[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා 82 කොටස: බලකොටුව ආරක්ෂාවට අතිරේක බල ඇණියක්

දුටුගැමුණු මහ රජතුමා 82 කොටස:

බලකොටුව ආරක්ෂාවට අතිරේක බල ඇණියක්

“මට පේන විදිහට තවත් සියුම් උපායක් මෙහිදී අප ක්‍රියාත්මක කළ යුතුයි. දුටුගැමුණු රජතුමා කසා තොටින්, නැතිනම් දමුන්නරුවෙන් මහවැලි ගඟ එගොඩ වී අනුරාධපුරයට බලසේනා සමඟ පැමිණි විට එළාර රජු වැනි සාධාරණ, ධර්මිෂ්ඨ රජ කෙනකු සඳහා උද්ඝෝෂණය කරන සිංහල පිරිසක් හදා ඉදිරියට එවන්න පුළුවන් නම් හොඳයි.

එසේ පැමිණි පිරිසගෙන් කොටසක් ආපසු හැරී යන්නට සූදානම් කර එවන්නට ඕනෑ.

“දුටුගැමුණු රජතුමා එන්නේ බුද්ධ ශාසනය රැක ගන්නලු. රාජ්‍ය ලෝභයෙන් නොවෙයිලු. ධන තණ්හාවෙන් නොවෙයිලු, ඉතින් අපි සිංහල බෞද්ධයන් හැටියට ඒ සටනට විරුද්ධ වෙන්නේ කොහොමද? කියමින් සියලු පිරිස් ආපසු කැඳවාගෙන යන්නට දක්ෂ තරුණ පිරිසක් මේ සඳහා යොදවන්නට ඕනෑ.”

“ඔබ වහන්සේගේ යෝජනාව හරිම අගෙයි. දැනටමත් එබඳු තරුණ පිරිසක් යොදවාගෙන ක්‍රියාත්මක වන සංවිධානයක් තිබෙනවා. ජයනාථ මහ සිටුතුමාගේ දියණියත් තවත් තරුණියන් පිරිසක් සමඟ එයට එකතු වෙලා.”

“බෝධිනාග, එහෙනම් සිරිනාග ඒ උපාය දැක තිබෙනවා. මේ ගැන දුටුගැමුණු රජතුමාට අපි කියන්නම්. ඒ එන පිරිසට පහර දෙන්න එපා කියලා.”

“බෝධිනාග ඔබගේ අත් ගුණය නිසා මෙවර අපේ කුඹුරු හරි සරු සාරයි. වී, මුං, කුරහන්, බඩ ඉරිඟු, තල වෙන වෙනම ගබඩාවල පුරවලා. අවශ්‍ය විටෙක දී යුද බිමට එවන්නට සේවකයන් යොදවලා තියෙන්නේ.”

බෝධිනාග මහියංගණයේ සිට එන ගමන් කල්පනා කළේ සිලාපස්ස පිරිවෙන්පති මහා ස්වාමීන් වහන්සේගේත්, තිස්සමහාරාම විහාරාධිපති හිමියන්ගේත් දුර දක්නා නුවණ හා ස්ථානෝචිත ප්‍රඥාව ගැන ය. රටට, ජාතියට, ආගමට ඇති ආදරය ගැනය.

යුද්ධ මණ්ඩල රැස්වීමේ දී බෝධිනාග රහස් දූත ව්‍යාපාරයේ යෙදිය යුතු බවට යෝජනාව ගෙන ආවේ දීඝාභය මහ සෙනෙවි ය. ස්ථිර කළේ උපතිස්ස සෙනෙවි ය. විජිතපුර බලකොටුවේ තනතුරු අත්හැරීමේ අකැමැත්ත එයින් පෙන්නුම් කළත්, එම යෝජනාව අනුමත විය.

ජවාධික අශ්වයකු සහිත, අශ්ව රථයක් බෝධිනාගට පවරන්නටත් ඒ ඒ ප්‍රාදේශීය රජවරුන්ට පරිත්‍යාග කිරීම සඳහා රන් රිදී මුතු මැණික් භාණ්ඩාගාරයෙන් මුදාහරින්නටත් නියම කෙරිණි.

යුද්ධ මණ්ඩල රැස්වීමේ සියලු තීරණ රහස් ලෙස රැක ගැනීමට සෑම දෙනාම පොරොන්දු වී තිබිණි. යුද්ධ මණ්ඩල රැස්වීමට රජතුමා සහභාගි නොවීම ද සෙනෙවිවරුන්ගේ කතාබහට ලක්වී තිබිණි. රජතුමාගේ නිර්දේශ ඉදිරිපත් කරන ලද්දේ මහ සෙනවියකු විසිනි.

සියලු අභ්‍යන්තර ආරක්ෂක කටයුතු සංවිධානය කිරීම සිරිනාගට පැවරිණි. මහවැලි දකුණු තීරයේ ආරක්ෂාව තර කිරීමටත්, එහි සියලු වගකීම තුණ්ඩිලට පවරන්නටත්, ඔහු මහ සෙනෙවි තනතුරට උසස් කරන්නටත් නිර්දේශ කෙරිණි.

සිරිනාග රහස් ඔත්තු සපයා ඇත්තේ තමන් දෙදෙනා කෙරෙහි රජතුමාගේ සැකය යොමුවන ලෙස යැයි දීඝාභයට සිතිණි. කෙසේ වෙතත් තමන් දැනට දරන තනතුරුවල වෙනසක් සිදු නොවීම ඔවුන්ගේ සිතට සහනයක් විය.

“මේ අවස්ථාවේ දී විසි මහ යෝධයන්ගේ දායකත්වය ලබා ගැනීමට රජතුමා තීරණය කර ඇති බැවින් ඔවුන් අද මෙහි කැඳවා තිබෙනවා. මොවුන්ගෙන් හය දෙනකු බලකොටු හයකට යවන්න රජතුමා තීරණය කර තිබෙනවා. තවත් සිව් දෙනකු විජිතපුර, කසාතොට, මහෙල හා ගිරිල බලකොටුවල සිව්රඟ සේනාව භාරව කටයුතු කිරීමට යොදවනවා. ඉතිරි දස දෙනා මහවැලි ගං තීරයේ අභ්‍යන්තර තොටමුණු ආරක්ෂාවට යොදවනවා.”

පුංචි මස් පර්වත වැනි මේ මිනිසුන් යෝධයන් විය හැකි ද? සිරිනාගට සිතිණි. එළාර මහ රජතුමා වැටුප් ගෙවන නිධන් හොරු මොවුන් විය නොහැකි ද? ඔහු කල්පනා කළේ ය. පුරාවස්තු මංකොල්ලකෑම, මං පැහැරීම ආදියට රහසිගතව යොදන පිරිසක් ගැන තමා ලබා ඇති තොරතුරු අනුව සැක සහිත පිරිස මොවුහු ම යැයි හැඟී ගිය සිරිනාග තුළ ඇතිවූයේ මහත් කලකිරීමකි.

තොටමුණු සියල්ලේම කඳවුරුවලට උපරිම සෙබළ සංඛ්‍යාවක් යොදවන්නට රජතුමා නියෝග කර තිබෙනවා. බලකොටු මඟහැර අග නගරයට පහර දිය හැකි මාර්ග ගැන සතුරන්ගේ අවධානය යොමුවන්නට පුළුවන්. කසාතොට හා දාස්තොට ආරක්ෂාව තර කරන්නට ඕනෑ.”

“මහ ඇමතිතුමනි, මම මුලින්ම යෝජනා කර ඇත්තේත් එයයි. දුටුගැමුණු රජුගේ සේනාව කුමන ස්ථානයකින් අපේ රාජ්‍යයට ඇතුළු වුවත් ඔවුන් පන්නා දැමීමේ ශක්තිය අප තහවුරු කර ගත යුතුයි.”

“සිරිනාග මහ සෙනෙවි, දැන් ඔබේ රහස් ඔත්තු සේවය බිඳ වැටිලා ද? දැන් දුටුගැමුණු රජතුමාගේ සේනාව කොයි හරියේ ද? තොපට කියන්නට පුළුවන් ද?”

“සෙනෙවිතුමනි, මගේ පරෙවි දූතයා අතුරුදහන් වෙලා. අවසන් වරට පසුගිය දා මහියංගණයට ගියා. චර සේවයේ යෙදෙන මගේ හිතවත් සෙනෙවිවරුන් සොයා ගන්නට බැරුව ඇති.”

“ඔබට ඒ සඳහා වෙනත් ක්‍රමයක් නැද්ද?”

“තිබෙනවා. ඔබේ හී පොළට එන මගේ හීපත් නොකඩා මට එවිය හැකි ද?”

“ඔබ මා ගැන සැක කරන බවයි පෙනෙන්නේ.”

“නැහැ මම දන්නා සත්‍යයක් ගැන ඔබතුමා යි සැක කරන්නේ.”

“තොප දන්නා සත්‍යයක් නැහැ. සිරිනාග තොපේ ව්‍යාජ ඔත්තු සේවය අපේ සැලසුම්වලට බාධාවක්.”

මහ සෙනෙවිතුමනි, දුටුගැමුණු රජතුමා සේනාවත් සමඟ දැන් අඹටුගම බලකොටුව වටලා ඇතැයි කීවොත් ඔබ එය අසත්‍යයක් යැයි කියනවා ද?.”

ඔව් මහියංගන බලකොටුවෙන් මෙහාට දුටුගැමුණු රජතුමාට එන්නට ලැබෙන්නේ නෑ.

සෙනෙවිතුමනි, යුද්ධ මණ්ඩල රැස්වීම අවසන් වූ විගස රජතුමා හමුවී මේ පණිවිඩය කියනතුරු මට සැනසීමක් නැහැ.”

දීඝාභය දෙනෙත් විදහා බලා සිටියේ ය. දීඝජන්තු පුදුමයට පත්විය. මුළු සභාව ම නිහඬ විය.

“මහියංගන බලකොටුව විනාශයි. ඡත්ත මහ සේනාධිපති ඇතුළු දස දහසකට ආසන්න සේනාංක සමූල ඝාතනය කරලා. මළ සිරුරු දෙදහක් පමණ මහවැලි නදියේ පාවෙලා යනවා. ඉතිරි සියලු දෙනාම බලකොටු තුළ දැවෙනවා.”

මොහු කියන්නේ අමූලික බොරුවක්. ඡත්ත මහ සෙනෙවියා බොහෝම ශක්තිමත් ලෙහෙසියෙන් පරාජය වන කෙනෙක් නොවෙයි. දීඝාභය තමන්ට ම කියා ගත්තේ ය.

“සිරිනාග, තොපට මේ පණිවිඩය ගෙන ආවේ පරෙවි දූතයා ද? නොඑසේ නම් කවුරුන්ද? ඡත්ත මහ සෙනෙවිගේ යුද්ධ ශක්තිය ගැන තොප අසා තිබෙනවා නේද?” දීඝාභය කෝපයෙන් ඇසුවේ ය.

“ඡත්ත මහ සෙනෙවිතුමා ගැන මම හොඳින් දන්නවා. මා යුද්ධ ශිල්පය ඉගෙන ගත්තේ ඔහුගෙන්. ඔහුගේ විනාශය ගැන මට කනගාටුයි. නමුත් දුටුගැමුණු රජුගේ සේනා ශක්තිය ඔහුගේ යුද්ධ ශක්තිය අභිබවා ගොස් තිබෙනවා.”

“පුදුම වන්නට එපා සෙනෙවිවරුනි. මට මේ ආරංචිය ගෙන ආවේ හීපතක්.”

“මේ අතර සම්මන්ත්‍රණ ශාලාවේ දූතයකු පැමිණ ප්‍රධාන සෙනෙවිවරුන් හත් දෙනකු පැමිණ මහ ඇමැතිතුමන් හමුවීමට අවසර පතන බව පැවසීය.

“ඔවුන් කැඳවාගෙන එනු” මහ ඇමැති විධානය කළේ ය.

මහා පෞරුෂයකින් යුතු මහ සෙනෙවිවරුන් සත් දෙනෙක් මහත් කලබලයෙන් භයට පත් පෙනුමෙන් රැස්වීම් ශාලාවට පැමිණ ආචාර කර සිටියහ.

“රජතුමා හමුවන්නට රජ මාලිගයට ගියා. ජයනාථ, බෝධිනාග සහ තවත් ඇමැතිවරු කිහිපදෙනෙක් සමඟ රජතුමා මහේල බලකොටුවට ගිහින්.

“අපි අනතුරට පත්වෙලා. අපේ බලකොටු ආරක්ෂා කර ගැනීමට සෙබළු තිස් දහසක අතිරේක සේනාංකයක් ඕනෑ.

“ඇයි මේතරම් බයක්? ඇයි මේ තරම් හදිස්සියක්!”

මහ ඇමතිතුමනි, අම්බතිත්ථ බලකොටුව රුහුණු බලසේනා වටකර ඇති බව ඔබතුමා දන්නේ නැද්ද? සෙන්පතිතුමා පහර දීමට පටන් අරගෙන.

වප් පුර අටවක පෝය

 ඔක්තෝම්බර් 02 ඉරිදා අපරභාග 06.47 පුර අටවක ලබා 03 සඳුදා අපරභාග 04.38 ගෙවේ.
 03 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]