[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අකීකරු වීමේ අවසානය අනුවේදනීයයි

අකීකරු වීමේ අවසානය අනුවේදනීයයි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නභජෙ පාපකෙ මිත්තෙ
නභජෙ පුරිසාධමෙ
භජෙථ මිත්තෙ කල්‍යාණෙ
භජෙථ පුරිසුත්තමෙ

(ධම්මපද පණ්ඩිත වග්ග)

ආශ්‍රය පුද්ගලයාගේ අභිවෘද්ධියට හෝ පරාභවයට හෝ හේතුවන ප්‍රබල කරුණක් වන අයුරු බුදුදහමේ විවිධ අවස්ථාවල විවරණය වෙන්නක්. සත්තිගුම්බ වැනි ජාතක කථාවල එන ගිරවුන් දෙන්නා ගැන කථාව කුඩා කල ම අප ඉගෙන ගත්තේ සත්පුරුෂයන් හා අසත්පුරුෂයන් හඳුනා ගැනීම සඳහායි.

දේවදත්ත වැනි පාපකාරි මිත්‍රයකුගේ ආශ්‍රය නිසා අජාසත්ත වැනි දරුවන් පියා මරවන්නටත්, බුදුන් මරවන්නටත්, නාලාගිරි හස්තියා මෙහෙයවන්නටත් ක්‍රියා කළ බව අප දන්නවා.

සිඟාලෝවාද සූත්‍රයේ පැහැදිලිව ම ඇසුරු කළ යුතු හා නොකළ යුතු මිත්‍රයන් පිළිබඳත්, ඔවුන්ගේ ආශ්‍රයට එක් වීමෙන් ඇතිවන ආදීනව ගැනත් එහි විස්තර කෙරෙනවා.

ධම්මපදයේ විවිධ අවස්ථාවල ආශ්‍රය සම්බන්ධ ව වැදගත් දේශනා ඉදිරිපත් ව තිබෙනවා. බාල වග්ගය හා පාප වග්ගය පුරාම අපට හමු වන්නේ කල්‍යාණ මිත්‍රයන් හා පාප මිත්‍රයන් හඳුනා ගන්නා හැටියි.

මේ හැර පණ්ඩිත වග්ගයේ ද ඊට අදාළ කරුණු රාශියක් ම විවරණය කෙරෙනවා. මාතෘකාවෙහි දැක්වෙන ගාථාව ඉන් එකක්.

එයට අනුව,

නභජෙ පාපකෙ මිත්තේ

මත්පැන් බොමින්, සූදුවෙහි හා පංච දුශ්චරිතයෙහි ම ඇලෙමින්, අකුසල් සිදුකර ගන්නා පවිටු මිතුරන් ඇසුරට නොගන්න.

නභජෙ පුරිසාධමෙ

සැහැසිකම් කරන, ගෙවල් බිඳින, මං පහරන දරුණු අධම පුරුෂයන් ඇසුරු නොකරන්න

භජෙථ මිත්තෙ කල්‍යාණෙ

අන්‍යයන්ගේ දුකේ දී කරුණාවෙන් පිහිට වෙන, කුසලයෙහි ම ඇලුණු, කලණ මිතුරන් ඇසුරු කරන්න.

භජෙථ පුරිසුත්තමෙ

ලොවට සෙත සැලසූ බුදුරදුන් ප්‍රධාන කොට ඇති ආර්ය ශ්‍රාවකයන් සහ අන්‍යයන්ගේ යහපත සලසන, දැහැමින් ජීවිත ගත කරන්නා වූ අය උත්තම මිනිසුන් ය. ඔවුන් ආශ්‍රයට ගන්න.

මේ අනුව ආශ්‍රයට සුදුසු පුද්ගලයා කවරෙක් දැයි ඔබට ඉතා පහසුවෙන් තෝරා ගන්න පුළුවන්. පාපකාරී අධමයන්ගෙන් මිදී උත්තම කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුරට පත් වීමෙන් සිත නිදහස් කර ගන්නට ඉඩ ලැබෙනවා.

වර්තමාන සමාජයේ බොහෝ දෙනා තැවෙමින් ජීවත් වන්නේ පව්කාර මිත්‍රයන්ගේ මඟ පෙන්වීමෙන් වැරැද්දට පෙළඹීම නිසයි. සිරගෙදර සිර කුටිවල සිරබත් කන සිරකරුවන් තමන් ඇසුරු කළ පව්කාර මිත්‍රයන් සිහි කර පසුතැවිලි වෙනවා. මරණ දඬුවමට නියම වූ කෙනකුගේ මරණ දිනයෙහි වැලිකඩ සිරගෙදරට වැඩම කළ කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමියන් ළඟ වැඳ වැටුණු මරණකරුගේ අදහස් සනත් නන්දසිරි ගීතයකට නඟා ගායනා කරනවා. එහි එක් තැනෙක මෙසේ දැක්වෙනවා.

අනේ ස්වාමිනි මා ගෙලලන්නට

ඉඩ නම් දෙන්න එපා

ගෙල වැලලූවොත් මගෙ මළ කඳ

අම්මට පෙන්නන්න එපා

ඇති දා ළඟ උන් මිතුරන් මතු

සසරෙදි හමුවන්න එපා

නැති දා ළඟ උන් බුදු අම්මේ ඔබ

දුක් ගිනි ගන්න එපා

නොදැන කෙරුවත් වරද වරද ම යි

නැත කිසි දිනෙක සමා

මරණයෙ දොරකඩ සිට ඔබ පා යුග

සිඹ සමු ගනිමි මෙමා

මේ සිරකරුවාගේ පාපොච්චාරණය අපට කියා පාන්නේ පාප මිත්‍රයන්ගේ ආශ්‍රයේ බියකරු බවයි. ඇතිදා පාප මිත්‍රයන් ළඟට එයි. එහෙත් නැතිදා ඒ පාප මිත්‍රයන් කිසිවකුගේ පිහිටක් නොලැබෙන බවත්, පෝරකය හමුවේ පවා අම්මා අත් නොහැර ම සිටි බවත් මෙහි කියැවෙනවා.

අම්මලාගේ, තාත්තලාගේ ඇස්වලට වැලි ගසා වැරැදි ගමන් බිමන් ගොස් වැනසෙන අයට සනත් නන්දසිරි ගයන මේ ගීතය අනුවේදනීය පණිවිඩයක් රැගෙන එනවා.

එබැවින් බුදුහිමියන් දෙසූ උක්ත ගාථාව අද දවසට හොඳ පණිවිඩයක් අපට ගෙනෙනවා. මේ ගාථාව දේශනා කරන්නට පුංචි හේතුවකුත් තිබුණා. මේ ගාථාව දේශනා කළේ ඡන්න හිමියන් මුල්කරගෙන.

බුදුරජාණන් වහන්සේගේ ගිහි කල මිත්‍රයා වූ ඡන්න බුදු සසුනේ පැවිදි වුව ද ක්‍රියා කළේ දඩබ්බරයකු ලෙස ය. එනම් තමා බුදුරජාණන් වහන්සේගේ පරණ ම මිත්‍රයා බවත්, සියල්ලන්ට වඩා තමන්ට විශේෂත්වයක් ලැබිය යුතු බවත් පිරිස් හමුවේ කියා සිටින්න පටන් ගත්තා. විශේෂයෙන් සැරියුත් මුගලන් දෙනමට නිතරම නිග්‍රහ කරන්න පටන් ගත්තා. බුදුහිමියන් තුන්වරක් ම ඡන්න තෙරුන් කැඳවා හික්මවන්න උත්සාහ කළත් එයින් ප්‍රතිඵලයක් වූයේ නැහැ.

අවසානයේ දී ඡන්න තෙරුන්ට බුදු හිමියන් බ්‍රහ්ම දණ්ඩනය නියම කළා. එනම් කිසිවකු කථා බහ නොකර, කොන් කර තැබිය යුතු බවයි. බ්‍රහ්ම දණ්ඩනය පැනවූ දවසෙහි ඡන්න හිමියන් තුන් වරක් ම සිහිසුන් ව බිම ඇද වැටුණා.

තමා මරා නොදමන්නැයි ඉල්ලා සිටියා. එයින් කීකරු බවට පත්වූ ඡන්න තෙරුන් රහත් බවට පත්වූවා. ඒ මොහොතේ බුදුහිමියන් පවිටු මිතුරන් හා අධම මිනිසුන් ඇසුරු නොකළ යුතු බවත්, කලණ මිතුරන් හා උතුම් පුරුෂයන් ආශ්‍රය කළ යුතු බවත් වදාළා.

මේ කථාව අදටත් ඉතාම වටිනවා. කාටවත් පාලනය කරන්න බැරි මහ අකීකරු පිරිස් ඔබ සමාජයේ නිතර ම හමු වෙනවා නේද? ඔවුන්ට දිය යුතු හොඳම දඬුවම “බ්‍රහ්ම දණ්ඩනය” පැණවීමයි. එවිට ඔවුන් නිවැරැදි කර ගත හැකි වෙනවා.

එමෙන් ම මේ කථාව හා එහි අවසානයේ දෙන ධර්ම උපදේශය මවුපියන් තදින් සිතට ගත යුතු වෙනවා.

තමන්ගේ දරුවන් ආශ්‍රය කරන්නේ කවරෙක් දැයි සොයා බලන්න. පාපකාරී මිත්‍රයකුගේ ඇසුරට ගොස් වැනසුනාට පසු කම්පා වී පලක් නැහැ. වරක් මහනුවර ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකුගේ නිවසක් බිඳ පහළොස් ලක්ෂයක බඩු සොරකම් කර තිබුණා.

තංගල්ලේ වෙරළ අසල සිටි විදේශීය යුවලකගේ පිරිමියා අල්ලා ගස් බැඳ තරුණිය කෙලෙසා දමා තිබුණා. එතැන පාසල් සිසුන් දෙදෙනකුත් සිටියා. මේ දරුවන්ගේ මව්පියන් සිටියේ කොහිද? දරුවන් ඇසුරු කළේ කවුදැයි සොයන්නට ඔවුන්ට යන්න වුනේ බන්ධනාගාරයටයි. මේ ගැන සිතන්න ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා. 

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]