[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගත සිත නිරෝගී වන්න සීලය පුරුදු පුහුණු කරන්න

ගත සිත නිරෝගී වන්න සීලය පුරුදු පුහුණු කරන්න

සැවැත්නුවර තිස්ස නම් තෙර නමකගේ මුළු සිරුර පුරාම අබ ඇට මෙන් බිබිලි හටගෙන ඉමහත් සේ රෝගාතුර විය. පසුව එම බිබිලි වර්ධනය වී මුං, කඩල. දෙබර,නෙල්ලි, බෙලි පමණ වී ගෙඩි සිදුරු වී, වන වී පැලී ගොස් සැරව හා ලෙයින් සිරුර වේයන් කෑ පඬරැල් පතක් බඳු විය. එබැවින් උන්වහන්සේට පූතිගත (ගතෙහි ගෙඩි) යන නාමය එකතු විය.

තිස්ස තෙරණුවෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දවස දක්ෂ (කුරුලු) වැද්දෙකි. දිනපතාම බොහෝ කුරුල්ලන් අල්ලාගෙන මරා මස්වලට විකුණයි. පවුලේ ආහාරයට ගනියි. ඉතිරි පක්ෂීන්ට පියඹා නොයන ලෙස පියාපත් උගුල්වා අඩු – ඇට කඩා ඇස් අඳ කර තබා පසුදාට ද විකුණයි. අළෙවි කරයි. මේ අයුරින් දිවි ගෙවන ඔහුගේ නිවසට පිඬු පිණිස ගෙපිළිවෙලින් වැඩි රහතන් වහන්සේ නමක් දැක පැහැදී සතුටු වී සදැහැයෙන් ප්‍රඥාවෙන් දන් පූජා කර මම බොහෝ ප්‍රාණඝාත පව් කම් කළෙමි. මට මෙබඳු වූ පිනක්, කුසලයක් සිදු කර ගැනීමට ලැබීම මහත් වාසනාවකි. පින්කමකි. මෙම පුණ්‍ය කර්මයෙන් ඔබ ලත් උතුම් දහම ම මටත් මුදුන් පැමිණේ’වා යි පැතුවේ ය.

එම කරන ලද පව්කම්වල මහා විපාක හා සුළු පින්කමේ ආනිශංසය යහපත් ප්‍රතිඵල මේ ආත්ම භවයේ දී මේ ලෙස ලැබුණේ ය.

ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලුයම ලෝ වැසියන් දෙස බැලීමේ දී උන්වහන්සේගේ මහා කරුණාවට භික්ෂුව දක්නට ලැබිණ,

ආනන්ද හිමියන් සමඟ බුදුරජාණන් වහන්සේ ගිලානෝපස්ථානය සඳහා වැඩම කර ගිනිහල් ගෙට ගොස් වතුර උණුකර වැතිර සිටි ඇඳ පිටින් ම නේවාසික භික්ෂූන්ගේ උපකාරය, සහයෝගය ඇතිව නෑවීම, පවිත්‍රත්වය සිදු සිදුකළහ.

කයට ලැබුණ සුවතාව නිසා සසර පුරුදු ඉස්මතු වී කමටහන් මෙනෙහි කර භාවනා වඩා අනිත්‍ය (ඇතිව නැතිව යාම) දුක්ඛ (ඇති වීම, නැති වීම, පීඩා විදීම) අනාත්ම (නොපවත්නා බව) යන ත්‍රිලක්ෂණ ධර්ම අවබෝධයෙන් පූතිගත්ත තිස්ස හිමියෝ උත්තරීතර රහත් ඵලයට පත්වූහ.

එවිට බුදුරජාණන් වහන්සේ මේ සිරුර නොබෝ කලකින් වැඩකට නැති දරකඩක් මෙන් මහපොළොව මත්තෙහි වැතිරෙන්නේ' යි වදාළ සේක.

ගිලන් උපස්ථානය සිදු කිරීම තම තමන්ට ආත්ම කෝටි ගණන් නිරෝගී සැප උදාකර දෙයි. ආනිශංස ඇති කරයි.

සම්බුද්ධ ශාසනයේ වැඩසිටි අසූ මහා ශ්‍රාවකයින් වහන්සේ අතුරෙන් නිරෝගී සම්පත් ලැබූ භික්ෂූන් වහන්සේ බක්කුල මහ රහතන් වහන්සේ ය. උන්වහන්සේ බුද්ධ ශාසනවල අපමණ ලෙඩුන් නෑවීම්, කැවීම්, රැවුල් හිසකේ කැපීම්, ඇඳුම් පැළඳුම් සෝදාදීම් කටයුතු මෙන්ම අප්‍රමාණ සත්කාර සිදු කළහ. එපමණකින් නොනැවතී බුද්ධ ශාසනවල ත්‍රිවිධ චෛත්‍ය (වෙහෙර, බෝධිය, බුදු කුටිය) පිරිසුදු කරමින් සංවර්ධන කටයුතු මනාව සිදු කළහ. එපමණක් ද නොව වැසිකිළි කැසිකිළි මනා ලෙස පවිත්‍ර කළේ ය. මෙම සියලුම ක්‍රියාවන් සිදුකර එකම පැතුම සසර වසන තුරු නිවන් දකින තුරු නීරෝගී සම්පත් ලැබේවා' යනුවෙනි. ගෞතම සසුනේ වැඩ සිටි භික්ෂූන් අතර නිරෝගී සම්පන්නව අවුරුදු එකසිය හැටක් බක්කුල තෙරණුවෝ වැඩ සිටියහ.

මනුෂ්‍යයකුට තිබෙන වටිනාම ලාභය නිරෝගිකමයි. “ආරෝග්‍ය පරමාලාභා” යන දහම් පාඨයෙන් ඒ බව මැනවින් ප්‍රකට වේ. වර්තමාන මිනිස් සමාජය තුළ අසනීපයක් නොමැති කෙනෙක් සොයා ගැනීම බොහෝ සේ අපහසු ය. දෛනිකව ප්‍රතිකාරවලට එන පිරිස සහ නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිස අතිවිශාල වෙති. මෙයට ධර්මානුකූල උත්තරය වනුයේ පූර්ව භවයේ සහ මෙලොව දී කර ඇති ප්‍රාණඝාත හා සත්ව හිංසන යි.

මෙහිදී තවදුරටත් සම්බුදු දහමට අනුව දහම් කරුණු ගවේෂණය කිරීමේ දී බෞද්ධයාගේ නිත්‍ය සීලය වන පංචශීලයේ මුල්ම සිකපදය වන ප්‍රාණඝාතය – සත්ව හිංසනය බලවත් වූ අකසල කර්ම පථ වේ. අකුසල කර්ම පිළිබඳ මෙහිදි අන්ධ විශ්වාසයකට යා යුතු නොවේ. මහ මග ගමන් කිරීමේ දී , අතුපතු ගෑමේ දීි , විවිධ වු ක්‍රියාකාරකම් සිදු කිරීමේ දී පුංචි පුංචි කූරා කූඹින්, නොයෙක් වර්ගයේ සතුන් මැරී පෑගී යාමට ඉඩ තිබේ. කුඹුරට යන ගොවි මහත්මා කුඹුර කෙටීමේ දී පිඩැල්ලෙන් පිඩැල්ල පනුවන් කැපී මිය යයි. නමුත් සත්ව ඝාතනයක් සිදු නොවේ. බුදු දහමේ සඳහන් වන ආකාරයට චේතනාව කර්මයයි.

ප්‍රාණඝාත අකුසලයක් සිදු වීමට අංග 05ක් සම්පූර්ණ විය යුතු වෙයි.

එනම්,

පණ ඇති සතකු වීම, පණ ඇති බව දැන ගැනීම, මරණ චේතනාව, උපක්‍රම යෙදීම, ඝාතනය කිරීම

මෙම කරුණු පහ සම්පූර්ණ වීමේ දී ප්‍රාණඝාත අකුසල කර්මය සිදු වෙයි. සත්ව ඝාතන අකුසල කර්මය කෙතරම් බලවත් ද? කෙතරම් භයානක ද යන බවට ලෝවැඩ සඟරාවේ මනාව පිළිතුරු දෙයි.

පුරාණ කාලයෙහි ස්ත්‍රියක් එළු දෙනකගේ හිස සිඳීම හේතු කොට ගෙන මුළු ශරීරය ගිනි දැල්වලින් වෙළී අපා දුක් විඳ ඒ එළු දෙනගේ ලොම් ගණනින් ඉස් කැපීය. කවරකුටත් අකුසලයේ ස්වභාවය මේ ලෙස සිදු වන්නේ ය.

ප්‍රාණඝාත අකුසල කර්මය හේතුවෙන් උපනූපන් ආත්මවල අඩු ආයුෂවලට ගොදුරු වෙයි. ජන සමාජය දෙස බැලීමේ දී ඉපදීමටත් ප්‍රථම මව් කුස තුළ මිය යයි. ඉපදී මාසයෙන් අවුරුද්දෙන් වර්ෂ ගණනින් මිය යයි, මරණයට පත්වෙයි.

ආයුෂ අඩු වැඩි වන්නේ පෙර කළ සහ මෙලොව කරන ලද සත්ව ඝාතන සත්ව හිංසන අනුව ය. අකුසලයෙන් වැළකීම තුළ බොහෝ ආයුෂ ලබයි. වර්තමාන ජන සමාජය දෙස බැලීමේ දී පෙනී යන්නේ මිනිසා විසින් ම මිනිසා ඝාතනය කරන මහා දුක්බර අවස්ථාවන් ය.

සමහර පාපතර අසත්පුරුෂ මිනිසුන් අසරණ සුනඛයන්ට, බළලුන්ට, අමානුෂික ලෙස වද හිංසා කරන අයුරු දැකීමට පිළිවන.

සමහර අයගේ සත්ව කරුණාව සිය නිවසේ, ආයතනයේ හදන වඩන සතාට පමණි. නෑවීම්, කැවීම්, පෙවීම් හොඳට සත්කාර සැලකුම් මනාව දක්වයි. අන් සතුන්ට හිමි වන්නේ පොලු පහර,, ගල් පහර උණුවතුර යන අමානුෂික ක්‍රම වලින් ද්වේශයෙන් සංග්‍රහ කිරීමයි.

මේ ලෙස මුල් ශික්ෂා පදය ආරක්සා නොකිරීම තුළ මිනිසාට කෙටි ආයුෂ උරුම වීම මෙන්ම නොසිතූ නොපැතූ ලෙඩ දුක්, මහා බිහිසුණු විපත් උරුම වෙයි. ජීවත්වීමට ඇති පරමායුෂ කෙටි කරයි. නීරෝගී බව වෙනුවට රෝගී බව ඇති කරයි.

දිනක් මම ධර්ම දේශනාවකට වැඩිහිටි නිවාසයකට වැඩියෙමි. එහිදී එක් වයෝවෘද්ධ අම්මා කෙනෙක් සමඟ කතා කළෙමි. කණ්ණාඩියක් (උපැස් යුවලක්) වත් පැළඳීම, සැරයටි පාවිච්චිය, බෙහෙත් පාවිච්චිය, කිසිම දෙයක් නැත. නිරෝගී තැනැත්තියකි. හොඳ මානසික සුවයෙන් කටයුතු කරයි.

“අපේ හාමුදුරුවනේ, කුඩා කාලයේ සිටම කිසිම සතෙක් මරලා නැහැ. සතකුට ගහලා නෑ. හිංසා කරලත් නෑ. හැකි තරම් පින් කළා. සෑම පෝයකට ම සිල් සමාදන් වුණා. වන්දනා ගමන් ගියා. මේ සියලුම පින්කම් සිදු කර මා ප්‍රාර්ථනා කළේ. පැතුවේ, දීර්ඝායුෂ සැප හා නිරෝගී සැපයි” මේ එම මාතාවගේ සත්‍ය ප්‍රකාශයයි.

වර්තමාන මිනිස් සමාජය දෙස බැලීමේ දී පරාර්ථය ගැන සිතන, කටයුතු කරන පිරිස ඉතාමත් විරල ය. මේ ජීවිතයේ කාලා බීලා විනෝද වෙලා සිටීම ප්‍රමාණවත් බව සිතන අතර පරලොවක් ගැන සිතන පිරිස විරල ය. ඉඩමට, වැට මායිමට ආරවුල් කරන, නිවසකට යාමට පාරක් නොදෙන, තණ්හා බරිත සදාකාලිකව ම ජීවත්වීමට සිතන ක්‍රම රටාවක් මිනිස් සංහතිය තුළ දක්නට ඇත. සිය වස්තු සම්පත් නිසා අනුන් සමඟ ගැටී ජීවිත හානි කර ගනිමින් කටයුතු කිරිම නිසා මෙලොවත් පරලොවත් විනාශ මුඛයට ගොදුරු කර ගනී.

කෙතරම් මිළ මුදල් සම්පත් තිබුණ ද ධනය බලය, නිලය, උගත්කම් තිබුණ ද වර්තමානයේ ගෝලීය වශයෙන් ශීඝ්‍රයෙන් පැතිරී ගිය ජීවිත ලක්ෂ ගණනක් බිලිගත්, අති විශාල ගණනක් රෝගී කර වූ ලෝකයම ව්‍යසනයට පත් කරවූ මාරාන්තික කොරෝනා වෛරසය අතිශය බලපෑම් ඇති කළේ ය. මෙම කාල පරාසය තුළ මිනිස් සංහතියට ම ඇති කළ කඳුළු ඛේදවාචකය ඉතාමත් සෝචනීයයි. රජය – ආරක්ක අංශ, වෛද්‍ය අංශය, ස්වේච්ඡා සංවිධාන වෛරසය සම්බන්ධයෙන් ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගැනීම අගය කොට සැලකිය යුතු ය. පුණ්‍යානුමෝදනා කළ යුතුය.

මිනිස් ශරීරයේ ඇති ප්‍රධාන පංච ඉන්ද්‍රියන් වන ඇස, කණ, නාසය, දිව, ශරීරය පාලනය කරනුයේ, අරමුණුවලට යොමු කරනුයේ සිතේ මූලිකත්වයෙනි. එහෙයින් සිත පාලනය කර ගත යතු ය.

බිනර අමාවක පෝය

 සැප්තැම්බර් 25 ඉරිදා පූර්වභාග 03.13 අමාවක ලබා 26 සඳුදා පූර්වභාග 03.25 ගෙවේ.
25 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]