[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින් පිරෙන ලෙස පින් කරන හැටි

පින් පිරෙන ලෙස පින් කරන හැටි

න වෙ කදරියා දෙවලොකං වජන්ති
බාලා භවෙ නප්පසංසන්ති දානං
ධීරො ච දානං අනුමොදමානො
තෙනෙව සො හොති සුඛී පරත්ථ

අපට ලබා ගත හැකි උසස් ම සැපත නිවන් සුවය යි. එය උදා කර ගැනීම සඳහා අපේ ප්‍රඥාව වැඩි දියුණු කර ගත යුතු වෙයි. ඒ සඳහා භාවනාවෙහි යෙදෙමින් දිගු කලක් සසර සැරි සරන අතර, කර ගත යුතු ප්‍රධාන කාර්යයක් ඇත. එනම් නිවන් දකින තුරු දුගතියකට නො වැටී තාවකාලික සැප ඇති තැනක උපත ලබා ගැනීම යි.

බුදු දහමෙහි ත්‍රිවිධ කුසල්, සතර සංග්‍රහ වස්තු, දස පුණ්‍ය ක්‍රියා, දස පාරමිතා ආදී බොහෝ ගුණ ධර්ම දැක්වීමේ දී පළමුව සඳහන් කොට ඇත්තේ දානය හෙවත් පරිත්‍යාග කිරීමේ අගය යි. එයට ප්‍රධාන හේතුව අපට සදාකාලික සැපත ලබා ගැනීමට තදබල බාධකයක් වනුයේ අප තුළ ඇති තෘෂ්ණාව යි. එය ගෙවා දමා නැති කිරීමට පරිත්‍යාග කිරීම අත්‍යවශ්‍ය ය.

මේ අනුව එක් අතකින් නිවන් සුව ලබා ගැනීමටත්, තවත් පැත්තකින් ඒ උතුම් සුවය උදා කර ගන්නාතුරු සතර අපායට නො වැටී දෙව්, මිනිස් සැප ලබා ගැනීමටත් ප්‍රධාන වශයෙන් දානය හේතු වන බව ධර්මය මඟින් පෙන්වා දී ඇත.

තද ආශාවෙන් පෙළෙන අය මොනතරම් බලාපොරොත්තු ඇතුව සිටියත් කිසිකලෙක දෙව් ලොවට යා නොහැකි බවත්, නූගත් අය කිසිදාක පරිත්‍යාග කිරීමේ අගය ප්‍රකාශ නො කරන බවත් ඉහත සඳහන් ගාථාව පෙන්වා දෙයි. එසේ ම බුද්ධිමත් තැනැත්තා දානයෙහි අගය වටහා ගන්නවා පමණක් නොව ඒවායෙහි පින් ද අනුමෝදන්ව පරලොව සැප විඳින්නකු බවට පත්වන බව තවදුරටත් එම ගාථාව පැහැදිලි කර දෙයි.

යමක් දීමේ සිතිවිල්ලක් ඇති වූවත් ඒ කෙරෙහි ලෝභ සහගත හැඟීමක් පහළ වූවොත් එම පරිත්‍යාග චේතනාවෙන් උසස් ප්‍රතිඵල ලබා ගත හැකි නොවේ. ධර්ම ග්‍රන්ථයන්හි දැක්වෙන අපුත්තක සිටාණන් මෙයට හොඳ නිදසුනකි.

අපමණ වස්තුව තිබූ නමුත් කිසිදාක රස අහරක් ඔහුට නො ලැබුණි. ඇඳුම් පැළඳුම්, ගමන් බිමන් ආදී සෑම දෙයක් ම මහත් සේ දුක් බර තත්ත්වයකින් පැවතුණි. පෙර ආත්මයක පසේ බුදුවරයකුට ආහාර දෙන්නැයි භාර්යාවට නියම කළ නමුත් ඒ පිදූ ආහාර ටික නොදී තිබුණා නම් සේවකයකුට දී බොහෝ වැඩ ගන්න තිබුණා”යි ආසාවක් ඔහුට ඒ සමඟ ඇති විය.

දෙන්න යැයි කියූ නිසා වස්තුව ලැබුණත් දුන් දේ ගැන නැවත ආශා ඇති වීම නිසා අපුත්තක සිටු ඉහත දැක්වූ අන්දමට දුක්ඛිත ජීවිතයක් ගෙවී ය.

සිත මුල් කොට ඇතිවන ලෝභ සහගත හැඟීම තදබල විපත් ළඟා කර දෙයි. අප බුදුරදුන්ට අසදෘෂ මහා දානය පිළිගන්වද්දී ‘කාල’ සහ ‘පුණ්හ’ නමැති ඇමැතිවරු දෙදෙන ඒ දෙස බලා සිටියා පමණි. අනේ බොහොම හොඳ පින්කමක්. ඇති අය මෙහෙම තමයි දන් දෙන්න ඕනෑ කියමින් ඒ දෙස බලා සිටි පුණ්හ ඇමතියා මිය ගිය පසු ඒ කුසල චේතනාව නිසා දෙව්ලොව ඉපදුණි.

බොහෝ ධනයක් වැය කොට කරන මේ මෝඩ වැඩවලින් මොන තරම් නාස්තියක් වෙනවද යනුවෙන් සිතමින් සිටි කාළ ඇමතියා නිරයෙහි උපත ලැබීමට ඒ නරක සිතිවිල්ල බලපෑවේ ය.

බුදු දහමෙහි ඉගැන්වෙන දස පුණ්‍ය ක්‍රියා අතුරෙන් දානය ප්‍රධාන වන අතර, තමා කර ගත් පින් අනුන්ට දීමත් (පත්ති) අනුන් කරන පින් තමා සතුටින් අනුමෝදන් වීමත් (පත්තානුමෝදනා) තවත් පින්කම් දෙකකි. තමා විසින් කරන යහපත් දේ අනුමත කොට අන් අයට ද සැප ලබා ගැනීමට හැකි බව එයින් පැහැදිලි වෙයි.

තමා කළ පින් අනුන්ට දිය හැකි වුවත් කරන පව් නම් කිසිවකුට දිය නොහැකි ය. එයට හේතුව හොඳ දේ මිස නරක දේ අන් අය භාර නො ගන්නා හෙයිනි. ධනය රැස් කරන අය ඒවා කොපමණ තිබුණත් අබ ඇටයක පමණ දෙයක්වත් පරලොවට ගෙන යා නොහැකි බව සිතිය යුතු ය. ආශාවෙන් තොරව පැහැදුණු සිතින් යමක් අතින් ඇතහැර පරිත්‍යාග කළහොත් එය මෙලොව සහ පරලොව හිත සැප පිණිස හේතු වන බව නිතර සිතා ක්‍රියා කළ යුතු ය.

එක්තරා දිනක දන්දීමේ ආනිසංස දක්වමින් බුදුපියාණෝ අන් අය සම්බන්ධ නො කොට දෙන තැනැත්තාට වස්තුව ලැබෙන බවත්, පිරිවර නො ලැබෙන බවත්, තමා දෙන ගමන් අනුන් ද එයට සම්බන්ධ කර ගන්නා තැනැත්තාට උපනූපන් ආත්මවල ධනය මෙන්ම අවශ්‍ය පරිවාර සම්පත්තිය ද ලැබෙන බවත් පෙන්වා දුන්හ.

මෙය අසා සිටි නුවණැති මිනිසෙක් දානයක් දීම සඳහා බුදුරදුන් ප්‍රධාන සංඝ රත්නයට ආරාධනා කොට තැන් තැන්වල යමින් ආධාර එකතු කරන්නට විය. මේ අවස්ථාවෙහි ධනවත් මුදලාලි කෙනෙක් තම වෙළඳ සැලෙහි තිබූ සහල් ආදී විවිධ ද්‍රව්‍ය ඇඟිලි තුඩුවලින් ටික ටික ගෙන පරිත්‍යාග කළේ ය.

සැදැහැවත් තැනැත්තා දානය පූජා කොට අවසානයේ දී විශාල වශයෙන් පරිත්‍යාග කළ අයට මෙන්ම සුළු වශයෙන් දුන් අයට ද එකසේ පින් අනුමෝදන් කරවිය. මේ සිදුවීම නිමිති කොට බුදුරදුන් ඉතා වැදගත් උපදේශයක් සෑම දෙනාට ම ලබා දෙයි. ‘එය සුළු පිනකි. ඒ නිසා මා කරා නො එන්නේය ‘යි නො සිතිය යුතු ය. සුළු පිනක් වුවත් එයට අවමන් නො කළ යුතු යැ යි කරුණු දැක්වූ බුදුහු දිය බින්දුව බැගින් වැටීමෙන් කළගෙඩිය පිරෙන්නාක් මෙන් ටික ටික පින් රැස් කරන බුද්ධිමත් තැනැත්තා පිනෙන් පිරී යන්නේ යැයි ඉතා වැදගත් උපමාවකින් ඒ කරුණ වඩාත් පැහැදිලි කොට දැක් වූ හ.

පුණ්‍ය ක්‍රියාවන්ට පමණක් නොව අකුසල ක්‍රියාවන්ට ද මෙහි දැක්වූ උපමාව එක සේ සාධාරණ ය. එයින් පැහැදිලි කරනුයේ කුසල ක්‍රියා පමණක් නොව අකුසල ක්‍රියා ද සුළුයැ යි තැකිය නො හැකි බවයි.

සත්වයාට සැප හා දුක් ලබා දීමේ දී පෙර කරන ලද කර්මයන්හි බලපෑම විශාල වශයෙන් ඇතිවන බව පැහැදිලි කරුණකි. කුඩා නුග ඇටයක් පැළ කිරීමෙන් මහා ගසක් හට ගන්නාක් මෙන් කෙනකු කරන ලද සුළු කුසලය හෝ අකුසලය තුළින් බොහෝ ඵල ලැබිය හැකි ය.

තිස් වසරක් මුළුල්ලේ වරදකරුවන්ගේ හිස ගසා දමමින් සිටි චෝරඝාතක නමැත්තා මරණාසන්න අවස්ථාවෙහි සැරියුත් හිමියන්ට කිරිබත් ටිකක් පුදා, බණ අසා පැහැද අවසානයේ දෙව් ලොව උපත ලැබූ බව ධර්ම ග්‍රන්ථ සඳහන් කරයි. ඔහු කරන ලද අකුසල කර්ම විශාල ය. එහෙත් අන්තිමේ සිදු කළ කුසලය සුළු වුවත් මරණින් අනතුරුව සුළු කලකට හෝ සුගතගාමී වීමට එය බලපෑ අන්දම සිහියට ගැනීම ප්‍රයෝජනවත් ය.

වප් පුර අටවක පෝය

 ඔක්තෝම්බර් 02 ඉරිදා අපරභාග 06.47 පුර අටවක ලබා 03 සඳුදා අපරභාග 04.38 ගෙවේ.
 03 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]