[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර බිය නුවණින් දකිමු

සසර බිය නුවණින් දකිමු

සැවැත්නුවරට නුදුරු ගමක ඉතා දක්ෂ මැණික් කපන ශිල්පියෙක් වූ අතර, හෙතෙම අතිශයින් සැදැහැවත් ය. ඔහුගේ අඹු දරුවන් ද එලෙසම ක්‍රියා කළ අතර, තිස්ස නම් මහ රහතන් වහන්සේ දොළොස් වසරක් ම දන් වළඳනු ලැබුවේ මැණික් කපන පුද්ගලයාගේ නිවසෙනි.

සියලු උපස්ථාන ද සිදු කළ අතර බොහෝ ශ්‍රද්ධාවෙන් මොවුන් ක්‍රියා කළ නිසාම පසුකාලීනව තිස්ස මහ තෙරුන් හඳුන්වනු ලැබුවේ “මණිකාර කුලූපගතිස්ස” යන අනුවර්තන නාමයෙනි.

දිනක් උන්වහන්සේ පිණ්ඩපාතය සඳහා වැඩම කරන විට මැණික්කරු යම් මස් වර්ගයක් කපමින් සිටියේ ය. එම අවස්ථාවේ දී ම පසේනදි කොසොල් මහ රජතුමා ඉතා වටිනා මැණිකක් ඔප දමාගෙන එන ලෙස සේවකයෙක් මොහුගේ නිවසට පිටත් කර එව්වේය.

එම අවස්ථාවේ දී ලේ තැවරුණු අතින් මැණික ලබා ගත් හෙතෙම එය අසල ස්ථානයක තබා මස් කපන්නට විය. එය දුටු නිවසෙහි සුරතලයට ඇති දැඩි කරන කොස්වාලිහිණියා එතැනට පැමිණ ලේ වහනය දැනුණ මැණික ගිල දැමුවේ ය. මස් කපා අවසන් කොට මැණික තැබූ ස්ථානය පරීක්ෂාකොට බලන විට එය නොදුටු මැණික්කරු බොහෝ සෙයින් නොසන්සුන්ව මැණික සොයන්නට වූ අතර තම නිවසෙහි වැඩ විසූ මහ රහතන් වහන්සේගෙන් ද එය දුටුවේ දැයි විමසීය.

නිශ්ශබ්දව පසු වූ උන්වහන්සේ පිළිබඳ දැඩි සේ උරණ වූ මොහු අඹුදරුවන්ගේ පවා දැඩි විරෝධය මැද කඹයක් ගෙන තෙරුන්ගේ හිස වටා ඔතා අතිශයින් ග්‍රහණය දැඩි කොට වධ වේදාන දෙන්නට විය.

එවිට දෑස්, කන්, නාසාවලින් ලේ වහනය වන්නට විය. එය දුටු ලිහිණියා ලේ බීමට සැරසුණු විට කෝපයෙන් පසු වූ මැණික්කරුගේ පා පහරකට ගොදුරු වූ කොස්වාලිහිණියා මැරී වැටුණේ ය. එය දුටු මහ තෙරුන් මැණික්කරුට පවසන්නේ ලිහිණියාගේ කුසෙහි මැණික තිබේ දැයි බලන ලෙස ය. කුස පලා බලන විට මැණික දුටු හෙතෙම බෙහෙවින් දුකට වේදනාවට හා පසුතැවීමට පත්ව හිස වටා ඔතා තිබූ බැමි ඉවත් කොට මහ රහතන් වහන්සේගේ දෙපා නැමද සමාව ද ඇයැද තුවාල සඳහා බෙහෙත් ද ආලේප කළේ ය.

එහෙත් උන්වහන්සේ සුළු වේලාවකට පසු පිරිනිවන් පා වදාළහ. මෙම සිදුවීම මුල් කොට ගෙන දම් සභා මණ්ඩපයේ දී ඇති වූ විමසීමක දී තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සසර සත්ත්වයාගේ උපත පිළිබඳව යි. ඉපදෙමින් මැරෙමින් යන මේ සාංසාරික දිවි මගෙහි පිරිසක් එලෙසම ඉපදීම හා මරණය සිදු වන අතර, අකුසල් සිදු කළ තැනැත්තන් සසර අපාගත වී බොහෝ දුක් වේදනා විඳින බවත් සියලු කෙලෙස් නැති කළ උතුමන් නැවත නැවත ඉපදීම හා මරණය දුරු කොට ගනිමින් “නිවන” පසක් කර ගන්නා බවත් බුදුරදහු වදාළහ.

මෙමඟින් පෙන්වා දෙන්නේ මෙම බියකරු සසරෙහි ස්වභාවය යි. “දුල්ලභඤ්ච මනුස්ත්ථං” දුර්ලභ මිනිසත් බව ලද අප හැම දෙනාම මෙකී යථාර්ථය හැම විට ම අවබෝධ කර ගත යුතු ය. තණ්හාව, වෛරය, ක්‍රෝධය හා මානය ආදි අකුසල චේතනාවන් ඔස්සේ ගමන් කරන සසර සත්ත්වයා කුසල ධර්මයන් තුළින් යහපත් චේතනාවන් උද්දීපනය කර ගනිමින් මෙම සසර ස්වභාවය මනාව අවබෝධ කර ගැනීම බෙහෙවින් වැදගත් වනු ඇත. මෙම බියකරු සසර ගමන පිළිබඳ මැනවින් අවබෝධ කරගෙන නිවන පසක් කර ගැනීම උදෙසා අප සැවොම ක්‍රියා කිරීමට අදිටන් කර ගනිමු. එයට අවැසි නුවණ ඔබ සැමට ලැබේවා’යි පතන්නෙමු.

වප් පුර අටවක පෝය

 ඔක්තෝම්බර් 02 ඉරිදා අපරභාග 06.47 පුර අටවක ලබා 03 සඳුදා අපරභාග 04.38 ගෙවේ.
 03 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]