[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවත්වන ටික කාලයට අසමඟිය කුමට ද?

ජීවත්වන ටික කාලයට අසමඟිය කුමට ද?

කොසැඹෑ නුවර ඝෝසිත නම් ඉසුරුමත් සිටුවරයෙක් විය. හේ නොමසුරු ය. තුණුරුවන් කෙරෙහි සැදැහැවත් ය. එහෙයින් ම සිටුතුමා ඉතා සුවිසල්, අලංකාර වෙහෙරක් කරවා මහා සංඝරත්නයට පුජා කළහ. ඒ විහාරය සිටුතුමාගේ නම මුල් කරගෙන ඝෝසිතාරාමය නමින් හැඳීන්විණ.

ඝෝසිතාරාමයෙහි සිසු සංඝයා වහන්සේ පන්සියය බැගින් වැඩ සිටි සේක. මේ සිසු සංඝයා වහන්සේට ඇදුරු වූ තෙරුන් වහන්සේ දෙනමක් වූහ. මේ දෙනම වහන්සේ බොහෝ සිල්වත් ය. බොහෝ වියත් ය. විනයධරය. ධර්මකථිකය. ඒ වගේ ම උන්වහන්සේ ඉතා ප්‍රසිද්ධය. විනයධර භික්ෂූන් වහන්සේ විනයෙහි මහා දැනුම් ඇත්තේ වූහ. ධර්මකථික තෙරුන් වහන්සේ ධර්මය පිළිබඳ මහා දැනුම ඇත්තේ වූහ.

දිනක් ධර්මකථික තෙරුන් වහන්සේ අමතකවීමකින් වැසිකිළියේ බඳුනෙහි ඉතිරි වතුර ටික ඉවත නොදමා ඉවතට පැමිණියහ. බඳුන නවා තබා ආපසු නො පැමිණීම හේතුවෙන් විනය රෙගුලාසියක් කඩ විය. විනයධර තෙරුන් වහන්සේ එයට දොස් නැඟීය. ඒ දොස් කීම සැම තැන ම පැතිරුණි.

තෙරුන් වහන්සේ දෙනමගේ අසමගියට එය මුල් විය. මෙම තෙරුන් වහන්සේ දෙනමගේ ඇසුරෙහි සිටින සිසු භික්ෂූන් වහන්සේ ද, දායකයෝ ද අසමගිව දෙපැත්තට බෙදුණහ. බුදුරජාණන් වහන්සේ පළමුව ද, දෙවනුව ද, තෙවනුව ද, උන්වහන්සේ සමඟියෙහි පිහිටුවීමට අවවාද කළ සේක. ඒ වගේ ම මැදහත් දායකවරු ද ඒ සඳහා බොහෝ වෑයම් කළහ. මේ කිසිවකුට අසමඟි වූ දෙ පිරිස අවනත නොවූහ. අසමගිය තහවුරු විය. මේ දෙපිරිසගේ අසමගිය නො සන්සිඳෙන බව දුටු බුදුරජාණන් වහන්සේ වනයට වැඩම කිරීමට තීරණය කළ සේක.

බුදුරජාණන් වහන්සේ පාරිල්‍යෙ වනයට වැඩම කළ සේක. එහි දී මහ වනයෙහි පාරිල්‍යෙ නම් ඇත් රජුගෙන් උන්වහන්සේ උවටැන් ලැබූහ. සුදුසු කාලයට සිසිල් පැන් ද, උණු පැන් ද පිළිගැන්විණි. ආහාර පිණිස පලතුරු ද පූජා කෙරිණි. සියලු සැප විහරණය ද සැලසුණි. බුදුරජාණන් වහන්සේ ද නුදුරුගම ඇසුරුකොට වැඩ සිටියහ.

සංඝයා වහන්සේ අතරින් ම පැන නැඟි මේ විවාදය හා භේදය රජයෙන් කෙරෙන දඬුවමකින් හෝ වැසියන්ගෙන් කෙරෙන තරවටුවකින් හෝ අවසන් කිරීමට පිළිවෙලක් නොවීය. මේ අසමගිය සමඟි කරවීම පිණිස උපායක් ලෙසින් දන්දීම හා පුද සිරිත් පැවැත්වීම නො කළහ. බුදුරජාණන් වහන්සේ වෙනතක වැඩි නිසා ඇණුම් - බැණුම් - දෙඩුම් රහිතව කළ දඬුවමකි මේ. දෙපැත්තට බෙඳුණු අයට මෙය ඉවසිය නො හැකි විය. තම තමන්ගේ වරද වැටහිණ. දෙපැත්තට බෙදුණු සෑම දෙනා ම වහා සමඟි වූහ. අමනාපය සංසිඳීණි.

පරෙ ච න විජානන්ති
මයමෙත්ථ යමාමසෙ
යෙ ච තත්ථි විජානන්ති
තතො සම්මන්ති මෙධගා

මැරෙන බව නො දන්නෝ කලහ කෙරෙති. මැරෙන බව දන්නවුන්ගේ කළහ සංසිඳෙත්. යනුවෙන් සන්සුන් වූ පිරිස අමතා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. කලහ නො කිරීමේ අනුසස් වදාළ සේක.

මිනිස් ජීවිතයක් ලැබෙන්නේ ඉතා ම දුර්ලභව ය. මනුෂ්‍ය ජීවිතයේ ද ආයු කාලය අවුරුදු සියයකටත් අඩු ය. එසේ තිබියදීත් බොහෝ දෙනෙක් සුළු දෙයටත් කළහ කරති. අමනාපකම් ඇති කර ගනිති. දෙපැත්තකට බෙදී අමනාපව මොනවා බෙදා වෙන්කර ගත්ත ද ඒ හැම දේ ම අතහැර, මේ ජීවිතයත් අත්හැර යා යුතු ය. ඒ අවස්ථාව මේ ජිවිතයේ කුමන කාලයක, කුමන මොහොතක එළඹේ දැයි කාට නම් කිව හැකි ද? ඒ නිසා ම අප කවුරුත් අසල්වැසියන් වශයෙන්, නෑයන් වශයෙන්, සමඟිව, සතුටුව එක්ව ජීවත් වන්නේ නම් ඒ වටිනාකම ජීවිතය බබළවන ආභරණයක් බවට පත් වන්නේ ය.

වප් පුර අටවක පෝය

 ඔක්තෝම්බර් 02 ඉරිදා අපරභාග 06.47 පුර අටවක ලබා 03 සඳුදා අපරභාග 04.38 ගෙවේ.
 03 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]