[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මය ඔබේ ආරක්ෂකයා වන්නේ මෙලෙසයි

ධර්මය ඔබේ ආරක්ෂකයා වන්නේ මෙලෙසයි

සිංහල රටේ තිබුණා මහගම නමින් ගමක්. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අර්හත් මාර්ග ඵලවලට පත් සියගණන් භික්ෂූන් වහන්සේ මහාවාපී නම් විහාරයක වාසය කළා. අවුරුද්දක් පාසා පවත්වනවා මේ විහාරයේ අරියවංශ දේශනාව.

සැදැහැවත් උපාසක, උපාසිකා පිරිසත්, භික්ෂූන් වහන්සේත්, භික්ෂුණීන් වහන්සේත් දුර ප්‍රදේශවල සිට පා ගමනින් දවස් ගණන් දුර ගෙවා ගෙන ධර්ම දේශනාවට පැමිණෙනවා. සෝවාන් ආදී මාර්ග ඵලයකට නො පැමිණි එහෙත් අධික වීර්යයෙන් ධර්මයට අනුව කටයුතු කරන එක් භික්ෂුවක් වාසය කළා කුඩ්ඩරජ්ජ නම් දනව්වේ.

මෙය මහාවාපී විහාරයේ සිට සැතපුම් ගණනක් ඈතින් පිහිටි ගමක්. උන්වහන්සේටත් දැනගන්න ලැබුණා වාර්ෂිකව පැවැත්වෙන අරියවංශ ධර්ම දේශනාව ගැන බණ අහන්නත් ඕන. එහෙත් ගමන ඉතා දුෂ්කරයි.

වීර්යයෙන් කටයුතු කරන නිසා වයසවත් නො සිතා ගමනට පිටත් වුණා. ගමන් විඩා හරිමින් කොහොම හරි ධර්ම දේශනාව ආරම්භ වනවාත් සමඟ මහාවාපී විහාර මලුවට වැඩම කළා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිවුවනක් පිරිසෙන් වැලි මලුව පිරී තිබුණා. තෙරුන් වහන්සේට ඉඳ ගැනීමට ඉඩක් තිබුණේ නෑ. එසේ වුවත් කිසිවකුටත් ඒ බව පැවසුවෙත් නෑ. පිරිස් කෙළවර තිබුණා එක් මල් පඳුරක්. ඒ සමීපයේ පත්කඩය එළාගෙන ඉඳගත්තා. ධර්මාසනගත වූ තෙරුන් වහන්සේ පාලි ගාථා පාඨය දක්වා නිදාන කථාව දේශනා කරන්න පටන්ගෙන තිබුණා.

කුඩ්ඩරජ්ජ දනව්වෙන් වැඩම කළ තෙරුන් වහන්සේත් තණ පඳුර සමීපයෙන් ඉදගෙන බණ අහන්න පටන් ගත්තා. පහන් වන තුරුම ධර්ම දේශනාව පැවැත්වෙනවා. ධර්මය ඇසීමෙන් තෙරුන් වහන්සේ බොහෝ සොම්නසට පත් වුණා. තවතවත් අවධානයෙන් ධර්මය ශ්‍රවණය කරමින් සිටියා. මේ අතරේ තණ පඳුරෙහි සැඟව සිටි පොළඟෙක් එතැනින් නික්මී තෙරුන්වහන්සේගේ පා අතරට පැමිණ සතර දළ ඔබා තට්ටමට දෂ්ට කළා. එසැණින් ම තෙරුන් වහන්සේ පැමිණි වේදනාව බලා, පා අතර සිටින පොළඟා දැක ඌගේ ශීර්ෂයෙන් අල්ලාගෙන පසුම්බියේ දමා කට බැඳ දැමුවා.

තෙරුන් වහන්සේට වේදනාව ඉවසා ගත නො හැකියි. විෂ ක්‍රමයෙන් ශරීරය පුරා පැතිර යනවා. උන්වහන්සේට එය හොඳින් දැනෙනවා. තවත් බණ අහන්න නම් බෑ. මෙතැනින් වහා ඉවත ගොස් බෙහෙත් කළ යුතුයි. යනාදී සිතිවිලි නිතර පැමිණෙන්න පටන් ගත්තා. එහෙත් අවසානයේ ‘මම මෙතෙක් වේලා ධර්මය මැනවින් ශ්‍රවණය කරමිනුයි සිටියේ. ධර්ම කරුණු පැහැදිලිව වටහා ගන්න නම් අවසානය වන තෙක් බණ අහන්න ඕන. මෙතැනින් නැඟිට ගියහොත් සෙසු පිරිසට බාධාවක් වෙනවා.

ජීවිතය නැති වුණත් ධර්ම දේශනාව අවසන් වන තෙක් බණ ඇසිය යුතු යැයි තීරණය කර ගත්තා. පසුම්බිය පසක තබා නැවතත් බණ අහන්න පටන් ගත්තා. ධර්මයේ පවත්නා අනන්ත ගුණ බලයෙන් ශරීරය පුරා විෂ පැතිරයාම නැවතී ගියා. පහන් වූ කල්හි ධර්ම දේශනාව අවසන් වුණා. ඈත ගම්වලින් පැමිණි උපාසක, උපාසිකා, භික්ෂු, භික්ෂුණී පිරිස් ගම්බිම් බලා පිටත් ව ගියා.

මහාවාපී විහාරය අවට සිටින දායක පිරිසත්, විහාරවාසී භික්ෂූන් වහන්සේලා පමණක් විහාර මලුවේ ඉතිරි වුණා. තෙරුන් වහන්සේ ඒ පිරිස අමතා රාත්‍රියේ තමන් වහන්සේට මුහුණ දෙන්න සිදු වූ පුවත ප්‍රකාශ කළා.

පසුම්බියේ දමා සිටි සර්පයා එළියට ගෙන පෙන්වා මුදා හැරියා. සියලු දෙනාම පුදුමයට පත් වුණා. ඇතැම් දායකයෙක් වහාම වෙදරාළ වෙත තෙරුන් වහන්සේ ගෙන යා යුතු බව ප්‍රකාශ කළා. තවත් අයෙක් යන්ත්‍රමන්ත්‍ර කළ යුතු බවට යෝජනා කළා. එහෙත් ඒ කිසිදු කටයුත්තකට තෙරුන් වහන්සේ කැමැති වුණේ නෑ.

තවත් අයෙක් ධර්ම දේශනාවේ කුමන අවස්ථාවක දී මෙය සිදු වූයේ දැයි ප්‍රශ්න කළා. සිදු වූ පුවත අසා හැමෝම පුදුම වී ‘ස්වාමීනි, ඔබ වහන්සේ මෙතරම් විෂ සහිත සර්පයකු දෂ්ට කර සිටිය දී ත් පහන් වන තුරුම ධර්මය ශ්‍රවණය කරලා තියනවා. වේදනාව කොපමණ පැමිණියත් සිත අන් තැනක නොයොදවා බණ ඇසීම පුදුමයි. එයට හේතුව කුමක්දැ?’යි

ප්‍රශ්න කර සිටියා. කුඩ්ඩරජ්ජවාසී තෙරුන් වහන්සේ මලුවෙහි රැස්වී සිටි පිරිස අමතා

‘පින්වත් ඇවැත්නි, මගේ ශරීරයේ විෂ ඉතිරි වී තියනවා. ඒ විෂ සත්‍යක්‍රියා බලයෙන් නසන්නෙමි’යි සත්‍යක්‍රියා කරමින් මෙසේ කියන්න පටන් ගත්තා.

ලොවට හිත වූ, යහපත් කොට දේශනා කරන ලද, බුදුරජාණන් වහන්සේගේ ධර්මය මම අද හොඳින් ශ්‍රවණය කළා. ඒ සත්‍ය කරණ කොටගෙන නෙළුම් කොළයකට වැටුණු ජල බින්දුවක් මෙන් මාගේ ශරීරයේ පවත්නා විෂ පහව යේවා!, අරියවංශ ධර්ම දේශනාවේ පදයක් හෝ අකුරක් හෝ මඟ නොහැර අර්ථය ද මෙනෙහි කරමින් ධර්මය ශ්‍රවණය කළා. ඒ සත්‍ය කරණකොට ගෙන මාගේ ශරීරයේ පවත්නා විෂ පහව යේවා! මෙසේ දෙවතාවක් සත්‍යක්‍රියා කරනවාත් සමඟ නෙළුම් පතකට වැටුණු ජලය නෙළුම් පතේ නොගෑවී පතිත වන්නාක් මෙන් ශරීර ගත වූ විෂ ශරීරයේ නො ගෑවී බිමට පතිත වුණා. පිරිස පුදුමයටත්, සොම්නසටත් පත්වුණා.

කුඩ්ඩරාජ්ජවාසී තෙරුන් වහන්සේ සතුටට පැමිණ මලුවේ සිටි පිරිස අමතා ‘ පින්වත් ඇවැත්නි, ධර්මයෙහි බලය බලන්න. මේ ධර්මය බුදුන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද දෙයක්, සංසාරය නමැති සාගරයට නැවක්. දෙවියන්, බ්‍රහ්මයන් ආදීන් විසින් නමස්කාර කළ යුතු දෙයක්.

තුන් ලොව ඇති රසවලින් උතුම් ම රසයෙන් යුක්ත එකක්. ජරා මරණ පහ කරන්නා වූ දිව්‍ය ඖෂධයක්. සියලු උපද්‍රව දුරු කරන දිව්‍ය මන්ත්‍රයක්. කැමති කැමති වස්තු දෙන කල්ප වෘක්ෂයක්. චින්තා මාණික්‍යයක්, භද්‍රඝටයක්.

පින්වත් ඇවැත්නි, මට පෙනෙන විදිහට ධර්මය හැර පිය කෙනෙක් ද, මව් කෙනෙක් ද නෑ. සියලු දෙනාට ම පිහිට ධර්මයයි. ඒ නිසා කොපමණ දුක් කරදර පැමිණියත්, ධර්ම ශ්‍රවණය කරන්න, අවබෝධ කර ගන්න. එසේම ධර්මයේ හැසිරෙන්න යැයි ධර්මාවවාද කළා.

වැඩිහිටි තෙරුන් වහන්සේට නමස්කාර කර කුඩ්ඩරජ්ජ දනව්වට වැඩම කොට සුව සේ වාසය කර ආයු කෙළවර දෙව්ලොව උපත ලැබුවා.

පින්වත්නි, මේ කතා පුවතින් අපට පෙන්වා දෙන්නේ ධර්මයේ පවත්නා ආනුභාවයයි. ඉතා දැඩි විෂ නසා නීරෝගී බවට පැමිණ වූයේ ධර්මයේ බලයයි. ධර්මය ආරක්ෂකයායි. ස්වර්ග සම්පත්තිය සහ නිවන් සැප ලබා දෙන්නා යි. ජීවිතයේ කවර අවස්ථාවක පසු වුවත්, ධර්මය ඇසීමත්, ධර්මය අවබෝධ කර ගැනීමත්, ධර්මයේ හැසිරීමත් ගෙන දෙන්නේ යහපතක් ම යි. සැනසීමක් ම යි. සතුටක් ම යි.

එය අවබෝධ කර ගන්නා මෙලොවත්, පරලොවත් ජය ගනියි. සසර ගමන වහා නිමා කරයි.

වප් පුර අටවක පෝය

 ඔක්තෝම්බර් 02 ඉරිදා අපරභාග 06.47 පුර අටවක ලබා 03 සඳුදා අපරභාග 04.38 ගෙවේ.
 03 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]