[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විද්‍යාලංකාර සම්ප්‍රදායේ වර්තමාන භූමිකාව

විද්‍යාලංකාර සම්ප්‍රදායේ වර්තමාන භූමිකාව

එවකට රත්මලාන පුරාණ විහාරය ඇතුළු විද්‍යාලංකාර පිරුවන සතු සියලු ස්ථානයන්හි නීත්‍යනුකූල ප්‍රධාන අධිකාරී බලය හිමිව සිටි විද්‍යාලංකාර පරිවේණාධිපති, සාර්වභෞම පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන් වහන්සේ එම ස්ථානයෙහි නීත්‍යනුකූල අයිතියක් තමන්වහන්සේට හැර වෙනත් කිසිවකුට නැති බව මැනවින් පෙන්වා දී ඇති අතර, මේ පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අපේ මල්වතු මහා විහාරයේ ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව වෙත ලියා දැනුවත් කර ඇති බව කිව යුතු ය.

රත්මලාන පුරාණ විහාරය සම්බන්ධ ව මතුවූ එම ප්‍රශ්නය විසඳීම සඳහා මල්වතු මහා විහාරය යක්කඩුවේ නායක ස්වාමීන් වහන්සේ විසින් යවන ලද සවිස්තරාත්මක ලිපිය විශේෂ අවධානයට ගෙන තීන්දුවක් දී ඇත. එම තීන්දුවෙහි මෙසේ සඳහන්ව ඇත.

“විත්තිකාර ස්ථවිර තැන” වැටහෙන යුක්තියක් ඉටු කරන ලෙස” 1972.11.23 දින දරන ලියමන 1972.12.02 දින අප වෙත ලැබෙන්නට සලස්වා විභාගයට නොපැමිණියේ ය. පැමිණිලි පක්ෂය විභාගය සඳහා පැමිණියේ ය.

මේ පිළිබඳ සෑහෙන කාලයක් ගතවීමත්, විත්තියේ ඉල්ලීම අනුව දින දීමත් සිදු වූ නමුත් විත්තිකාර ස්ථවිර තැන අන්තිමට එවූ ලියමනේ සඳහන් වන ලෙස විභාගයට ඉදිරිපත් නොවන බව ඒත්තු ගිය බැවින්, ලැබී තිබෙන ලියුම් කියවා බලා ඒ අනුව තීන්දුවක් කිරීමට සභා සම්මත විය.

කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්ථවිරයන් වහන්සේගේ කාලයේ දී එම තත්ත්වය නිරවුල් ව පැවැති බව පෙනේ. එම සම්මුතිය හා සම්ප්‍රදාය අනුව යථොක්ත විද්‍යාලංකාර පිරිවෙනේ අධිපතිධූරය දරන යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්ථවිරයන්ට මෙම රත්මලානේ පුරාණ විහාරස්ථානයේ ප්‍රධාන අධිකාරීධුරය ද හිමි විය යුතු බැවින්, නායක ස්ථවිරයන් වහන්සේ මෙම පෙත්සමේ විත්ති පැමිණිලි දෙපක්ෂය ඇතුළු කිරිගල්පොත්තේ ශ්‍රී ඉන්දජෝති නායක ස්ථවිරයන් වහන්සේගේ සියලුම ශිෂ්‍යයන් යථෝක්ත විද්‍යාලංකාර පරිවෙණාධිපති යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්ථවිරයන්ගේ අවවාද අනුශාසනා හොඳින් පිළිගෙන ස්ථානයේ අභිවෘද්ධියත්, දායකවරුන්ගේ ශ්‍රද්ධාවත් දියුණු වන ලෙස ශාසනානුලෝමිකව කටයුතු කළ යුතු බව ද නියම කරන්ට යෙදුණා ඇත.

මල්වතු මහා විහාරයේ අනුනායක කාරක මහා සංඝ සභාවේ සමානඡන්දයෙන් කළ මෙම තීන්දුව පිළිගෙන ස්ථිර කළ බවට, ඒ වගත් මෙසේ ම, මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති මඩුගල්ලේ ශ්‍රී සුමන සිද්ධාර්ථ ධම්මසිද්ධ්‍යාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක ස්ථවිරයන් වහන්සේ වම්හ. අත්සන් කළේ මඩුගල්ලේ ශ්‍රී ධම්මසිද්ධි හිමි 2516 1972 දෙසැම්බර් 4 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයේ දී ය. (මේ තීන්දුව දායක සභාව විසින් ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබීය)

ඉන් අනතුරුව යක්කඩුවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා ඇතිව රත්මලාන පුරාණ විහාරයේ කටයුතු පවත්වාගෙන යන ලදී. මාදම්පේ අත්ථදස්සී ස්වාමීන් වහන්සේ, කොටනෙළුවේ චන්දජෝති ස්වාමීන් වහන්සේ, ඇලිකේවල ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන ව එම විහාරස්ථානයේ කුදුමහත් ආගමික කටයුතු ඉදිරියට පවත්වා ගෙන ආ බව කාටත් පැහැදිලි ය.

සාර්වභෞම පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් පසු පිළිවෙළින් විනයාචාර්ය නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ, ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරය හෙබවූහ.

විද්‍යාලංකාර සම්ප්‍රදායට අනුව උන්වහන්සේ ද පිරුවන සතු සියලු ස්ථානයන්හි භාරකාරත්වයට නිතැතින් ම පත්විය. වර්ෂ 2002 පෙබරවාරි මස 02 වැනි දා ඇලිකේවල ආනන්ද ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව එවකට පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති හා අධ්‍යක්ෂ ආචාර්ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා ඇතිව හෙවෙස්සේ නන්දාරාම ස්වාමීන් වහන්සේ අනෙකුත් විහාරවාසී ස්වාමීන් වහන්සේගේ පූර්ණ සහාය ඇතිව රත්මලාන පුරාණ විහාරය තදනුබද්ධ සියලු කාර්යයන් නොපිරිහෙළා මේ දක්වා ම සිදු කර ගෙන එනු ලබයි.

වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරය සඳහා නාවින්නේ ධර්මකීර්ති ශ්‍රී සුගුණධම්ම කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ පත්වුව ද උන්වහන්සේ ටික කලකින් අපවත් වූයෙන් විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරයට විද්‍යාලංකාර උප පරිවේණාධිපති හා අධ්‍යක්ෂ වැලමිටියාවේ කීර්ති ශ්‍රී ඤාණරතන නායක ස්වාමීන් වහන්සේ විද්‍යාලංකාර සභාව විසින් පත් කරන ලදි.

විද්‍යාලංකාර සම්ප්‍රදායට අනුව උන්වහන්සේට ද පිරුවන සතු සියලු ස්ථානයන්හි භාරකාරත්වය නිතැතින්ම හිමි ය. එය අණබෙර ගසා, පුවත්පත් දැන්වීම්වල පළකරවා ප්‍රසිද්ධ කළ යුතු නැත. එවැනි අතීත සම්ප්‍රදායක් විද්‍යාලංකාර පිරුවන සතුව තිබුණේ ද නැත. විද්‍යාලංකාර පිරුවනේ මාතෘ භූමිය වූ රත්මලාන පුරාණ විහාරය සම්බන්ධ ව කතිකාව එපමණයි.

අතීත විද්‍යාලංකාර සම්ප්‍රදායට අනුගතව යමින් විද්‍යාලංකාර පිරුවනේ මාතෘභූමිය වූ රත්මලාන පුරාණ විහාරයෙහි වර්තමාන විහාරාධිපතිකමට විද්‍යාලංකාර පරිවේණාධිපති හා අධ්‍යක්ෂ වැලමිටියාවේ කීර්ති ශ්‍රී ඤාණරතන කොළඹ හලාවත දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ මල්වතු මහාවිහාරයේ ශ්‍රීමත් මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් පත්කොට තිබේ. එය පුදුමයට හෝ කලබලයකට හෝ කිසිවෙක් පත් විය යුතු කරුණක් නොවේ. කලබලයකට මෙන්ම පුදුමයට පත් පිරිසක් වෙතොත් ඒ අයගේත් මතු අයගේත් දැනගැනීම පිණිස මෙම කරුණු ගොනු කෙරුවා මිස එම පත්කිරීම ප්‍රසිද්ධ කිරීමට අපට විද්‍යාලංකාරිකයන්ට කිසිසේත්ම අවශ්‍ය නැත.

‘පරත්ථං පටිපජ්ථ’ යන බුදු වදනට අනුව අපි කොයි කවුරුත් අන්‍යයන් වෙනුවෙන් එකමුතුව එකාවන් ව යමක් කැපවීමෙන් සිදුකරමු. ඒ විද්‍යාලංකාර සම්ප්‍රදායෙහි වර්තමාන භූමිකාවයි.

(පොත පත ඇසුරින් හා විශේෂයෙන්ම යක්කඩුවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අත්පිටපත්වලින් ලබා ගත් තොරතුරු ඇසුරින් සැකසුණි)

මෙම ලිපියේ මුල් කොටස් වප්පුර පෝදා (09) පත්‍රයේ සහ එතැන් සිට බුදුසරණ අන්තර්ජාල කලාපයන්හි පළවුණි.

ඉල් පුර අටවක පෝය

 නොවැම්බර් 01 අඟහරුවාදා පූ.භා. 01.14 පුර අටවක ලබා එදිනම අ.භා. 11.07 ගෙවේ.
01 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]