[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇසුරු කරන අය නිවැරැදිව හඳුනාගත යුතු ඇයි?

ඇසුරු කරන අය නිවැරැදිව හඳුනාගත යුතු ඇයි?

"වර්තමාන සමාජය තුළ වැඩි දෙනා ලාභ, කීර්ති, ප්‍රශංසා, ධනය, බලය ආදී කෙලෙස් ධර්මයන් ඔස්සේ දිවයාම නිසා කල්‍යාණ මිත්‍ර ඇසුර අහිමි කරගෙන ඇත"

දිනක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් මෙලෙස ඇසූහ. භාග්‍යවතුන් වහන්ස, මේ සම්බුද්ධ ශාසනය හරි අඩක් ම පවතින්නේ කල්‍යාණ මිත්‍රයා මත යි. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දුන්නේ මෙලෙසයි. ආනන්ද එහෙම කියන්න එපා. මේ සම්බුද්ධ ශාසනය පවතින්නේ සම්පූර්ණ කල්‍යාණ මිත්‍ර ඇසුර නිස යි.

මෙම පුංචි සංවාදයෙන් සියලුම ලෝකවාසී ශ්‍රාවකයින්ට වටිනා ගැඹුරු පණිවිඩයක් සන්නිවේදනය කරන්නේ ය. ඒ යහපත් දිවිපෙවෙතක් සංවර්ධනය කර ගැනීමට කල්‍යාණ මිත්‍රයාගේ මඟ පෙන්වීම අත්‍යවශ්‍ය බවයි.

අස්ථානයේ යෙදෙන පුද්ගලයා ඉන් මුදවාගෙන ස්ථානයෙහි තැබීමට වෙර දරන අවංක පුද්ගලයා කල්‍යාණ මිත්‍රයා යි. ඔහු හොඳ නරක, කළ යුතු නොකළ යුතු දෙය, කිවයුතු, නොකිය යුතු, නොසිතිය යුතු, සිතිය යුතු දෙය කියා දෙයි. එහෙත් හොඳ කල්‍යාණ මිත්‍රයා අවුරුදු ගණනාවක් ඇසුරු කළත් හඳුනාගත නොහැකි ස්වභාවයක් පවතී. එයට හේතුව වී ඇත්තේ බොහෝ දෙනා තම තමන්ගේ පටු අර්ථයන් සාධනය කර ගන්නා තුරු කල්‍යාණ මිත්‍ර ස්වරූපයෙන් රංගනයක යෙදෙන නිසයි.

අපගේ ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයා ලෙස හැඳින්විය හැක්කේ බුදුපියාණන් වහන්සේ ය. උන්වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ගඨීකාර සූත්‍රයේ සඳහන් අපූරු කථාවක් තුළින් කියැවෙන්නේ කල්‍යාණ මිත්‍රයාගේ උසස් ලක්ෂණයන් ය.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දවස ගඨීකාර සහ ජෝතිපාල යන දෙදෙනා හොඳම යාළුවෝ වූහ. ගඨීකාර දිනක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට යමුයි කියල යහළුවා වන ජෝතිපාලට යෝජනා කළා. නමුත් ඔහුගේ පිළිතුර වූයේ “වැඩක් නෑ. ඔය මුඩු මහණා බලන්න යාම” කියල යි. ගඨීකාර තම යහළුවා බුදුරජාණන් හමුවට එක්කරගෙන යාමට ගත් උස්සාහය අත හැරියේ නෑ. කීප වතාවක් කළ යෝජනා ප්‍රතික්ෂේප කළේ බුදුරජාණන් වහන්සේට අපහාස වන ලෙසට කතා කරමින් ය.

අවසානයේ ගඨීකාර ජෝතිපාලගේ කෙස්වැටියෙන් අල්ලාගෙන බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට යන ලෙසට බල කළේ ය. කෙසේ හෝ ජෝතිපාලගේ හිත බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට සුදුසු පරිදි සකස් විය. අවසානයේ ජෝතිපාල බුදුරජාණන් වහන්සේ ළඟ උතුම් පැවිද්ද ලබා ගැනීමට තරම් වාසනාවන්ත විය. ඒ යහළුවාගේ උදව් උපකාර නිසා ය. මෙසේ පැවිද්ද ලබා ගත්තේ මතු බුදුවීමට සිටින බෝධිසත්වයන් වහන්සේ ය.

මේ පුංචි කතාවෙන් කල්‍යාණ මිත්‍රයාගේ උතුම් ගුණාංගයක් ඉස්මතු වේ. හොඳින් හෝ නරකින් යමකුට යහපතක් සඳහා උදව් කිරීම කල්‍යාණ මිත්‍රයාගේ අපූරු ලක්ෂණයකි. නමුත් වැරැදි ලෙස පස්කම් සැපය සඳහා පමණක් උදව් උපකාර කරන පුද්ගලයා තමන්ගේ හොඳම මිත්‍රයා ලෙස දකින්නට බොහෝ දෙනා පෙළඹී සිටිති. එය වැරැදි බව තමන් දන්නවා නම් ඒ කෙනා ප්‍රඥාවන්තයෙක් බව ‘අනංගණ’ සූත්‍රයෙන් විග්‍රහ වේ.

‘බහුකාර’ සූත්‍ර දේශනාවෙන් සෝතාපන්න ඵල සමාපත්තිය සඳහා කල්‍යාණ මිත්‍ර ඇසුර අත්‍යවශ්‍ය බව පෙන්වා දී ඇත. ලෞකික දිවිය සැපතක් කර ගැනීමටත්, ලෝකෝත්තර දිවිය සැපවත් කර ගැනීම සඳහාත් කල්‍යාණ මිත්‍රයාගේ උදව් අවශ්‍ය වන බවත්, ඉන් තොරව යන ගමන දුක්ඛ සහගත බවත් බුදුපියාණන් වහන්සේ නොයෙක් විට දේශනා කළහ.

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආක්‍රෝෂ පරිභව කළ ඡන්න හාමුදුරුවන් වහන්සේට “භජේථ මිත්තෙ කල්‍යාණෙ, භජේථ පුරිසුත්තමේ' යනුවෙන් කල්‍යාණ මිත්‍රයන් ලෙස මහරහතන් වහන්සේ දෙනම ඇසුරු කරන්න කියල බුදුපියාණන් වහන්සේ ඡන්න හාමුදුරුවන්ට අවවාද කළහ.

කෝලිත උපතිස්ස යහළුවන් දෙදෙනා ධර්මය සොයා යන ගමනේ දී කතා කර ගත්තේ පළමුව ධර්මය මුණගැසුණු තැනැත්තා අනෙකා දැනුවත් කිරීමේ පොරොන්දුව මතයි. එය එසේ සිදුවූයේ කල්‍යාණ මිත්‍ර ධර්මයේ අගය පෙන්වා දෙමිනි.

විශේෂයෙන් බෞද්ධ ශ්‍රාවක පිරිස තුළ පවතින අන්තගාමී වූ අමූලික ශ්‍රද්ධාව නිසා පාපකාරී අසත්පුරුෂයින්ට රැවැටී ඔවුන් අනුගමනය කිරීමට උත්සාහ දරන ස්වභාවයක් පවතී. ලොකු දෙයක් බලාපොරොත්තුවෙන් පුංචි උදව්වක් කරන පුද්ගලයින් ද තමාගේ යටි අරමුණු ඉටු වන තෙක් දීර්ඝ කාලයක් කල්‍යාණ මිත්‍රයකු ලෙස ඇසුරු කරන පුද්ගලයින් ද, පාප කර්මවලට ඉතා සූක්ෂම ලෙස උදව් කරන්නන් ද, අතීතයෙන් සහ අනාගතයෙන් සංග්‍රහ කරන වචීපරම මිත්‍රයන් ද ආදී වශයෙන් ධර්මය තුළින් හඳුන්වා දී ඇති මෙවැනි පුද්ගලයින් හඳුනා ගත යුතු ය.

ඒ සඳහා නැණ නුවණ, වීර්යය, ශ්‍රද්ධාව තිබිය යුතු ය. හොඳ යැයි සම්මත කල්‍යාණ මිත්‍රයන් සමාජයෙන් ඉවත් කළ විට අතේ ඇඟිලි ගාණටත් අඩු පිරිසක් පමණි කල්‍යාණ මිතුරන් ලෙස හඳුනාගත හැකි වන්නේ. ඒ අය දුර ගෙවා ගෙන ගොස් හෝ මුණගැසී අවවාද අනුශාසනා ගැනීමට අප්‍රමාද විය යුතු ය. වර්තමාන සමාජය කෙලෙස් ගංගාවට වැටි අනුසෝතගාමීව පහළට ගසාගෙන යන මෙවන් අවධියක කල්‍යාණ මිත්‍රයා සිව්වනක් පිරිස තුළින් ද සොයා ගැනීම අතිදුෂ්කර ව්‍යායාමයක් වී ඇත.

පාපකාරී මිත්‍ර ඇසුර නිසා අජාසත්ත රජුට ආනන්තරීය පාප කර්මයක් කිරීමට ද සිදු විය. ගුරුවරයා අන්ධානුකරණයෙන් සරණ යන බොහෝ ශිෂ්‍යයන් එදත් අදත් නොමඟ ගිය අවස්ථා ඇත. අංගුලිමාල කතාවෙන් ගුරු සරණ ගිය සිසුවකු මිනීමරුවකු විය. ‘ගිරා පෝතක’ කතා වස්තුවෙන් ගෙන එන පණිවිඩයෙන් වටිනා ආදර්ශයක් සමාජයට සම්ප්‍රේ්ෂණය කෙරේ.

වර්තමාන සමාජය තුළ වැඩි දෙනා ලාභ, කීර්ති, ප්‍රශංසා, ධනය, බලය ආදී කෙලෙස් ධර්මයන් ඔස්සේ දිවයාම නිසා කල්‍යාණ මිත්‍ර ඇසුර අහිමි කරගෙන ඇත.

කල්‍යාණ මිත්‍රයා ගැනත්, අසත්පුරුෂයා ගැනත් බුදුපියාණන් වහන්සේ විසින් කළ දේශනා බොහෝ ඇත. පරාභව, මහාමංගල, කල්‍යාණමිත්ත, සප්පුරුෂ, බහුකාර ආදී වූ සූත්‍රවලින් සහ ධම්මපද පාලියේ එන බොහෝ ගාථා රත්නයන්ගෙන් ද කල්‍යාණ මිත්‍රයා සහ අසත්පුරුෂයා ගැන පැහැදිලි කර ඇත. මෙම දහම් පොත්පත් පරිශීලනය කරන බෞද්ධ පාඨකයින්ට ද, බුදු බණ දේශනාවන්ට සතියෙන් යුතුව සවන් දෙන ශ්‍රාවකයින්ට ද හොඳ කල්‍යාණ මිත්‍රයා හඳුනා ගත හැක. කල්‍යාණ මිත්‍ර ඇසුරකින් තොරව මෙම සංසාර ගමන නිමා කළ නොහැක.

රාග, ද්වේශ, මෝහ යන කෙලෙස් මළ ඉවත් කරගෙන අමා මහ නිර්වාණ සැපය ක්ෂාක්ෂාත් කර ගැනීමට වටිනා දුර්ලභ මනුෂ්‍ය උපතින් ප්‍රයෝජන ගත යුතු ව ඇත.

බිනර අමාවක පෝය

 සැප්තැම්බර් 25 ඉරිදා පූර්වභාග 03.13 අමාවක ලබා 26 සඳුදා පූර්වභාග 03.25 ගෙවේ.
25 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]