[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

සංස්කරණය - දීපා පෙරේරා

හිස් දෑතින්

දුක සැප දෙකම එක විලසට වැළඳ ගති
සම්බුදු දහම් නියමයටම දිවි ගෙවති
එනමුත් ලොවේ මිනිසුන් ළඟ දුදන ගති
නැතිකර දිවි ගෙවන්නට නම් නොහැකි වෙති

මුදල් හදල් ලැබෙනා විට දෙමාපියන් තම දරුවන්
කාගේ කවුද යන වග දැන් බැහැර ගොසින් කාගෙ දොසක්
දේපළ එක් රැස් කරමින් නිති සැප සම්පත් පතමින්
කළ හැකි හැම ඇවැඩ කරනුයේ කුමටද කුරිරු සිතින්

යුතුකම කුමක් වේ දැයි කිසි දින බැලුවා ද
තම සැප මිසක් අනුනගෙ දුක දුටුවා ද
සැප ළඟ දුකයි කියලා නුඹ සිතුවා ද
තමන්ගෙ දුකේ දී නුඹ කළබල වී ද

අටලෝ දහම කාටත් පොදු දෙයකි ලොවේ
ඒ දහමට යටත් නොවනා කෙනකු නොවේ
ලැබු තම දිවිය හරි මඟ ගෙන ගියොත් ලොවේ
මියගිය පසුත් තම නම නිති රැකෙයි ලොවේ

පන්සිල් රකින උවසුන් වෙත බුදු දහමේ
නිති සුව ලැබේ දම් සුව ඇසුරේ මහිමේ
බුදු හිමි දෙසූ සදහම් සිසිලස මහිමේ
තුන්ලොව සැමට සැමදා සරණයි දහමේ

ජාති ජරා මරණ ගොඩේ අපි දඟලනවා
ඒව බදාගෙන අප සැම රණ්ඩු කරනවා
බදා ගත්ත දේ හැම අතහැර අපි යනවා
දෑත හිස්ව යන සසරේ අපි තනි වෙනවා


එකම සරණ

ලෝභය ද්වේශය මෝහය මුල් කර
සසර ගමන සැරිසරන තුරා
සංසාරේ අප යන එන ගමනේ
අවසානය නිති දකින තුරා

දාන ශීල භාවනාව දස කුසලින්
අප සිත වැඩෙන තුරා
අලස නොවී අප වීරිය ගෙන යමු
උතුම් නිවන් දොරටුව සොයලා

දුකමයි මේ කුණු කය ගෙන යන තැන
සැමදා සැමට ම හිමි වන්නේ
ජරා ව්‍යාධී මරණයටයි අප
මොහොතින් මොහොතම ළං වන්නේ

තණ්හාවෙන් බැඳි මේ සංසාරෙන්
ගැලවීමක් නම් නැත ඉතිනේ
අමා මෑණිගේ ලොව්තුරු දහමේ
සරණයි අප හට හිමි වන්නේ


දහම් පාසල

යහපත් දිවියක් ගත කරලන්නට
අවැසියි ගුණදම් වැඩි කර ගන්නට
ගුණදම් නැමැති මල් දම් සරසවන්නට
රන්විමනකි දම් පාසල් සෙවණ

යහපත පෙන්නා
අයහපත පන්නා
දිවිය සරු කරනා
බොදු දරුවන් වෙමු අපි තුටිනා


සුරකිමු තුරුලිය

සත්ව මිනිස් දිවි ගෙවන්නෙ
ගහ කොළෙනුයි හුස්ම ගන්නෙ
ඇයි පරිසරෙ නැති කරන්නෙ
මරු ළඟටයි කිට්ටු වෙන්නෙ

ගහ කොළ වැල් නැති දවසට
මරු කතරකි මේ මිහි පිට
මිනිසුනි අනුවණකම් කොට
සැනසීමක් නැත කිසි විට

දිය ඇලි ඇළ දොළ ගංගා
සත් සුවයට පැන නැංගා
සුරකිමු තුරුලිය ගංගා
සැරදේ ජය දද නංගා

තුරුලිය සම්පත රකින්න
තව තව තුරු පැළ වවන්න
වනයට සෙනෙහසින් ඉන්න
ඔබ හා මිහි මවු රැකෙන්න


කුමාර කාශ්‍යප මාතා

දෙව්දත් තෙරුන් යටතේ චීවරය ගෙන
ගැබ් ගත් භික්ෂුණිය ලෙස අපවාද ලන
ඇය පත් අඳුර ගැන හරි හැටි කරුණු මැන
ඉටුවෙත් බුදු හිමිගෙ සාධාරණයෙ ගුණ

ඇය පින්වත් පුතකු මෙලොවට බිහි කරන
පි‍්‍රය ඔහු කොසොල් රජ මාළිගයේ වැඩෙන
සිය මන වැඩෙන විට හරි මඟ ඔහු දකින
විය කාශ්‍යප කුමර තෙරණුව පින රැඳුන

විදසුන් වඩා ටික කලෙකින් රහත් වන
හිමියන් මෙහෙණි මාතා යන මගෙක එන
වැඩියෙන් පිඬු සිඟා දෙදෙන ම හැඳින ගෙන
හඬමින් මාතාව පුතු පසු පසම යන

මව හට අකීකරු නොව නිසි සෙනේ ගෙන
“ගිහිගෙට බැඳ තබන දාරක පෙම ද මොන”
ඇසූවිට මවට දැනුණා දුක පුතා ගැන
කුමකට මුළාවී මොහු පසු පස ම යන

එලෙසින් මෙහෙණි තව වැඩි දුරටත් හිතන
විගසින් භාවනාවට හිත යොමු කරන
ලැබුණෙන් වහා අරහත් ඵල සුව සැදෙන
සසරෙන් එතෙර වන්නට එතුමිට ලැබිණ


ලෝ සොබා

ඉහළට ඉහළට ආකාසේ
සුළඟේ ඇදෙනා
විසිතුරු ලස්සන සරුංගලේ

පොළොවට ආපසු එනවිටදී
විසිතුරු අඩුවී දුක්මුසු වේ


වැඩ කෙරුවොත් ...

ගිලන් අයට බෙහෙත් කරන මේ ලෝකේ දෙවිවරුන්ට
සහාය වන හෙද හෙදියන් සේවක සේවිකාවන්ට
හමුදාවේ පොලීසියේ සෙබලුන් හා සෙබලියන්ට
ජය ශක්තිය දිරිය ලැබේවා තව තව වැඩ කරන්ට

ඉස්සරහට ආහරවල අඟ හිඟකම් ඇතිවෙනවා
ජනතාවට ඒ හිඟයට මුහුණ දෙන්න සිදුවෙනවා
ඒ හින්දා වතුපිටිවල ගොවිතැන් බත් අරඹනවා
වැඩ කෙරුවොත් නොවරදව ම බත් පිඟාන සරු වෙනවා

වුවමනාව ඕනෑකම තිර අදිටන ඇති කරන්න
පාසල් යන දරු දැරියන් මේ සටනේ පෙරට ගන්න
එළවළු පලතුරු ආදිය හැම නිවසෙම හිටව ගන්න
වස විස නොදමා පවුලේ පරිහරනෙට යොදා ගන්න

ගමයි පන්සලයි ආපහු පෙර පරිදිම එක් කරන්න
සිංහලකම බෞද්ධකම කුටුම්බයෙන් ඇති කරන්න
හොඳ ගතිගුªණ සිරිත් විරිත් දරුවන් තුළ ගොඩ නඟන්න
හැකි පමණින් පන්සිල් පද ටිකවත් හරියට රකින්න

වප් පුර අටවක පෝය

 ඔක්තෝම්බර් 02 ඉරිදා අපරභාග 06.47 පුර අටවක ලබා 03 සඳුදා අපරභාග 04.38 ගෙවේ.
 03 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]