[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

සසරක මහිම

දෙවියන් සහිත ලෝ වැසි පිරිසක් සමගින්
මිනිසත් බවෙහි අපමණ සිරිසැප විඳිමින්
සුදොවුන් මහ රජුගෙ පුත් සිදුහත් කුමරුන්
සිහිපත් කරමි සම්බුදු ගුණ දෙනෙත් වසන්

ජාති ජරා දුක් සෝ කම් කටොලු මැදින්
කිළුටක් නැතිව නෙක නෙක නම්ගොත් දරමින්
සුමිහිරි හඬින් සුමිහිරි බණපද දෙසමින්
භව ගමනක් කළා සත්හට මෙත් කරමින්

දෙවි, බඹ, මිනිස් හා තිරිසන් භව අතර
ඉපිද ඉපිද මැරි මැරි යන හැටි නිතර
සම්බුදු ඇසින් දුටුවේ සත් සති අතර
පටිච්ච සමුප්පාද දහමයි අවබෝධ කර

****

අම්මා

වැහිකෝඩ අස්සෙන්ම
ළඟ එන ඝණඳුරට
එළිය දෙන පහන් සිල අම්මා

කවි අතර හැංගිච්ච
ඉසියුම්ම තාලයට
අරුත් දෙන එළි සමය අම්මා

ලේ නහර අස්සෙන් ම
ගලා යන ලේ කඳට
කිරි පාට කැටි කරන අම්මා....

ඇගෙ හීන කර තියන්
මසිත් පිටපත් ගන්න අම්මා.....

****

මගෙ රට

සම්බුදු පහස ලද සමනල කඳු මුදුනයි
අනුබුදු මහිමි වැඩි රජරට ඇති සිරියයි
පරසිදු දකුණු දළදා සෝමාවතියයි
පිරිසුදු දහම ඇති මගෙ රට ලක් දෙරණයි

දකුණු අකුධාතු හිමියන් නිදන් කර
සැදුණු වෙහෙර ඇති රජ රට පහන්කර
පිදුණු කේස දා සමිඳුගෙ සුපින්බර
රැඳුණු සෑ රදුන් මියුගුණ වඳින් තිර

සිරිලක වෙතට දෙව්පියතිස් රජ දවසේ
දම්සක මිහිඳු මා හිමියන් දෙසු පියසේ
අණසක පරිදි දම්සෝ නිරිඳුගෙ සිත සේ
පහසක රැඳි මුනිඳු ඇත බෝහිමි සුව සේ

****

නමඳිමු නිරතුරු

දියනෙත බුදුවරු
සදහම් පිවිතුරු
මහ සඟ යතිවරු
නමඳිමු නිරතුරු

පින්බර දෙවිවරු
හෙළ මහ රජවරු
මව්පිය ගුරුවරු
නමඳිමු නිරතුරු

වෙහෙරද ගරුසරු
මහ බෝ ගුණ පිරු
බුදු රුව ලොව්තුරු
නමදිමු නිරතුරු

මහජන පිරිවැරු
පන්සල මුල් ගුරු
පුද බිම සුරගුරු
නමඳිමු නිරතුරු

****

කලබල මිනිසා

කුසලට පිටුපා
තැන්පත් ගතියක් නොම පෙන්වා
වැඩියි වැඩියි වැඩ
කියමින් කල් ගෙවු
වැඩ වැඩි නිති කලබල මිනිසා

හදිසියෙ සදහට නෙත් වසලා
දෙණ තුළ සැතපී
තැන්පත් විලසින්
සිටිනා අන්දම
සියලුම වැඩ නවතා

****

පුංචි ළමයි නොවැ තවමත් ...

බෝ මලුවේ විහාරයේ පහන් පුදා රෑට රෑට
ටිකිරි හඬින් පන්සිල් පද කියමින් බොදු දනන් වෙතට
තනි යහනේ කය සතපා සිහින දකින පාට පාට
පුංචි ළමයි නොවැ තවමත් සිවුරු පටක් පෙරෙව්වාට

ලොකු හිමියන් මළගමකට බණ පිරිතක වැඩිය දාට
කොළපත් ඔරුවේ හිඳගෙන වැලිමලුවේ රෑට රෑට
බණ මඩුවේ විහාරයේ කඳුළු සලන පුංචි දේට
බනින්නෙපා ගහන්නෙපා සාමණේර වහන්සේට

රනින් තනා පුංචි පවුල පුතුන් නොදෙති සාසනේට
මිසදිටු කැළ බණට වඩිති පන්සල් දොර වැසෙන දාට
හේවිසි, හොරණෑ, ගණ්ඨා නද නොනැඟෙන පෝය දාට
අනේ අපොයි කුමක් වේ ද උතුම් බුද්ධ චීවරේට

****

කඨින පූජාව

වසරට වරක් කළ හැකි මේ මහඟු පින
මහමෙර සේ නොසැලෙයි නිර්වාණයට
අට මහ කුසලයෙන් ලැබගෙන මුල් තැනට
සතර අපා නොවැටෙයි “කඨින” පින්කමට

ඇරඹුම ඇසළ පුර පසළොස්වක පොහොයෙන්
උපසපන් සඟරුවන පෙර වස් වසමින්
තුන් මස පුරා වස් ඡේදන නොකර හොඳින්
අවසන් කරයි වප් පුර පසළොස්වක පොහොයෙන්

වස් තුන් මාසේ ලොකු පොඩි සැම සියලු දෙන
දන් පැන් පුදා උවටැන් කර මහ සඟ රුවනට
හුණු පිරියම් යොදා පන්සල අලුත් කර
“කඨිනය” කරමු යන්නට අපි නිවන් පුර

****

වාමන සිත ...

බුදු පිදුමට ගෙන යන මල් සුවඳ දැනී
සිත නිසල ව සිතිවිලි මැද නතර වුණී
කිසි දින දැක නැති හිමි සිහිනයෙන් පෙනී
අවදි වුණේ නෙත අග මිණි පබළු ඇනී

රෑ දහවල යැයි මා හට නොවී බලා
ඔබ යන මඟ සකසා සිත සතුටු කළා
මෙහි සිටියාට සමිඳුනි මා පිටුපාලා
කිසි දින නැත සමිඳුට අගෞරව කරලා

නිබඳ බුදුන් පුදනට යන ජන ගංගා
හිසින් දරා සිටියේ කඳුළ ද හංගා
සුදින් ඔතා සියොළඟ ඔබ එන රංගා
බලන් සිටියදී ඔබ හිස මත නැංගා

බුදු හිමි මෙහි වැඩිය දා සිට ළඟට වෙලා
සිටි මා කිසි දින නැත හිමි රුව දැකලා
අහිතක් සිත නැති බව සමිඳුන් සිතලා
දෙසුවයි මා හට බණ පදයක් ගොතලා

සිතිවිලි මැද සිරවී හිඳිනා අතරේ
ඔබේ බර දරා සිටි මට මේ කතරේ
බුදුන් දැක නිවන් පුර දැකුමට සසරේ
මටත් පින් බිඳක් දී යනු මැන මිතුරේ

ඉල් පුර අටවක පෝය

 නොවැම්බර් 01 අඟහරුවාදා පූ.භා. 01.14 පුර අටවක ලබා එදිනම අ.භා. 11.07 ගෙවේ.
01 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]