[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රද්ධාව යනු ඇදහීම හෝ භක්තිය නොවේ

ශ්‍රද්ධාව යනු ඇදහීම හෝ භක්තිය නොවේ

ඌරුගමුවේ අස්සජී හිමි

බුදු සමයෙහි ශ්‍රද්ධාවට ඉතා වැදගත් තැනක් හිමි වෙයි. බෞද්ධ ජීවිතයකට පදනම වැටෙන්නේ ශ්‍රද්ධාව තුළිනු යි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය විෂයයෙහි මනා අවබෝධයකින් යුතුව පැහැදීමට පත්වීම “ශ්‍රද්ධාව“ ලෙස ඉතා සරලව හඳුන්වා දිය හැකි ය.

කසීභාරද්වාජ සූත්‍රය තුළින් ශ්‍රද්ධාව යනු කුමක්දැයි, ඉතා පැහැදිලිව විස්තර කෙරේ. කසීභාරද්වාජ සුප්‍රසිද්ධ බ්‍රාහ්මණ ගෝත්‍රිකයෙකි. එහෙත් ඔහු කෘෂි කර්මාන්තයෙන් ස්වකීය දිවි පෙවෙත රැක ගත්තෙකි. බමුණාගේ වප්මඟුල් දිනය දා බුදුරජාණන් වහන්සේ එම උළෙල පැවැති ස්ථානයට වැඩම කරවීම සුවිශේෂී සිද්ධියක් විය. කසීභාරද්වාජ සූත්‍රයෙහි අන්තර්ගත වන්නේ එහි දී බුදුරදුන් හා බමුණා අතර පැවැති සාකච්ඡාව යි.

පළමුව බමුණා බුදුරදුන්ට මෙසේ කීය. "භවත් ගෞතමයිනි, මම සී සාමි. වපුරමි. සී සා වපුරා වළඳමි. ඔබත් සී සා වපුරා වළඳනු මැනවි.” එවිට බුදුරජාණන් වහන්සේ “බමුණ මමත් සී සාමි. වපුරමි. වපුරා වළඳමි”යි, පිළිතුරු දුන්හ. නැවත බමුණා බුදුරදුන් අමතමින්

“භවත් ගෞතමයන්ගේ ගොවි උපකරණ මම නො දකිමි. අපට ගෞතමයන්ගේ එම උපකරණ මොනවාදැයි, වදාරනු මැනවැ’යි, කීය. එහි දී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ හ.

“මාගේ ශ්‍රද්ධාව බිජුවට යි. තපස වැසි දහර වෙයි. ප්‍රඥාව විය නඟුල් වෙයි. හිරිය (ලජ්ජාව) නගුලිස යි. සිත වියැරැහැන් වෙයි. සිහිය මාගේ හී වැල හා කෙවිටයි.”

තව දුරටත් බමුණාට කරුණු පහදා දුන් බුදුරදුන් මෙසේ ම විසින් කරන ලද සී සෑමෙහි අමාඵල තිබෙන බවත්, මෙම කෘෂිකර්මාන්තය කොට සී සා හැම දුකකින් ම මිදිය හැකි බවත් දේශනා කළහ.

මෙම දේශනාව මනා ලෙස වටහාගත් කසිභාරද්වාජ බමුණා තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත්ව පසුව පැවිදි උපසම්පදාව ද ලැබී ය.

සී සාන උපකරණ සියල්ල සම්පූර්ණ කර ගෙන සිටියත්, වැපිරීමට බීජ නොමැති නම් වගා කළ නො හැකි ය. වී වගාවේ මූලික පදනම බීජ වැපිරීම යි. අස්වැන්න ලැබෙනුයේ ඒ තුළිනු යි.

එසේම බෞද්ධ ජීවිතයේ මූලික පදනම ශ්‍රද්ධාව යි. ශ්‍රද්ධාව නොමැති නම් අන් කවර ගුණාංගයක් තිබුණ ද ප්‍රයෝජනයක් නොමැත. එබැවින් ශ්‍රද්ධාව බීජයකට උපමා කොට තිබේ. නිවන නමැති අස්වැන්න ලැබීමට නම් ශ්‍රද්ධාව නමැති බීජය අවශ්‍යම ය.

මැනවින් බුද්ධාදී තෙරුවන් ගුණ පිළිගැනීම, විශ්වාසය, ශ්‍රද්ධාව යි. සමහරු එදිනෙදා මෙම වචනය භාවිතයේ දී “සද්ධා” හෝ “ශ්‍රද්ධා” යන්න වෙනුවට “ශර්ධා” හෝ “සර්ධා” යනුවෙන් ව්‍යවහාර කරති. එහෙත් ඒවා වැරැදි යෙදුම් ය. එසේ ම තවත් සමහරු “ශ්‍රද්ධා භක්තිය පෙරදැරිව“ යන යෙදුමක් ද භාවිත කරති. එහෙත් යම් දෙයක් පිළිබඳ භක්තියක් හෙවත් ඇදහීමක් අවශ්‍ය වන්නේ දැකීමක් නොමැති වූ වි ය.

යමක් තේරුම් ගැනීමෙන් පසුව ඒ ගැන භක්තිය හෝ ඇදහීම පිළිබඳ අවශ්‍යතාවක් ඇති නො වේ. සරල උදාහරණයක් මඟින් මෙය පැහැදිලි කරන්නේ නම්, මා අත මැණිකක් තිබේ යැයි කිවහොත් එය ඔබට දැකිය හැකි වේ. එවිට භක්තිය හෝ ඇදහීම හෝ පිළිබඳ ගැටලුවක් ඇති නොවේ. එසේ වූයේ ප්‍රත්‍යක්ෂ ලෙස මැණික දක්නට ලැබුණු නිස යි.

ඇතැම් ආගමික ඉගැන්වීම්වල පදනම වන්නේ භක්තිය යි. එහෙත් බුදු සමයේ මුල්තැන ලැබෙන්නේ භක්තියට නොව අවබෝධයට යි. එබැවින් බුදු සමයේ ඉගැන්වෙන “ශ්‍රද්ධාව“ යන වචනය “භක්තිය”, “ඇදහීම” යන වචන හා සමාන නොවන බව වටහා ගත යුතු ය.

තව ද “අමූලිකා ශ්‍රද්ධා” හා “ආකාරවතී ශ්‍රද්ධා” ලෙස ශ්‍රද්ධාවේ කොටස් දෙකක් තිබේ. මින් තෙරුවන් කෙරෙහි නිවැරැදි අවබෝධයක් නොමැතිව ඇති කර ගන්නා ශ්‍රද්ධාව “අමූලිකා ශ්‍රද්ධා” ලෙසත්, හේතු යුක්ති සහිතව කරුණු දැන, දැක, ඇති කර ගන්නා පැහැදීම “ආකාරවතී ශ්‍රද්ධාව“ ලෙසත් විග්‍රහ කෙරේ. මේ අතර අමූලිකා ශ්‍රද්ධාව පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, එහි මුල්තැන ලබා දී ඇත්තේ අවබෝධයට වඩා විශ්වාසයට හා ඇදහීමට යි.

“මෙම ධර්ම කරුණු ගැන මම නො දනිමි. එහෙත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන අසීමිත පැහැදීම නිසා මම මෙම කරුණු පිළිගනිමි” යන අදහස තුළ ඇත්තේ එවන් ඇදහීමකි.

මෙය අන්ධයන්ගේ පෙරහරකට උපමා කොට තිබේ. එහි මුලින්, මැදින් හා අගින් යන්නේ අන්ධයින් ය. එකිනෙකා ගේ අත අල්ලාගෙන, එකිනෙකා පසුපස යන ඔවුන් අතුරෙන් මුලින්, මැදින් හෝ අගින් යන කවරකුටවත් පාර නොපෙනේ. මෙබඳු අවබෝධයෙන් තොර අන්ධානුකරණය බෞද්ධ ශ්‍රද්ධාව විෂයයෙහි කිසිසේත් ම අදාළ නොවේ.

මේ අනුව ශ්‍රද්ධාව අප ජීවිතයට මනා ආලෝකයක් කොටගෙන අප අපේක්ෂා කරන යහපත් අරමුණු වෙත ළඟාවීමට පහසු මඟක් සකසා ගත හැකි ය. එය අපගේ මෙලොව පරලොව ජීවිතයේ සාර්ථකත්වයට හේතු වේ. 

බිනර අමාවක පෝය

 සැප්තැම්බර් 25 ඉරිදා පූර්වභාග 03.13 අමාවක ලබා 26 සඳුදා පූර්වභාග 03.25 ගෙවේ.
25 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]