[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙනස්වීම් දරා ගන්නට නිතරම සිත පුහුණු කරන්න

වෙනස්වීම් දරා ගන්නට නිතරම සිත පුහුණු කරන්න

මේ සසර කෙතරම් දුකක් දැයි අපි තනි තනිවම කල්පනා කරන්නට මහන්සි ගන්න ඕනෑ. ඒ සසරට ඇති බිය නිසයි. මනුස්ස ලෝකයේ ඉපදීම සුගතියක් වුවත් එහි ඇති දුක කෙතරම් ද කියා අප දන්නවා. විටෙක කායිකව ද, විටෙක මානසිකව ද දුක් විඳීනවා.

සංසාරේ ගමන් කරන තුරු කායික පීඩා නැවත නැවත අප වෙත එනවා. එනිසයි අප ධර්මයට පැමිණිය යුත්තේ.

සංසාර දුකට අකැමැත්තක් අප තුළ තිබෙන්න ඕනෑ. ජීවිතයේ එක දිගට ප්‍රශ්න එන විට අපට සිතෙන්න පුළුවන් “අනේ මට ම යි මේ ඔක්කොම කරදර එන්නේ” කියලා. ඒක එහෙම නොවේ. ඔබ එක එක්කෙනා සමඟ වෙන වෙනම කතා කරලා බලන්න. සමාජය ඉදිරියේ හිනා වෙලා හිටියට හැමෝට ම නොයෙක් ආකාරයෙන් ප්‍රශ්න තිබෙනවා. එකිනෙකාට පෞද්ගලික වූ තමන්ගේ ම කතාවක් අභ්‍යන්තරයේ තිබෙනවා. එහෙම නම් හැමෝට ම පොදු වූ දෙයක් තිබෙනවා.

බොහෝ දෙනා හිනාවෙලා පිටට පේන්න ඉන්නවා. එහෙත් ඇතුළත ගිනි ගන්නවා. අප කා තුළත් අර්බුද තිබෙනවා. මනුස්ස ලෝකයේ දී විටෙක අපි සැපෙන් ඉන්නවා. ඒ අටලෝ දහමේ හොඳ පැත්ත යි. තව වෙලාවක දී අපි දුකෙන් ඉන්නවා. ඒ අටලෝ දහමේ නරක පැත්ත යි.

අටලෝ දහම කියන්නේ වෙලාවකට ලාභ ලැබෙනවා. තව වෙලාවක ලාභ නොලැබී යනවා. එතකොට අලාභ. වෙලාවකට නින්දා ලැබෙනවා .වෙලාවකට ප්‍රශංසා ලැබෙනවා. තවත් අවස්ථාවක තමා වටේ පිරිවර සිටිනවා. තව අවස්ථාවක දී කිසිවෙක් නැතිව තමන් තනි වෙනවා. තව අවස්ථාවක දී කායික මානසික දුක් එනවා. තව අවස්ථාවක දී සැප සේ ඉන්නවා . මේ දේ අපි හැමෝගෙම ජීවිතවලට වරින්වර ඇවිත් තිබෙනවා . අටලෝ දහමේ දුක් පැත්ත. එතකොට අපි හිතනවා “ඇයි මටම මෙහෙම වෙන්නෙ? මට කරදරවල ඉවරයක් නැහැනේ” කියලා. නමුත් සැප පැත්ත ලැබෙද්දි එසේ කල්පනා කරන්නේ නැහැ. “ඇයි මට මේ ලාභ ලැබෙන්නේ. ඇයි මට ම ප්‍රශංසා. මා වටා ඇයි පිරිස. මට ඇයි මේ තරම් සැප ලැබෙන්නේ” කියලා කවුරුත් හිතන්නේ නැහැ .

ඒ කාලයේ දී ලාභයෙන්, ප්‍රශංසාවෙන්, යසසින්, සැපයෙන් උද්දාමයට පත් වෙනවා. අලාභ එන විට, නින්දා එන විට ඥාතීන් යහළුවන් ඈත් වන විට, පාඩු එනවිට, ජීවිතයට එක දිගට කායික මානසික දුක් පීඩා එන විට මට ම ඇයි මේ තරම් කරදර කියා කල්පනා කළ වාර ගණන මොනතරම් ද?

“මම යහපත කරනවා නම්, හැමෝටම උදව් උපකාර කරනවා නම් ඇයි මටම මෙහෙම වෙන්නෙ” කියලා හිතුවොත් ඒ සිතිවිල්ල අසාධාරණ යි. ඇයි? ඒ ලෝක ස්වභාවය නිසා.

හිතන්න මේ උදාවී තිබෙන්නේ ඔබට හොඳීන් ලාභ ලබන කාලයක් කියලා. ලෝකයා එදාට ඔබේ පැත්තේ ඉන්නවා. පාඩු ලැබූ මොහොතේ එය බෙදා ගන්න කිසිවෙක් නෑ. තනි වූ මොහොතේ ලෝකයා ඔබ සමඟ නැහැ.

අටලෝදහම ලෝකය අනුව පෙරළෙනවා. ලෝකය අටලෝදහම අනුව පෙරළෙනවා.අටලෝ දහමේ හොඳ පැත්ත තිබෙන විට ලෝකය අපිත් සමඟ සිටිනවා. අටලෝදහම නරක පැත්ත පෙරළෙන විට අපට කවුරුත් නැතුව තනිවෙන්න වෙනවා. එහෙත් පෘථග්ජන මානසිකත්වයේ ස්වභාවය නම්, ලාභ, යස, ප්‍රශංසා, සැප එකට එනකොට මම වාසනාවන්තයි. මට ම යි මේවා ලැබෙන්නේ කියා උදම් වෙනවා . එයට ඇලෙනවා. ඉවසන්න දක්ෂ නැහැ .සියලුම දේ අනිත්‍ය වෙලා යනවා කියා හිතන්න තරම් සිත පුළුල් නැහැ. සිත පටු වෙලා.

සමහර මවුපියෝ කියනවා අපි තරුණ කාලේ, හැඩරුව තිබූ කාලේ අපේ දරුවෝ ඒ අයගේ යාළුවෝ නිවසට ආවිට මේ මගේ අම්මා, මේ මගේ තාත්තා කියලා ඉස්සරහට එක්කගෙන එනවා. එහෙත් දැන් වයසට ගිහින් එක තැන වැටිලා ඉන්නකොට ඒ අයගේ යහළුවන් නිවසට එන දාට අම්මේ අද කට්ටියක් අපේ ගෙදරට එනවා. එයාලා යනකම් කාමරයට වෙලා ඉන්න කියලා දොර වහනවා. ඒ එකම අම්මා. එකම දරුවා. එහෙත් කාලයේ වෙනසක් වෙලා. එකම දේ අවස්ථා දෙකක් වුණා.මේ දේ හැමෝට ම පොදු දෙයක්.

කවදා හරි දවසක අපි එක්තැන් වෙලා මළමුත්‍රා ගොඩේ වැටී ඉද්දි සමහරවිට තමන්ගේ ම දරුවෝ මේ මගේ අම්මා කියලා අන් අයට හඳුන්වලා දෙන්න අකැමැති වෙන්න පුළුවන්. කල් ඇතිව අනිත්‍ය මනසිකාරය තුළින් ධර්මයේ සිත පිහිටුවාගෙන නොසිටියොත් ඒ වෙලාවට හිත කඩා වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා තමන් වහන්සේගේ ශ්‍රාවකයාට එහෙම වෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයා ඊට වඩා එහාට කල්පනා කරනවා. ලාභය ඉපදු‍ණොත් ඒක අනිත්‍ය යි. ඒ අනිත්‍ය දේ වෙනස් වෙනවා. ඒ වෙනස් වන දේ දුකයි. ඒ නිසා ඒ දේ මට ඕන ආකාරයට තබා ගන්න බැහැ කියලා හිතන්න ඕනේ. රජයේ ඉහළ නිලයක් දරලා උසස් රැකියාවක් කරලා විශ්‍රාම ගියාම ඒ සැලකුම නැහැ. ඒක ලෝක ස්වභාවය. ඒ ලාභය අනිත්‍ය යි.ඒක දුකයි. මට ඕනෑ ආකාරයට පවත්වන්න බැරි නිසා අනාත්ම යි. මට ධනය තිබෙන නිසා පිරිස් එකතු වෙලා ඉන්නවා. මේ දේ අපට තේරුම් ගන්න පුලුවන් නම් මේ ධර්ම මාර්ගයේ දිගු ගමනක් යන්න පුළුවන් වේවි.

කිසිම කෙනෙක් අප දෙස නොබලන කාලයක් එනවා.මේ අතේ පයේ හයිය තිබෙන තුරු. බලය, ධනය තනතුරු තිබෙන තුරු තමයි කවුරුත් අපිට ප්‍රශංසා කරන්නේ. සමහරවිට මේ ලෝකයේ සිටින තුරු පමණයි ප්‍රශංසා. මියගිය පසු කාලයක් කතා කරනවා. එතැනින් ඒක ඉවරයි. ඒක අනිත්‍යයි. අපට ප්‍රශංසාව නවත්තන්න බැහැ. ඒක ලෝක ධර්මතාවයි. නමුත් ප්‍රශංසා එනවිට නුවණින් කල්පනා කරනවා නම් එයට යට නොවී ඒ අනිත්‍ය වෙලා යන දේ දෙස නුවණින් බලනවා නම් අපි දිනුම්.

තමා සමඟ පිරිවර ඉඳලා ඒ අවස්ථාවේ ඒක අනිත්‍යයි කියල සිහි නොකර ඉන්නවා නම්, එතැන තමන්ගේ අඩුවක් තියෙනවා.

දිනෙන් දින ශරීරය වැහැරෙනවා. ඉඳගෙන, හිටගෙන ඉන්න අමාරු කාලයක් එනවා. කායික පීඩා වැඩි වෙනවා. සැප එන කාලයේ ඒ හැම දෙයක් ම අනිත්‍යයි කියලා සිහි කළොත් සැපය අනිත්‍ය වෙලා යන විට දරන්න පුලුවන්කම තියෙනවා.

සසරේ අපි විඳී දුක් කන්දරාව සමඟ සසඳන විට මේ ජීවිතයේ දුක දූවිල්ලක් තරම්වත් නැහැ. දුවිල්ලක්වත් තරම්වත් නැති දුක මේ තරම් අප පෙළෙනවා නම් සංසාරයේ අපි කොපමණ දුකක් විඳලා ඇද්ද?

මනුස්ස ලෝකයේ කවුරු කුමක් නිසා හෝ සුවෙන් ඉන්නවා. නැවත ප්‍රශ්නයක් ආ විට දුක් වෙනවා. නැවත සුවයෙන් ඉන්නවා . සතෙක්, ප්‍රේතයෙක්, නිරි සතෙක් වුණොත් එක දිගටම ප්‍රශ්න. දුක් වේදනා. සැප නෑ.

ඒ වගේ සංසාරයක යන අතරතුරයි මේ වගේ සුගති ලෝකයක් වූ මනුස්ස ලෝකයට අපි ආවේ. ඒ නිසා අපි මනුස්ස ලෝකයට ආ විට එහි වාසනාව තේරුම් ගෙන බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අසන්න කැමති වෙන්න ඕනෑ . ඒ අනුව කටයුතු කරන්න කැමති වෙන්න ඕන.

බිනර අමාවක පෝය

 සැප්තැම්බර් 25 ඉරිදා පූර්වභාග 03.13 අමාවක ලබා 26 සඳුදා පූර්වභාග 03.25 ගෙවේ.
25 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]