගෙන් අසා දැන ගැනීම මෙයින් අදහස් කරයි. ත්‍රිපිටකය පවා මෙතෙක් කාලයක් ආරක්ෂා කරගෙන එනු ලැබුයේ මෙසේ අසා දැන ගෙන තවත් වනපොත් කිරීමෙන් ය. මෙනිසා යහපත් කල්‍යාණ මිත්‍රයා ඔබ සුමඟට යොමු කිරීමට යමක් කියත් ද, එය හොඳින් අසා දැන ගෙන කටයුතු කිරීම ඉතා වැදගත් වෙයි. ‘පණ්ඩිතානංච සේවනා’ යන්න මෙහි දී ඉතා වැදගත් වෙයි.

පරිත්‍යාගය

චාග යනු පරිත්‍යාගය යි. ලෝහා දී අකුසල මූලයන්ගෙන් සිත යටපත් කර අලෝභා දී කුසල මූලයන් උද්දීපනය කරමින්, තමා සතු දෙය වෙන කෙනකුට පරිත්‍යාග කිරීම මෙයින් අදහස් කරයි.

පෙර භවයේ අප කරන ලද පරිත්‍යාග ආදියේ ප්‍රතිඵල නිසා මේ ආත්ම භවය තුළ යම් සම්පත් ප්‍රමාණයක් අපට ලැබී ඇත් ද, එකී සම්පත් ලබන ආත්මය තුළ දී ද ලබා ගැනීමට නම් පරිත්‍යාගශීලී බව ඉතා වැදගත් වෙයි. පරිත්‍යාගය සිදු කරන පුද්ගලයා එකී පරිත්‍යාගය සිදු කිරීමෙන් පසු ඔහුගේ සිතට ලොකු බලයක්, ධනයක් එකතු වූවා සේ දැනෙයි.

ප්‍රඥාව

බුදු දහමේ උගන්වන සැබෑ ධනය නම් ප්‍රඥාව යි. මේ ප්‍රඥාව ලබන්නට නම්, සීලය ආරක්ෂා කළ යුතු ය. එය සීල විසුද්ධිය යනුවෙන් හඳුන්වයි. සීල විසුද්ධිය ලැබූ තැනැත්තා සිත පිරිසුදු කර ගනී. ඉන් අනතුරුව ඔහු ප්‍රඥාව ලබා ගනී. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේ පංචස්කන්දය දුකක් බව වටහා ගැනීම සැබෑ ප්‍රඥාව යි.

මෙකී කාරණාවලින් යුක්ත පුද්ගලයා සමාජයේ ධර්මානුකූල ධනවතකු හා බලවතකු බවට පත් වෙයි. දුශ්චරිත, අධාර්මික ධනය හා බලයට වඩා සුචරිතවත් ධනය හා බලය ඉතා වැදගත් වේ. එකී පුද්ගලයකු බවට පත්වීමට උත්සාහ කිරීම බෞද්ධයකු ලෙස සිදුකළ යුතු ය. ලේබලයට සීමා වූ බෞද්ධයකු නොව බෞද්ධකම ක්‍රියාවෙන් පෙන්වන කෙනකු බවට පත්වීම වැදගත් වේ.

ඉල් පුර අටවක පෝය

 නොවැම්බර් 01 අඟහරුවාදා පූ.භා. 01.14 පුර අටවක ලබා එදිනම අ.භා. 11.07 ගෙවේ.
01 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]