[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුකට අකැමැති නම් පව් කරන්න එපා

දුකට අකැමැති නම් පව් කරන්න එපා

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි කර්ණමුණ්ඩ ප්‍රේත වස්තුව ප්‍රේතියක් අරභයා දේශනා කළ සේක.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වූ කල්හි කිම්බිල නුවර සෝවාන් වූ එක්තරා උපාසකයෙක් පන්සියයක් උපාසකවරුන් සමඟ සමාජශීලීව මහජනයාගේ යහපත පිණිස ඒදඬු, පාලම්, මල්වතු, නාන තොටුපොළ, අම්බලම්, ප්‍රජාශාලා ආදී පොදු සේවා ඉටු කරමින් සිටියහ.

මහා සංඝයා වහන්සේ සඳහා සංඝාවාසයක් ද ඉදිකරවූහ. තමන් විසින් සාදා දෙන ලද එම විහාරස්ථානයට යන්නට විය. ඒ අවස්ථාවේ දී එම උපාසකවරුන්ගේ බිරින්දෑවරුන් ද ඒ ගමනට එක්වූහ. එසේ යන විට පීඩාව සංසිඳවීමට අතරමඟ විශ්‍රාම ශාලා හා විහාරස්ථානවල ද නවාතැන් ගත්හ.

ශීලාචාර ගුණ යහපත්කම් ඇති, රූමත් වූ කාන්තාවන් දුටු ස්ත්‍රී ධූත සල්ලාල බේබදු පුරුෂයෝ මේ ස්ත්‍රීන් පිළිබඳ සිත් ඇති කර ගත්හ. එම කාන්තාවන්ගේ සිල් බිඳීමට ඉටා ගත්හ. එසේ සිතූ ඔවුහු යමෙක් මේ ස්ත්‍රීන්ගේ ශීලය බිඳීමට සමර්ථ වී නම් කහවනු දහසක් දෙන බවට හා යමෙක් අසමත් වූවොත් ඔහු විසින් කහවනු දහසක් දිය යුතු ය, යනුවෙන් ඔට්ටු තියා ගත්හ.

එක්තරා පුද්ගලයෙක් ස්ත්‍රීන්ගේ ශීලය බිඳීමට හැකි බවත්, එවිට කහවනු දහස තමාට ලබා දිය යුතු බවටත් කතිකා කර ගත්තේ ය.

වීනා වාදනයට අති දක්ෂ වූ ඔහු වීනා වාදනය කරමින් ස්ත්‍රීන්ගේ ආකල්ප වෙනස් කිරීමට දක්ෂ විය. ඒ අනුව එකී පුද්ගලයා ස්ත්‍රියක් තමා වසඟයට ගෙන ශීල භේදයට පත් කළේ ය. කහවනු දහස ලබා ගත්තේ ය. අසද්ධර්මයෙන් ශීල භේදයට පත් වූ එම ස්ත්‍රියගේ ස්වාමි පුුරුෂයාට ඔබගේ බිරිඳ අන් සැමියකු සමඟ අසද්ධර්ම සේවනයෙහි යෙදී ඇතැයි අන් පුරුෂයකු විසින් සැළ කළේ ය.

ස්වාමිපුරුෂයා තම බිරිඳගෙන් එසේ කළේ දැයි විමසූ විට නොකළෙමියි ඇය කීවා ය.

“මා එසේකළේ වී නම් පරලොව දී කලු බල්ලකු මා සපා කා මරා දමාවා”යි. බොරුවට දිවුරා පැවසුවා ය. පන්සියයක් යෙහෙළියෝ වූ අනිත් ස්ත්‍රීහු ද “මැය නිවැරැදියි“ යනුවෙන් මුසා බස් දෙඩුවා ය.

පරලොව දී මැගේ සේවිකාවක් වන්නෙමුයි බොරුවට දිවුරා සිටියහ. එම කාන්තාව මිනිස් ලොවින් චුත වී හිමාලය අසල වූ කර්ණමුණ්ඩ නම් විල් තෙර විමාන ප්‍රේතියක්ව ඉපදුණි. ඒ ප්‍රේත ස්ත්‍රියගේ විමානය අසල පොකුණක් මැවුණේ ය. අනෙක් ස්ත්‍රීහු ද ඇයගේ සේවිකාවන් වූහ.

පෙර භවයේ කරන ලද පින්කම් නිසා දහවල කාලයෙහි දිව්‍ය සම්පත් වින්දා ය. රාත්‍රී කාලයේ දී නිදි යහනින් නැඟිට පොකුණ අසලට එන්නී ය. එවිට පොකුණේ සිටින විශාල කලු බල්ලකු පැමිණ ඇඟට පැන ඇඟ මස් කා ඇටසැකිල්ල පොකුණට දමා යයි. දිනපතාම මෙසේ සිදුවෙයි. හිමිදිරියේ පොකුණෙන් නැඟිට දිව්‍ය ආත්ම භාවයක් ලබා විමානයට පිවිසෙන්නී ය. සෙසු ප්‍රේත ස්ත්‍රීහු පැමිණ උපස්ථාන කරන්නාහු ය. මේ ප්‍රේත ස්ත්‍රීහු අවුරුදු පන්සිය පනහක් මෙසේ දුක් වින්දාහ.

ස්වාමිපුරුෂයන්ගෙන් තොරව ජීවත් වූ මොවුන්ට කලකිරීමක් ඇති විය. ඉක්බිති ඔවුන් කර්ණමුණ්ඩ විලේ වූ ගල් ගුහාවකින් පැමිණ ගංගා නම් ගඟට වැටුණු එක් ගංගාවක් සමීපයෙහි වූ අඹ, කොස්, දෙල් සහිත ගම් පියසට පැමිණියාහු ය. දිව්‍යමය රස ඇති අඹගෙඩි කඩා අර ගංඟාවට දැම්මාහු ය.

“අඹ ගඟේ පහළට විත් යම් පුරුෂයකුට ලැබී ඒ අඹ රසයට කැමැතිව අඹ සොයා යම් පුරුෂයෙක් ආවේ නම්, ඒ පුරුෂ තෙම අපගේ ස්වාමියා කර ගනිමුයි.” සිතූහ.

එක් අඹ ගෙඩියක් බරණැස් රජතුමා වෙත ලැබිණ. ඒ අඹ පල රසයෙන් පිරී ගිය අතර, ශරීර බලසම්පන්න විය. වැද්දකු ලවා අඹ පල ගෙන්වා ගැනීමට රජතුමා සිතූහ. කහවණු දහසක් වැදි පුත්‍රයාට පිරිනැමී ය. වැදිතෙම හිමාලය අසල වූ අඹ වනය වෙත පිවිසෙත්ම දිව්‍ය ස්ත්‍රීන් බඳු විමාන ප්‍රේත ස්ත්‍රීහු මේ එන්නේ අපගේම ස්වාමි පුරුෂයා යැයි දිවගෙන ආවාහු ය. එහෙත් පින් මඳ වැදි පුත්‍රයා බියට පත්ව ආපසු බරණැස් නුවරට ම පැමිණියේ ය.

බරණැස රජතුමා ඒ දිව්‍ය ස්ත්‍රීන් හමුවීමට සහ අඹඵල රස විඳීමට ලොල්ව දුනු හී රැගෙන ගමනට පිටත් විය. දිව්‍ය ස්ත්‍රීන් රජතුමා දැක හඳුනාගෙන විමනට කැඳවාගෙන ගොස් අවුරුදු එකසිය පනහක් රජතුමා සමඟ සිටියාහු ය.

අවුරුදු එකසිය පනහකට පසු එක් දිනක් රාත්‍රියෙහි ඉහත කී පරපුරුෂ සේවනයෙහි යෙදී විමාන පේ‍්‍ර්ත දුවක් වූ ස්ත්‍රිය රාත්‍රී කාලයෙහි විමානයෙන් පිටතට එනු දැක ඒ ගැන විපරමින් සිටියේ ය. ඇය ගං තෙරට එන විට කලු බල්ලෙක් ඇගේ ඇඟට පැන සපා කා ඇටසැකිල්ල පොකුණට දමා යන සැටිත්, නැවත දිව්‍යාංගනාවක් සේ විත් විමානයට එන අයුරුත් රජතුමා දුටහ.

රජතුමා විස පෙවූ ඊයක් විද සුනඛයා මරා දැමීය. මෙසේ වීමට හේතුව කිම්දැයි රජතුමා දෙව් දුවගෙන් විමසීය. පෙර අත් භවයේ දී පර පුරුෂ සේවනයෙහි යෙදීම හා මුසාබසින් දිව්රා කීම නිසා මේ දුක් විඳීමට සිදු වූ පුවත කීවා ය. රජතුමා ඇගේ උදව්වෙන් ම ආපසු බරණැස් නුවරට පැමිණියේ ය. රජතුමා කලකිරීමට පත් වී බොහෝ පින් දහම් කොට මිය ගියේ ය.

අප බුදුන් දවස මුගලන් මහ රහතන් වහන්සේ විමාන ප්‍රේත ස්ත්‍රීන්ට දහම් දෙසූ සේක. ඒ සියලු විස්තර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළ සේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රැස් වූ පිරිසට දහම් දෙසූ සේක.

වප් පුර අටවක පෝය

 ඔක්තෝම්බර් 02 ඉරිදා අපරභාග 06.47 පුර අටවක ලබා 03 සඳුදා අපරභාග 04.38 ගෙවේ.
 03 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]