[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා - 86 කොටස: සෙබළුන්ගේ අදූරදර්ශී ක්‍රියා අපේ වැඩපිළිවෙළට බාධාවක්

දුටුගැමුණු මහ රජතුමා - 86 කොටස:

සෙබළුන්ගේ අදූරදර්ශී ක්‍රියා අපේ වැඩපිළිවෙළට බාධාවක්

“අපේ සෙබළුන් කරන ලද අදූරදර්ශී ක්‍රියා කලාපවල ප්‍රතිඵල අපට දැන් භුක්ති විඳින්නට වෙලා සිරිනාග.”

“දේවයන් වහන්ස, අප වෙහෙර විහාර කිහිපයක් ම ප්‍රතිසංස්කරණය කළා. බුදු පිළිම කැඩී බිඳී යාමේ වරද පැවරෙන්නේ අව්ව, වැස්ස, සුළඟ හා කාලයටයි. මේ පින්කමත් පිටස්තර පුද්ගලයන්ගේ පැමිණීම වළක්වන්නට තිබුණා.” මහ ඇමති කීය.

මහ ඇමතිතුමනි, කලකිරී සිටින බෞද්ධ ජනතාවගේ සිත් දිනා ගැනීමට අපි ව්‍යාපාර කිහිපයක් ම ආරම්භ කර තිබෙනවා. මේ පින්කමත් එවැනි එක් උපායක්. දුටුගැමුණු රජතුමා මේ රාජධානියට ඇතුළු වුණොත් එම සේනාව ඉදිරියට යැවීමට සිංහල මිනිසුන් අසූ දහසක් පමණ සංවිධානය කර තිබෙනවා.” සිරිනාග කීය.

එළාර රජතුමාගේ මුහුණේ සතුටු සිනාවක් නැඟිණි.

දේවයන් වහන්ස, දුටුගැමුනු රජතුමා මේ රාජධානිය අල්ලා ගැනීම සිහිනයක් පමණයි. අම්බතිත්ථ සටනින් දුටුගැමුණු සේනාවේ සැට දහසකට අධික සෙබළුන් මිය ගිය බව තුණ්ඩිල දන්වා එවා තිබෙනවා. මහියංගණ බලකොටුවේ මරාදැමුණු අපේ සෙබළුන්ගේ පලිය දැනටමත් අරගෙන.

“දුටැගැමුණ රජතුමා තවමත් සටන් බිමට පැමිණ නැහැ. විහාරමහා දේවියගේ උපදෙස් පරිදි මහියංගණ චෛත්‍ය හදනවලු.” දීඝජන්තු පැවසීය.

ඇමැතිවරු තම තමන්ගේ වාර්තා ඉදිරිපත් කළහ. රජතුමා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්හ.

දීඝජන්තු මහ සෙනෙවි විසින් අනුරාධපුර රාජධානියේ රහස් ඔත්තුකරුවන් පිළිබඳ තුණ්ඩිලගේ වාර්තාව ඉදිරිපත් කිරීමට අවසර පැතූහ.

“එම වාර්තාව මේ අවස්ථාවේ ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැහැ. එය මට ලබා දෙව. ඒ ගැන තවදුරටත් පරික්ෂා කිරීමට අවශ්‍යයි.

ඉන්පසුව දීඝාභය විජිතපුර සේනා සංවිධානය සහ ආරක්ෂා කටයුතු පිළිබඳ වාර්තා ඉදිරිපත් කළේ ය. රජතුමා සිරිනාග දෙස බැලීය.

මහ රජතුමනි, රාජධානිය තුළ විසිරුවා හැර සිටින මගේ සෙනෙවිවරුන්ගෙන් විශේෂ යමක් වාර්තා වී නැහැ.

රාජ සභාව අවසන් වී රජ මාලිගයෙන් පිටතට ආ සිරිනාග අසු පිට නඟින්නට සුදානම් වෙත් ම ඇසුණේ දීඝජන්තුගේ හඬ ය. ඔහු ද අසු පිටට නඟිමින් සිටියේ ය.

“සිරිනාග අපි කතා කරමින් යමු.” දීඝජන්තු මේ සූදානම් වෙන්නේ රහස් තල්පත ගැන යමක් දැන ගැනීමට බව සිරිනාගට හැඟිණි.

“දීඝාභයත් සමඟ ඔබ මහ රජු හමුවන්නට ගිය බව තුණ්ඩිලගෙන් දැන ගන්නට ලැබුණා. දීඝාභයත් සමඟ සිරිනාග බොහෝ හිතවත් බවයි පෙනෙන්නේ.”

එක් වරම මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දිය නොහැකි නිසා සිරිනාග කල්පනා කරමින් ටික දුරක් අශ්වයා මන්දගාමීව මෙහෙයවිය.

“දීඝාභයත් උපතිස්සත් දෙදෙනාම මට කැමති නැහැ. ඔවුන් දෙදෙනාට විරුද්ධව මම රජතුමාට කේලාම් කියනවා යැයි සැකයක් තිබෙනවා.’

“ඔබ ඔය කියන දිනයේ දී දීඝාභය මගේ පියාගෙන් ලැබුණු හී පතක් රැගෙන මා හමුවන්නට ආවා. එය රජතුමාට නොදෙන්නට තීරණය කළත් එහි අස් කඩා තිබුණු නිසා එය රජතුමාට දෙන්නට මටත් යන්නට කතා කළා.”

“බෝධිනාග ගැන රහස් ඔත්තුව කැලණියට දුන්නේ කවුද?”

“ඒ ගැන මමත් කල්පනා කරනවා”

“කල්පනා කරන්න දෙයක් නැහැ. ඒ රහස් ඔත්තුව දුන්නේ උපතිස්ස, මේ ගැන තුණ්ඩිලගේ පරීක්ෂණ වාර්තාව රාජ සභාවේ දී කියවීමට රජතුමා ඉඩ දුන්නේ නැහැ.”

“මහසෙනෙවිතුමනි, රජතුමාගේ තීරණය නිවැරැදියි. මේ අවස්ථාවේ දි අප කිසිවකුත් තරහා කර ගැනීම භයානකයි. උපතිස්ස සහ දීඝාභය ගැන තවදුරටත් විමසිල්ලෙන් සිටිය යුතුයි.”

“නැහැ තුණ්ඩිල, ඔබගේ අදහස මම පිළිගන්නේ නැහැ. විරුද්ධවාදියකු මිතුරු වෙසින් සිටීම ඉතා භයානකයි.

“ඊළඟට රැස්වන යුද්ධ මණ්ඩල රැස්වීමේ දී උපතිස්ස විජිතපුර බලකොටුවෙන් අයින් කරන බව මට දැනගන්නට ලැබුණා. ඒ තැනට තුණ්ඩිල පත්කරනවා. එහිදී මට සිරිනාගගේ උදව් ඕනෑ.

“තුණ්ඩිලට මමත් කැමතියි. ඔහු රජතුමාට හිතවත්. අපිට හිතවත්, එහෙම කෙනකු විජිතපුර බලකොටුවට පත්කර ගැනීම හොඳයි.”

සිරිනාග දීඝජන්තුගෙන් වෙන් වී සිය මැදුර දෙසට අසු මෙහෙයවීය. සවස් වරුවේ ජයනාථ සිටුතුමා හමුවීමට යා යුතු බව ඔහුට සිතුණේ ය.

ඔහු සිටු මැදුරට පැමිණෙන විට දුටුවේ ගෙවුයනෙහි වසා සිටින පරෙවියා ය. ඌ වෙත ගිය සිරිනාග සේවකයකු ලවා වී පොරි බඳුනක් ගෙන්වා ගෙන කෑමට තැබීය.

“පුතා දැන් මුහුණ කට සෝදාගෙන භෝජනාගාරයට එන්න. දැන් හොඳටම දවල් වෙලා”

“ඉක්මනට එනවා මෑණියනි“

සිරිනාග කෑමට ඉඳ ගත්තේ ය. ඔහුගේ සිතිවිලි ගැන දන්නා සමන්තී මෑණියන් ආහාර ගනිමින් ම ප්‍රශ්න කළේ ය.

“පුතා අද ලොකු ප්‍රශ්නයකින් නේද?

තමන්ගේ සුළු වෙනස්කම් පවා මෑණියන්ට හඳුනාගත හැකි වීම ගැන සිරිනාග පුදුමයට පත්විය.

“ඔව් මෑණියනි, එදා දීඝාභය මහ සෙනෙවිතුමා සමඟ රජතුමා හමුවන්නට යාම ගැන දීඝජන්තු මහ සෙනෙවි කේන්තියෙන් පසුවන්නේ.”

“පුතා අපි මොනාව කළත් පරමාර්ථය යහපත් වෙන්නට ඕනෑ. අපේ ඉලක්කය උසස් නම් කවුරු තරහා වුණත් අපට මොකද? දීඝජන්තුලා අපට කැමති වන්නේ ඔවුන්ට වාසියක් අත්වෙනවා නම් විතරයි. එළාර රජතුමාත් එහෙමයි. මට පුදුම දීඝාභය තවම මේ අයගේ සැබෑ ස්වරූපය තේරුම් නොගැනීම ගැනයි.

“මම දන්නවා මෑණියනි, ඔවුන් අවස්ථාවාදීයි.

“ඒත්, දැන් පුතා ඉන්නේ ඒ රැවටිල්ලෙන් මිදිලා. අනෙක් අයත් අප මුදවා ගන්නට ඕනැ.

“ඔව් මෑණියනි, අපට බැරිවෙන එකක් නැහැ.උත්සාහ කරමු.”

දිවා භෝජනයෙන් පසුව විචිත්‍රාගාරයට ගිය සිරිනාග තමාට එවා තිබූ රහස් තල්පත් දෙක අතට ගත්තේ ය. එයින් එකක් ගෙන කියවීය.

පොසොන් පෝදා සිරිනාගගෙන් ලබාගත් තල්පත මහියංගණයට ගොස් විහාරමහා දේවියට දුන්නා. දුටුගැමුණු රජතුමාත් එතැනට ආවා. දෙදෙනාම එහි කරුණු අනුමත කළා.

දුටුගැමුණු රජතුමා අම්බතිත්ථ යුදබිමේ සිට ආවා. ඉදිරියේ දී අඹටු, දෙමළ සෙන්පතියා පරාජය කිරීමට උපක්‍රම යොදනවා. සියලු කඳවුරු එකවර ජය ගැනීමේ සැලසුම් සකස් කිරීමට දාව ආචාර්යතුමාට පැවරුවා.

සිරිනාගට ඇතිවූයේ මහත් සතුටකි. ඉදිරි කාලයේ දී රජරට ජය ගෙන මුළු ශ්‍රී ලංකාවම එක්සේසත් කිරීමේ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා තව තවත් කැපවීමට අධිෂ්ඨාන කර ගත්තේ ය. ඉන්පසුව අනෙක් තල්පත කියවීය.

ඉතිරි කොටස ඉල් පුර පසළොස්වක පෝදා (07 ) කලාපයේ පළවේ

ඉල් පුර අටවක පෝය

 නොවැම්බර් 01 අඟහරුවාදා පූ.භා. 01.14 පුර අටවක ලබා එදිනම අ.භා. 11.07 ගෙවේ.
01 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]