[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුද්ධ ශාසනයේ ලාංකීය නිජබිම වූයේ උතුම් මහමෙව්නාව පින්බිමයි

සම්බුද්ධ ශාසනයේ ලාංකීය නිජබිම වූයේ උතුම් මහමෙව්නාව පින්බිමයි

“සමනාමයං මහාරාජ” යනුවෙන් තමා විසින් ම තමන් හඳුන්වා දෙමින් සම්බුද්ධ ශාසනය කැටිකරගෙන මිහින්තලාවෙන් ශ්‍රී ලාංකික භුමියට පය තැබූ මිහිඳු මහරහතන් වහන්සේට එවකට ශ්‍රී ලාංකේස්වරයා වූ දේවානම්පියතිස්ස රජතුමා විසින් මහමෙව්නා උයන (මහා මේඝ වනෝද්‍යානය) මිහිඳු මහරහතන් වහන්සේට ගෝචර වන සේ “මහා මේඝවනාරාමය” සකස් කොට මාහිමියන්ගේ දෝතට රන් කෙන්ඩියෙන් පැන් වඩා මහා මේඝවනාරාමය සහිත මහමෙව්නාව සඟ සතු කොට පූජා කරන ලද බව මහාවංසයේ සඳහන් වේ.

මේ අනුව අනුරපුර මහමෙව්නාව මිහිඳු මාහිමිපාණන්ගේ පාදස්පර්ශය ලත් මහා පින්බිමකි. මෙම මහා පුණ්‍ය භූමිය සඟ සතු කළ මොහොතේ මහ පොළව කම්පා වූ බව මහාවංශයේ සඳහන් වේ. මහ පොළව එසේ කම්පා වූයේ සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකා පොලෝ තලයේ ස්ථාපිත වූ බවට දැක්වූ ශුභවාදී සලකුණක් හැටියට යැයි මහානාම හිමියෝ දක්වති.

“මහමෙව්නා පින්බිම” දෙවන පෑතිස් රජු විසින් මායිම් සලකුණු කොට සඟසතු කරන ලදැයි මහාවංසයේ විවරණය වේ. රජතුමා විසින් මේ සඳහා මහාපදුම සහ කුංජර යන සෙනෙවියන් දෙදෙනාට අසුන් බැඳි රන් නඟුල් දී සීසාමින් මායිම් ලකුණු කිරීම පටන්ගෙන ඇත්තේ කොළොම් ඔයේ (මල්වතු ඔය) “ගංගලතිත්ථ” නම් වූ තොටුපළෙන් බව මහාවංසය කියයි. එතැනින් පටන්ගත් මහමෙව්නාවේ මායිම් ලකුණු කිරීම අවසන් කර ඇත්තේ ද ගංගලතිත්ථ තොටුපලෙන් ම ය.

මහාවංසයේ මහානාම හිමි සඳහන් කරන අන්දමට මහමෙව්නා උයන වූ කලි මේ කල්පය තුළ පහළ වූ බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලැබූ මහා පින්බිමකි. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේ දී පිටදුන් බෝධි වෘක්ෂයන් ද මහමෙව්නා උයනේ පැවති බව මහාවංශයේ සඳහන් ය.

මිහිඳු මහ රහතන් වහන්සේට මහමෙව්නාව පූජා කිරීමෙන් පසු, ඒ පින්බිම තුළ ස්ථාපනය කළ යුතු වූ පුණ්‍යස්ථාන අටක් මිහිඳු මාහිමියන් විසින් දෙවනපෑතිස් රජුට පෙන්වා දී ඇත. එම පුණ්‍යස්ථාන අට මෙසේ ය.

මහා විහාරය පිහිටි ස්ථානය, සංඝ කර්ම කෙරෙන සඟසතු මාලකය පිහිටවිය යුතු තැන, ස්නානයට උණු පැන් ලබා ගත හැකි ගිනිහල් පොකුණ පිහිටවිය යුතු තැන, ශ්‍රී මහා බෝධින් වහන්සේ වඩා හිඳුවිය යුතු තැන, සංඝයා වහන්සේ පොහොය කෙරෙන තැන, සඟ සතු දේ සංඝයා අතර බෙදාහරින තැන,චතුස් ශාලාව පිහිටුවන තැන හා ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් පිහිටවිය යුතු තැනයි.

මේ අනුව ජයසිරිමා බෝධිය, ලෝහ මහා ප්‍රාසාදය, මිරිසවැටිය යන පුණ්‍යස්ථාන මහා විහාර සීමාව තුළ පිහිටි අතර, ථූපාරාමය ජෝතිය වනය තුළ ස්ථාපනය කරනු ලැබීය. “ලක්දිව බුදු සමයේ ඉතිහාසය” නමැති මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ ග්‍රන්ථයේ මේ පිළිබඳ විමර්ශනය කරමින් සංඝ කර්ම සඳහා මාලකයක්, සංඝයා වහන්සේ උණු දිය නාන පොකුණක්, ශ්‍රී මහා බෝධින්වහන්සේට ස්ථානයක්, සංඝයාගේ උපෝෂථ ශාලාවක්, ලහබත් ගෙයක්, සංඝයා වහන්සේට බත් හලක්, රුවන්මැලි සෑරදුන් පිහිටන තැන, යන ස්ථාන කරා කැටුව යමින් මිහිඳු මාහිමියන් විසින් දෙවන පෑතිස් රජුට පෙන්වා දී ඇති බව සඳහන් කර ඇත.

මිහිඳු මහ රහතන් වහන්සේ වැඩවිසූ මහ මේඝවනාරාමය හෙවත් මහා විහාරය, පසුව ශ්‍රී සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරමින් ව්‍යාප්ත කිරිමේ කේන්ද්‍රස්ථානය බවට පත්විය. සම්බුද්ධ ශාසනය අධ්‍යයනය කරමින් පුළුල් ආගමික ජීවනයක් ඇති කිරීම උදෙසා මහා විහාරය ආශි‍්‍රත ව කාල ප්‍රසාද පිරිවෙන, සුංහාත පිරිවෙන, දීඝවංක පිරිවෙන, ඵලග්ග පිරිවෙන, දික්සඳ සෙනෙවි පිරිවෙන වැනි පිරිවෙන් රැසක් ස්ථාපනය වූ අතර, මේවායේ අධ්‍යාපනය ගොනුවී තිබුණේ ත්‍රිපිටක ධර්මය මුල්කරගෙන ය. මේ යුගයේ ශ්‍රී ලංකාවට වැඩම කළ බුද්ධඝෝෂ හිමියන් පාලි ත්‍රිපිටකයට අටුවා සම්පාදනය කර ඇත.

වළගම්බා රජුන් රජ කළ මේ සමයේ දී ලංකාවේ සුප්‍රකට බැමිනිටියා සාය ඇතිවිය. මේ දුෂ්කර අවස්ථාවේ දාන මාන හිඟවීමේ හේතුවෙන් මහා විහාරයේ සඟ පරපුර මාතලේ අළු විහාරයට වැඩම කරන ලදුව වළගම්බා රජුගේ අනුග්‍රහයෙන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරනු ලැබීය. දීපවංසය, මහාවංසය, බෝධිවංසය, ථූපවංසය ආදී ආගමික ග්‍රන්ථ රැසක් මෙහිදී සම්පාදනය වී තිබේ.

සාගත සමය නිමවීමෙන් පසු යළිත් මහා විහාරයට වැඩම කළ සංඝරත්නය ශාසනික කටයුතු කරගෙන යද්දී මහාතිස්ස හිමියන් කරන ලද විනය විරෝධී ක්‍රියාවක් නිසා මහා විහාරයෙන් පිටුවහල් කර ඇත. මේ සංඝ භේදය මුල්කොට මහාතිස්ස හිමියන් විසින් අභයගිරි විහාරාරාමය ආරම්භ කරන ලද අතර, එවකට අනුරපුර අගනුවර රජකම් කළ මහසෙන් රජු විසින් අභයගිරි විහාරිය පැත්ත ගත් නිසා අභයගිරිය වහ වහා දියුණු විය. එපමණක් නොව මහසෙන් රජු විසින් මහා විහාරය පොළවට සමතලා කර දමා උඳු වැපිරූ බවට වංශකථාවල විස්තර වේ. මේ අන්දමට අද මෙන් එදා ද ශාසන සංවර්ධනයට රාජ්‍ය ආශිර්වාදය ලැබුණ පරිද්දෙන් ම සමහර රජවරුන් ශාසන විනාශයට ද කටයුතු කර තිබේ. කෙසේ වුව ද මහසෙන් රජු කරන ලද මහා පාප කර්මයන් පසුව තේරුම් ගැනීමේ හේතුවෙන් නැවත මහා විහාරය යථා තත්ත්වයට පත් කරන ලද අතර, කළ පව් ගෙවී යන්නට මෙන් රජරට පුරා මහවැව් ගණනාවක් ඉදිකරමින් වැව් කප්පිත්තා බවට පත්ව ජාතියෙන් සමාව ලබා ගෙන ඇත.

ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසේ දී ලංකාවට පැමිණි පාහියන් භික්ෂුවගේ වාර්තාවලට අනුව එකල අභයගිරියේ සංඝ සමූහය පන්දහසක් වූහ. මහා විහාරයේ තුන්දහසක් වූහ. චේතියගිරියේ හෙවත් මිහින්තලාවේ දෙදහසක් භික්ෂු සමූහයා වැඩ වාසය කර ඇත.

සජීවී සම්බුද්ධ හිමියන් බඳු වූ උන්වහන්සේ ස්පර්ශය ලත් එකම සජීවී සංකේතය වූ ශ්‍රී මහා බෝධින් වහන්සේ මහමෙව්නාවේ වඩා හිඳුවීමෙන් මහමෙව්නාව මහා පුණ්‍ය භූමියක් බවට පත්විය.

මේ අවස්ථාව මහාවංසයේ ග්‍රන්ථ ගත කළ මහානාම හිමියෝ සතියක් මුළුල්ලේ ජය සිරිමා බෝ සමිඳුන් රෝපණය කළ තැනින් අතුරුදහන් වී සවණක් රැස් පමණක් විහිදුවද්දී මිහිකත සැලෙමින් මහ වැස්සක් ඇති වූ බව විවරණය කරති. මහාවංසයේ 15 පරිච්ඡේදයේ 32,33,78,154 ගාථාවලින් ද බෝධි වංශයේ 326 හා 327 පිටුවලින් ද මේ අති උතුම් මොහොත සවිස්තරව දක්වා ඇත.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමන, දෙවන පෑතිස් රජු මුල්කොට ශ්‍රී ලංකා ජනතාව බෞද්ධ ආගමිකයන් බවට පත් කිරීම, මහමෙව්නාවේ ශාසනික සේවාව, සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සහපිරිවරින් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කොට මහමෙව්නාවේ රෝපණය කිරීම,අනුලාදේවිය මුල්කොට භික්ෂුණී ශාසනය ඇරඹීම යන මේ සියලු කරුණුවලට මුල් වී ඇත්තේ උඳුවප් මාසය යි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය පිහිටුවීමට මුල්වූයේ අනුලා දේවිය පැවිදිවීමට ප්‍රාර්ථනා කිරීමයි. එසේම ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩමවීමට මුල්වූයේ ද අනුලා දේවියගේ ප්‍රාර්ථනාවයි. ඇයගේ සසුන්ගතවීමේ ආශාව ගැන මිහිඳු මහරහතන් වහන්සේ විසින් මේ අන්දමට දේවානම්පියතිස්ස රජුට කරුණු දැක්වූ බව සිංහල බෝධි වංශයේ මෙසේ දක්වා තිබේ.

“මහරජ්ජුරුවෙනි, ස්ත්‍රීන් මහණ කරන්න අපට කැප නොවන්නේ ය. පැලලුප් නුවර මාගේ නංගී වූ සංඝමිත්තා නම් වූ බහුශ්‍රැත භික්ෂුණියක් ඇත්තීය. මහ රජ්ජුරුවෙනි, මේ ශ්‍රී ලංකා ද්වීපයේ පූර්ව සර්වඥයන් තිදෙනා වහන්සේගේ බෝධින් පිහිටියේ ය. ඒ අනුව අපගේ බුදුපියාණන්ගේ බෝධීන් වහන්සේ ද මෙහි පිහිටුවාලිය යුතු ය. එසේහෙයින් මේ කරුණු සැලකිල්ලට ගෙන තොපගේ සබඳ වූ ධර්මාශෝක රජ්ජුරුවන්ට යම් සේ සංඝමිත්තා නම් ස්ථවරී තොමෝ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව මෙහි ගෙන එන ලෙසට හසුන් යවා ඕ තොමෝ මෙහි පැමිණි පසුව මෙ අනුලා දේවින් මහණ කරවන්නීය.”

සිංහල බෝධි වංශයේ මෙම සංසිද්ධිය විවරණය කරන අන්දමට අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පැවිදි බිමට ඇතුළත් කිරීම සඳහා සංඝමිත්තා මෙහෙණිය වැඩමවීමත් සමඟ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ද මෙහි වැඩම කරවීමට පියවර ගෙන ඇති බව පෙනේ. මිහිඳු මහ රහතන් වහන්සේගේ මෙම අනුශාසනාවට අවනත වූ දෙවන පෑතිස් රජතුමා තමන්ගේ ඇවැස්ස බෑණනුවන් වූ අරිට්ඨ කුමරු පෙරමුණේ රාළ ලෙස දූත මෙහෙවරෙහි යෙදවූ බව මහාවංසය විස්තර කරයි.

තවදුරටත් මේ දූත මෙහෙවර විස්තර කරන සිංහල බෝධි වංසය, ධර්මාශෝක රජු වෙත ගෙන ගිය පයිංඩය මෙසේ සඳහන් කර තිබේ.

“නුඹ වහන්සේගේ සබඳ වූ දෙවන පෑතිස් රජ්ජුරුවන් වහන්සේගේ මලනුවන්ගේ බිසව්වන් අනුලා දේවිය මහණ වනු රිසිව, ගනු ලබන ව්‍රත සමාදාන ඇතිව වෙසෙති. ඒ බිසව් මහණ කරවනු සඳහා ආර්ය වූ සංඝමිත්‍රා නම් ස්ථවිරාවන් යැව්ව මැනව. උන් හා කැටුව ම දක්ෂිණ බෝධි ශාඛාව ද යැව්ව මැනවයි” කීයේ ය. මේ අයුරින් ම සංඝමිත්තා තෙරණිය වෙත ගොස් මේ කරුණු සියල්ල සැළකර සිටියහ. ඕ තොමෝ ද එය පිළිගෙන පිය රජුන්ගෙන් ද අවසර ලබා ගත්හ.

දඹදිව මාතෘ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශී‍්‍ර ලංකාවට එවීම සඳහා වෙන්කර ගන්නේ කෙසේ දැයි ධර්මාශෝක රජු මහත් සේ පසුතැවෙන්නට විය. මේ බව දැනගත් මොග්ගලීතිස්ස මහරහතන් වහන්සේ ධර්මාශෝක රජුට අනුශාසනා කරමින් සම්බුද්ධ හිමියන්ගේ අධිෂ්ඨාන ප්‍රාර්ථනා පහෙන් එකක් වන “ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ මහා ශාඛාව තෙමේ ම සිඳි ස්වර්ණ කටාරමයෙහි පිහිටාවා’යි” කළ හැකි අධිෂ්ඨානය අනුව යමින් දක්ෂිණ ශාඛාව වෙන් කර ගන්නා හැටියට ධර්මාශෝක රජුට විස්තර කර දුන්හ.

ඒ අනුව අධිෂ්ඨානයක් ඇතිකර ගත් ධර්මාශෝක රජු ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් මත රේඛාවක් සටහන් කිරීමෙන් පසු තෙමේ ම සිඳී රන් කටාරමයෙහි තැන්පත් වූ බව සිංහල බෝධි වංශයේ විස්තර කර තිබේ. මෙහි මහා ආශ්චර්යය දුටු ධර්මාශෝක රජතුමා මුළු මහත් දඹදිව රාජ්‍යය ම ශ්‍රී මහා බෝ සමිඳුන්ට ඒ මොහොතේ ම පූජා කරන ලද බව බෝධි වංශය විස්තර කරයි.

ඉන්පසු ධර්මාශෝක රජතුමා සිඳී ගිය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව සිය හිස මත තබාගෙන කරවටක් මුහුදේ ගිලී ඒ සඳහා සූදානම් කර තිබූ නැවේ මණ්ඩපයේ තැන්පත් කර සංඝමිත්තා මෙහෙණින් වහන්සේට අතපැන් වඩා බාරදුන් බව බෝධි වංශයේ දැක්වේ. මෙහි වගකීම බෝධිගුප්ත හා සුමිත්ත කුමාරවරුන් මුල්කොට රජ කුලයේ කුමාරවරු අට දෙනකුට භාර දී ඇති අතර, ඊට අමතරව බමුණු කුල අටක් ද, දහසය කුලයක පිරිවර ද ශ්‍රී මහා බෝධි ශාඛාව සමඟ ලංකාවට එවා ඇත.

ශ්‍රී ලංකාවේ දඹකොළ පටුනට ශ්‍රී මහා බෝධි ශාඛාව රැගත් නෞකාව සේන්දුවීමෙන් පසු එතැන ඉදිකර තිබූ “සමුද්රාසන ශාලාව“ වෙත ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවා, වඩා හිඳුවා, පසුදා තිවංක නම් වූ බමුණු ගමට හෙවත් තන්තිරිමලේට වැඩමවා ගිමන් හැර ඊළඟ දිනයේ දී අනුරපුර මහමෙව්නා උයනට ශී‍්‍ර මහා බෝධි ශාඛාව මහ පෙරහරින් වැඩම කරවා ඇත.

යටකී පරිදි බුද්ධ වර්ෂ 236 උඳුවප් මස පුර තුදුස්වක දා සැන්දෑ සමයේ රෙහෙණ නැකත යෙදී තිබූ මොහොතේ රජවාසල දකුණු පසින් පිහිටි භූමියේ ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව දෙවන පෑතිස් රජුගේ අතින් රෝපණය කර ඇත. මේ මොහොතේ ශ්‍රී මහා බෝධි ශාඛාවේ හටගෙන තිබූ ඵල පහෙන් එකක් මිහිඳු මාහිමියන්ගේ සුරතට වැටී ඇති අතර, එයින් බෝධි අංකුර අටක් පහළ වී ඇත. මේවා අෂ්ටඵල බෝධි රුක් ලෙස නම් කර තිබේ. මේ අෂ්ටඵල බෝධි රුක් දඹකොළ පටුන, තන්තිරිමලේ, ථූපාරාමය, කසුන්ගිරි වෙහෙර, පඨමක චෛත්‍ය භූමිය, සෑගිරිය බිම, කතරගම, රුහුණේ සඳුන්ගම යන ස්ථානවල රෝපණය කර ඇත. බෝධින් වහන්සේගේ ඉතිරි ඵල හතරෙන් පැළ තිස් දෙකක් මතුවී ඒවා දෙතිස් ඵල රුක් බෝධි ලෙස දිවයිනේ විවිධ ස්ථානවල රෝපණය කර තිබේ.

ඉල් පුර අටවක පෝය

 නොවැම්බර් 01 අඟහරුවාදා පූ.භා. 01.14 පුර අටවක ලබා එදිනම අ.භා. 11.07 ගෙවේ.
01 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]