[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රාෙද්ශීය රජවරුන්ගේ සහය එළාර රජුට ලැබෙන්නේ නෑ

දුටුගැමුණු මහ රජතුමා 81 කොටස:

ප්‍රාදේශීය රජවරුන්ගේ සහය එළාර රජුට ලැබෙන්නේ නෑ

රජ ගෙදර ප්‍රධාන ශාලාව ප්‍රභූන්ගෙන් පිරී පැවතිණි. පිරිස සුව පහසු අසුන්වල හිඳ ගනිමින්, මිද යුෂ පානය කරමින් තමන්ගේ ප්‍රෞඪත්වය පළ කළහ. සතුටු සාමීචියෙහි යෙදී සිටි පිරිස මහ රජු ශාලාවට පිවිසෙත් ම නැඟී සිටියහ.

රජුගේ දකුණු පස අසුන් පෙළෙහි ජයනාථ සිටුතුමාත්, සමන්ති හා බෝධිනාග ද වූහ. ඉන්පසුව අභිකෘෂ්ණ රජකුමරියත් ඇගේ යෙහෙළයන් ද වූහ. රජ දියණිය අසළින්ම හිඳගෙන සිටියේ පංචකල්‍යාණියක වූ අමිතා සිටු දියණියයි. පැමිණ සිටි බොහෝ කාන්තාවන්ගේ ඇස් ඇය වෙත යොමු වී තිබිණි.

සක් හඬ, මඟුල් බෙර හඬ නැඟිණි. ඒ හඬත් සමඟ එඩිතර ගමනින් රජු වෙත පැමිණ රජ ඉදිරියේ සිටගත් දීඝාභය, දීඝජන්තු සහ සිරිනාග රජුට හිසනමා ආචාර කළහ. ඔවුහු රජුගේ වම්පසින් අසුන් ගත්හ. සක් හඬ සිහින් වී ගොස් නැවතිණි.

එළාර රජතුමා නැඟී සිටියේ ය. පුරාණ සිංහල රාජ සම්ප්‍රදායට අනුව අපේ වීර සෙබලුන්ට සම්මාන උපහාර පිදීම විශේෂ චාරිත්‍රයක්. අනුරාධපුර රාජධානියේ සිව් දෙසින් පැමිණි මෙම රාජකීය ප්‍රභූන් හමුවේ දැන් කෙරෙන්නේ වීර සෙන්පතිවරු තිදෙනෙක් හඳුන්වා දීමයි.”

“මේල්දේව මහ සෙන්පති මිය ගිය පසුව එම තනතුරට පත් වූයේ දීඝජන්තු. මගේ සියලු සේනාංකවල සංවිධානය කරන්නේ ඔහුයි. ඔහුට ඒ ගෞරවය හිමිවිය යුතුයි. සිංහල මහ සෙනෙවි මිත්‍ර මිය ගියා.ඔහු වෙනුවට යුද්ධ උපායෙහි දක්ෂයකු වූ සිරිනාග එම තනතුරට පත් කළා. දීඝාභය මහ සෙනෙවි කලින් සේවය කළේ කාවන්තිස්ස මහ රජුට. මහවැලි ගඟ ඉවුරේ තොටමුණුවල කඳවුරු සියල්ල අපට පවරමින් අප හා එක්වීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්.

“දුටුගැමුණු රජු, රජරට අල්ලා ගැනීමට අප සමඟ යුද්ධ කිරීමට දැන් මහියංගණයට පැමිණෙමින් සිටිනවා. ලක්ෂ සංඛ්‍යාත සේනාවක් සමඟ එන සිංහල රජු හා සේනාව මහවැලි ගඟින් මෙගොඩට එන්නට නොදී පලවා හැරීමට පෙරමුණ ගෙන සිටින මේ වීර සෙන්පතිවරුන් තිදෙනාට ඔබ සියලු දෙනා ඉදිරියේ උපහාර පිරිනැමීමටයි මේ සූදානම් වෙන්නේ.”

“විශේෂයෙන් සිරිනාග ගැන යමක් මෙහිදී ප්‍රකාශ කිරීම අපේ යුතුකමක්. ඉතා කෙටි කාලයක් තුළදී ඔහුගෙන් අපට සිදු වී ඇති සේවය අති විශාලයි. ඔහු අප වෙනුවෙන් අවදානම් කටයුත්තක යෙදුණා. දුටුගැමුණු රජුගේ සේනාවට සිවනාග නමින් බැඳී එහි යුද රහස් පරවියකු මඟින් අපට දන්වා එව්වා. සැකයට භාජනය වූ විට ඔහු මාගමින් පලා ආවේ ඔත්තු කරුවන් කිහිප දෙනෙකුන් සමඟයි. එමෙන්ම තිස්ස ගැමුණු යුද්ධයේ දී සිරිනාග විශේෂ සේවයක් කළා. තිස්ස කුමරුගේ සේනාව මෙහෙයවා දුටුගැමුණු රජු පරාජය කළා.”

තිස්ස කුමාරයාට ජය ලබා දුන්නා. එය ද අප ලැබූ විශේෂ ජයග්‍රහණයක්. නමුත් දෙවන අවස්ථාවේ “තිස්ස කුමාරයාට සහාය දෙන්නට දිගාමඩුල්ලට ගිය අවස්ථාවේ අපේම කෙනෙක් ඔත්තුවක් ලබා දීම නිසා සිරිනාග සතුරන් අතට පත්වුණා. මරණ දණ්ඩනයට ලක් වුණා. අපි ඔහු බේරා ගත්තේ සිරකඳවුරුවල සිටි සිරකරුවන් නිදහස් කරලා.”

මේ නිසා අද අපි සිරිනාගට විශේෂ සම්මානයක්, ත්‍යාගයක් පිරිනමනවා. දැන් අපි ඔහුට රන් කහවනු විසි දහසක මුදල් පසුම්බියක් සමඟ රන් කඩුවක් පිරිනමනවා. තවද වටිනා ගෘභ භාණ්ඩ කට්ටල පහක් ඔහුට අපේ භාණ්ඩාගාරයෙන් යවා තිබෙනවා. ඒ සමගම ඔහුට වීර මහ සෙන්පති අභිදානය ප්‍රදානය කරනවා.

එසේ කියූ රජතුමා සිරිනාග වෙත පැමිණ රත්රතන් කඩුව පිරිනැමුවේ ය. එය අතට ගත් සිරිනාග රජතුමාට හිස නමා ආචාර කළේ ය. ඉන්පසු මුදල් පසුම්බිය ද පිළිගන්වන ලදී.

“දැන් වීර සෙන්පති අභිදානය පිදෙන්නේ දීඝාභයටයි.” කියූ රජතුමා ඔහු වෙත ගොස් රන් කඩුවක් පිරිනැමීය. ඔහු ද කඩුව ගෙන රජතුමාට හිස නමා ආචාර කළේ ය. වීර සෙන්පති අභිදානයෙන් පිදුම් ලබන දීඝජන්තුටත් රන් කඩුවක් කියමින් දීඝජන්තු වෙත ගිය රජතුමා ඔහුට ද රන් කඩුවක් පිරිනැමීය. ඔහු ද හිස නමා රජුට ආචාර කළේ ය. සියලු දෙනා නැඟිට වීර සෙන්පතිවරුන්ට ආචාර කළහ.

බෝධිනාග මහියංගනයට ගොස් මහාසිව මාහිමිපාණන් වහන්සේත්, ත්‍රිපිටකතිස්ස මහතෙරුන් වහන්සේත් හමුවී සිරිනාගගෙන් ලබා ගත් සියලු යුද රහස් තොරතුරු පවසා සිටියේ ය. ඒ අනුව කළ යුතු කාර්යයන් පිළිබඳ උන්වහන්සේ ලබාදුන් උපදෙස් ද රැගෙන දින දෙකකට පසු ආපසු පැමිණියේ ය.

“දුටුගැමුණු රජතුමාට සහාය නොදුන්නත් ප්‍රාදේශීය රජවරුන් එළාර රජුට සහාය නොදක්වන බව ස්ථිරයි. මේ ස්ථාවරය ඇති කිරීම සඳහා එම රජවරුන් දැනුවත් කිරීමට පිණ්ඩපාතිකතිස්ස තෙරුන් වහන්සෛ් දැනටමත් චාරිකාව පටන් අරගෙන. බෝධිනාගටත් පුළුවන් උන්වහන්සේට අනුරාධපුරයට වැඩමකරන ලෙසට ආරාධනා කරන්න. මේ ගමනේ දී ම ආහාර ගබඩාවල තත්ත්වයත්, ඒවා යුද බිමට ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේද ගැනත් සොයා බලා යන්නට බෝධිනාගට පුළුවන් නම් හොඳයි.

“හොඳමයි මහා ස්වාමීන් වහන්ස, සිරිනාග තමන්ගෙන් දුටුගැමුණු රජතුමාට ඉටුවන සේවය ප්‍රමාණවත් නැතැයි පසුතැවීමෙන් සිටින්නේ.”

“සිරිනාගගෙන් සිදුවන සේවය හොඳටම ප්‍රමාණවත්. විජිතපුර බලකොටුව ජය ගැනීම සඳහා වඩාත් අවධානය යොමු කරන ලෙසට ඔහුට පවසන්න.” මහාසිව මාහිමියෝ කීහ.

බිනර අමාවක පෝය

 සැප්තැම්බර් 25 ඉරිදා පූර්වභාග 03.13 අමාවක ලබා 26 සඳුදා පූර්වභාග 03.25 ගෙවේ.
25 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]