[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමාජය පිළිබඳ බෞද්ධ ආකල්පය නැවත සමාජ ගත කළ යුතු කාලයයි ...

සමාජය පිළිබඳ බෞද්ධ ආකල්පය නැවත සමාජ ගත කළ යුතු කාලයයි ...

උතුරු ඉන්දියාවේ තත්කාලීන සමාජය කෙරෙහි බුද්ධ ධර්මය බල පැවැත්වීමට පෙර බ්‍රාහ්මණ මත ගැන සුළු වුව ද හැඳින්වීමක් නැතිව සමාජය පිළිබඳ බෞද්ධ අදහස් තේරුම් ගැනීම අපහසු ය.

බුදුරජාණන් වහන්සේ ලොව පහළවන්නට ශත වර්ෂයකට හෝ දෙකකට පෙර බ්‍රාහ්මණ සමාජ ධර්ම බලපැවැත් වූ බව එකල ලියැවුණු උපනිශද් ග්‍රන්ථාශ්‍රයෙන් දත හැකි ය.

සමාජය අවසාන යුගය උදාවෙන අවධියේ දී බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය සහ ඊට පහළින් සිටි ශුද්‍රයින්ද වශයෙන් සලකා පන්ති හතරකට බෙදිණි. ශුද්‍රයින් ලෙස සලකන ලද්දේ දාස ගණයට අයත් ජනයා ය. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණ වංශය ද, දෙබාහුවෙන් ක්ෂත්‍රිය වංශය ද, කළවා යුග්මයෙන් වෛශ්‍ය වංශය ද, දෙපතුළින් ශුද්‍ර වංශය ද මවන ලද බව ඉගැන්වේ.

මෙයින් පැහැදිලි වන්නේ සමාජ සංවිධානය සහ කුල ක්‍රමය ඇති වූයේ මහා බ්‍රහ්මයාගේ ආඥාවට අනුව බව ය. මේ නිසා සමාජයේ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධය ඔවුන් තේරුම් ගත්තේ මිනිසුන් හා දෙවියන් අතර ඇති සම්බන්ධයක් ලෙස ය.

මෙම මූලික බ්‍රහ්මවාදී ධර්මය පදනම් කොට වර්ණාශ්‍රම ධර්මවාදය හා ස්වධර්මවාදය ඇති වූ බව කිව යුතු ය. මෙයින් වර්ණාශ්‍රමවාදී ධර්මය පුද්ගලයා උත්පත්තියේ සිට මරණය දක්වා ම වෙනස් කළ නොහැකි ආගමික සාමාජික නියමයකට යටත් කර තැබීම උගන්වයි.

ස්වධර්මවාදය ගොඩනැඟී ඇත්තේ කෙනකුගේ ලේ ධාතුව මෙන් ම සංස්කෘතිය ද ප්‍රවේණිකව හිමි වන්නේ ය යන හින්දු විශ්වාසය මුල්කර ගෙන ය. ඒ අනුව පොදු ජනයා සිය ජීවිතාන්තය දක්වාම බැඳතබා ගැනීම ආශ්‍රම ධර්ම තුළින් ඉටු වී ඇත.

බුදුසමයේ උදාවත් සමඟ ම ප්‍රවේණි අයිතිවාසිකම් සතුව ගොඩනඟා තිබූ බ්‍රාහ්මණ බලය ක්‍රමයෙන් වෙනස් වන්නට විය. නමුත් රජුගේ බලය ඔහු විසින් මෙහෙය වන ලද ධර්මය හෙවත් නීතිය බමුණු බලය මත පැවැතුණි.

මෙසේ ස්ථාවර ව තිබුණු බ්‍රාහ්මණ සමාජ සංවිධානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බුදුහිමියන් දැරූ උත්සාහය විස්මය ජනකය. එදා සමාජයේ පැන නැඟුණු නානාවිධ සාමාජික ප්‍රශ්න නිරාකරණය කිරීමට බුදුරජාණන් වහන්සේ අනුගමනය කළේ ඥාන මාර්ගයයි.

රජවරු, සිටුවරු බමුණන් මෙන්ම සාමාන්‍ය ජනයා ද තම ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට, විසඳුම් ලබා ගැනීමට, බුදුරදුන් හමුවට ගිය බව පෙනේ. ස්වභාවිකත්වයෙන් පරිබාහිර වූ දෙවියකුට ධර්මය සම්බන්ධ කිරීම ගැන බුදුරජාණන් වහන්සේ විරුද්ධ වූහ. තමන් වහන්සේ හමුවට ගෙනෙන සෑම ප්‍රශ්නයක් දෙසම යථාභූත ඥානයෙන් බලා විසඳුම් දුන් බව පැහැදිලි කරුණකි.

සමාජය මූලික වශයෙන් කුලවාදය පදනම් කර ගොඩනැඟී ඇති බවත්, එය වෙනස් කළ නොහැකි බවත් බ්‍රාහ්මණ දහමින් පෙන්වයි. එහෙත් එය සමාජයේ ගති පැවැතුම් හා විශ්වාස සම්බන්ධ වූ තාවකාලික බෙදීමක් හැටියට බුදුරදුන් සැලකූ සේක. යුද්ධයක දී ක්ෂත්‍රිය කුලයක අය පමණක් නොව යුද පුහුණුව ලැබූ කවර හෝ කුලයකට අයත් තරුණයන් වුව ද යුද්ධ හමුදාවට බඳවා ගන්නා බව තමන් වෙතට පැමිණි කොසොල් රජුට පෙන්වූහ. පහත් කුලවලට අයත් තැනැත්තකු වුව ද ධනවත් නම්, උසස් කුලවල අය පවා තමා යටතේ තබා ගැනීමට තරම් ශක්තිමත් වන බව මධුර සූත්‍රයේ දී පෙන්වා දෙයි.

ඒ අනුව උස් පහත්කම් රැඳෙන්නේ ධනය උඩ ය. සංසාරයේ දී කළ පාප කර්ම නිසා ද, කෙනකු පහත් කුලයක ඉපදිය හැකි බව බුදුහිමියන් පිළිගත් නමුත්, කුලය උත්පත්තියෙන් ලැබෙන වෙනස් කළ නොහැකි දෙයක් නොවන බව උන්වහන්සේ පැහැදිලි කළ සේක. කෙනකුගේ කුලය සෙවීමේ දී පසුගිය උපතේ දී කළ කර්මයට වඩා මෙම උත්පත්තියේ දී කරන කර්මය වැදගත් බව පෙන්වා දුන්හ.

මිනිසාගේ මෙලොව ජීවිතය දෙවියකුගේ නිර්මාණයක් බව “ඉස්සර නිම්මිත හේතු” වාදය ද, මිනිසා විඳින සැප දුක් හේතුවක් නැතිව අහම්බෙන් සිදුවේය යන “අහේතු අප්පච්ච” වාදය ද, සැප - දුක් සියල්ල ම පෙර කරන ලද හොඳ හෝ නරක කර්මයන් අනුව සිදුවේ ය යන පුබ්බේකත හේතුවාදය ද” යන මේ වාදත්‍රමය බුදුරදහු නොපිළිගත්හ.

සමාජය පිළිබඳ බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කළේ නවීන පරිණාමවාදයට අනුකූලව ය. ප්‍රවාද කතාවක ස්වරූපයෙන් සමාජ පරිණාමය වී ඇති අයුරු දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ දී පෙන්වා දී ඇත.

පෘථිවිය ඇතිවීමෙන් පසු අනුක්‍රමයෙන් පහත් පැළෑටි වර්ග හා වෘක්ෂලතාදියත් ඇතිවී අනතුරුව ධාන්‍ය වර්ගවල ව්‍යාප්තියත් නිසා කෘෂිකර්මය ද මිනිස් සමාජය ද ගොඩනැඟුණ බව එහිදී පෙන්වයි.

මිනිස් කණ්ඩායම් ඇතිවීමට පසුව ආහාර රැස් කිරීම ද, පුද්ගලයන් අතර ඉඩම් බෙදා ගැනීම ද, මායිම් නියම කිරීමද ආරම්භ වීම නිසා දේපොළ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න ද පැන නැඟිණි.

තෘෂ්ණාධික පුද්ගලයන් අනෙකකු සතු දේපොළ සොරා ගැනීමට ද උත්සාහ ගනියි. වාද භේද සහ අයුක්තිය දනවන ක්‍රියාවන් නිසා පාලකයකුගේ අවශ්‍යතාව ඇතිවෙයි. යුක්තිය ඉටුවනු දැකීමට කැමැති මිනිස්සු ජන සම්මත පාලකයකු තෝරාගෙන ඔහුට අවනතව, නිත්‍යානුකූල දැහැමි ජීවිතයක් ගත කිරීමට පෙළඹෙති. කෙත්වතු ඉඩකඩම් පිළිබඳ, නීතිරීති ක්‍රියාත්මක කිරීමට අයිතිය ඔහුට ඇත. එහෙයින් ධර්මානුකූලව පාලනය කෙරෙන ක්ෂත්‍රිය පරපුරක් ගොඩනැඟෙයි.

පවතින සමාජයේ දුසිරිත් හා අපරාධ නිසා සමහරු සමාජය කෙරෙහි කලකිරී වනගතව තපස් රකිති. “බ්‍රාහ්මණ” වූයේ මේ කොටසයි.

නොයෙක් කර්මාන්තවල යෙදී ගෘහ ජීවිත ගත කරන්නෝ වෛශ්‍ය ගණයට අයත් වූහ.

එතරම් පුහුණුවක් නොවූ සුළු සුළු කර්මාන්තවල යෙදුණු අය ශුද්‍ර ගණයට අයත් වූහ.

සමාජයේ අභිවෘද්ධියට අදාළ වූ, ධර්මයට ප්‍රතිවිරුද්ධ වූ, එහි පැවැත්මට හිතකර වූ සමාජ ගුණ ධර්ම ක්‍රමයෙන් දියුණු වී ගිය අයුරු එම සූත්‍රයේ සඳහන් ව ඇත.

සමාජ ගුණ ධර්මයන්ගේ ඇතිවීම හා නැතිවීම පිළිබඳ ආර්ථික හා වෙනත් සාධක බලපාන බව චක්ඛවත්ති සීහනාද සූත්‍රයේ දී පෙන්වා දුන්හ.

සමාජ සංවිධානය ක්‍රියාකාරී පදනමක් මත ගොඩනැඟෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය අනුව බවයි වාසෙට්ඨ සූත්‍රයේ අවධාරණය වී ඇත්තේ.

වනයට වැදී ගිනි දෙවියන් පිදීම නියම ආධ්‍යාත්මික ජීවිතයක් නොවන බව දීඝනිකායේ අම්බට්ඨ සූත්‍රයේ දී පෙන්වා දෙයි. සමාජය පිළිබඳ බමුණන් ඉදිරිපත් කළ කුලවාදී මතය වෙනස් කළ හැකි බවත්, ක්ෂත්‍රිය, වෛශ්‍ය හා ශුද්‍ර කුලවලට අයත් තැනැත්තකු ගිහි ජීවිතය අතහැර ආගමික ජීවිතයක් ගත කිරීම සඳහා අනගාරික තත්ත්වයට පත් වූ විට කුලයෙන් තමන්ට ලැබෙන තත්ත්වය අවසන් වන බව ද බුදුරදහු පෙන්වා දුන්හ.

ඇතැම් යුගයක සමාජ ගුණ ධර්ම පිරිහෙන බවත්, අනතුරුව උදාවෙන යුගයේ දී සමාජ ගුණ ධර්ම නැවතත් අනුක්‍රමයෙන් වැඩෙන බවත් බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ ය. අටලෝ දහමට අනුව සමාජය චක්‍රාකාරයෙන් කවදත් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන්හ.

සමාජයේ ජනයා දිළිඳු බවේ ගිලෙන විට ඔවුන්ගේ කායික මානසික ශක්තිය පරිහානියට පත්වේ. එවිට තමන්ට එන ජීවන ගැටලුවලට මුහුණ දීමට නොහැකි ය. එබඳු අවස්ථාවල සාධු සම්මත සමාජ ගුණ ධර්ම ගැන නොසලකා හැරීම ස්වභාවික ය. එසේම කවර හෝ ක්‍රමයකින් ධනය උපයා ගෙන ජීවත් වීමට මිනිසා පෙළඹෙන බව චක්ඛවත්ති සීහනාද සූත්‍රයේ දී පෙන්වා දුන්හ.

බුදුදහමට අනුව සමාජය වශයෙන් සැලකෙන්නේ ලෝකයේ වසන මිනිස් සංහතිය පමණක් නොවන බවත්, කවර මොහොතක් හෝ මෙලොව වසන සියලුම පණැතියන් සමාජය හැටිය සලකන බවත් ය. මෙත්තා, කරුණා, මුදිතා, අනුකම්පා, අනුද්දය හා අහිංසා යන සමාජ ගුණ ධර්මයන්ගෙන් පැහැදිලි වන්නේ ද බුදුරජාණන් වහන්සේ සමාජය ලෙස මුළු සත්ත්ව සංහතියම ගෙන සැලකූ බව ය.

බිනර අමාවක පෝය

 සැප්තැම්බර් 25 ඉරිදා පූර්වභාග 03.13 අමාවක ලබා 26 සඳුදා පූර්වභාග 03.25 ගෙවේ.
25 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]