[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතයගිලිහී යන්නට පෙර ...

ජීවිතයගිලිහී යන්නට පෙර ...

එක්තරා අවස්ථාවක කොසොල් රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඒ ආවේ රාජ සීමාව තවත් පළල් කර ගන්න පිරිසක් යවලා. රජතුමා මේ කාරණය බුදුරජාණන් වහන්සේට පැවසූ වෙලාවේ උන්වහන්සේ අහනවා,

‘‘රජතුමනි, ඔන්න හතර දිශාවෙන් ඔබට විශ්වාසවන්ත ඔත්තුකාරයෝ හතර දෙනෙක් එනවා. ඇවිල්ලා කියනවා

‘මහ රජතුමනි, හරි වැඩේනේ උතුරු දිශාවෙන් මහා විශාල ගල්පර්වතයක් රෝල්වෙවී එනවා.

’ඊළඟ එක්කෙනා ඇවිදින් කියනවා‘නැඟෙනහිරිනුත් පර්වතයක් පෙරළීගෙන එනවා.’

ඒ එක්කම බටහිරින් කෙනෙක් ඇවිල්ලා කියනවා‘රජතුමනි, බටහිර දිශාවෙනුත් පර්වතයක් පෙරළීගෙන එනවා‍

’දකුණින් තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා රජතුමනි, බේරෙන්න විදිහක් නෑ. දකුණිනුත් පර්වතයක් පෙරළීගෙන එනවා,’කියලා. රජතුමනි, මේ විදිහට පණිවිඩ හතරක් ආවොත් ඔබ මොකද කරන්නේ?”

‘‘භාග්‍යවතුන් වහන්ස, මට ඒ වෙලාවට කරන්න තියෙන්නේ ධර්මය සිහිකිරීමයි. ධර්මයේ හැසිරීමයි විතරයි.”

‘‘රජතුමනි, ඒ වගේම උපන් සත්වයාට ජරා, මරණ දෙක තමයි තියෙන්නේ. වෙන මුකුත් නෑ.”

හැබැයි අන්තිමට රජතුමාට මැරෙන්න වුණෙත් මහපාරේ. සීත කාලයේ අම්බලමක දාසියකගේ ඔඩොක්කුවේ තමයි මැරෙන්න වුණේ. ඉතින් මේ නිසා අපි මේ සංසාර ගමනක ඇවිදින් මනුස්ස ජීවිතයක් ලබා ගෙන තියෙන සුළු කාලයේ මේ මනුස්ස ජීවිතය ගිලිහෙන්න කලින් අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි ඇති පැහැදීම දියුණු කර ගන්න ඕන.

අපට ලැබුණු දුර්ලභ දෙයක් තමයි සීලය. ඒ කියන්නේ යම් මනුස්සයෙක් සතුන් මැරීමෙන් වැළකිලා, සොරකම් කිරීමෙන් වැළකිලා, වැරැදි කාමසේවනයෙන් වැළකිලා, බොරුවෙන් වැළකිලා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිලා ඉන්නවා කියලා කියන්නේ ඒ මනුස්සයාගේ ජීවිතය යහපත් කියන එකයි. ඔබ පසළොස්වක පොහොය දවසට ඒ සිල්වත්කම ඉහළ මට්ටමකට ගන්නවා. එදාට ඔබ සීලය සුරකින්නේ රහතන් වහන්සේ අනුගමනය කොට.

නමුත් බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කරලා නෑ, බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්න කියලා, දේශනා කරලා තියෙන්නේ පොහොය දවසට රහතන් වහන්සේ අනුගමනය කරන්න කියලයි. මොකද, බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්න බැරි බව උන්වහන්සේ දන්නවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කළේ රහතන් වහන්සේ අනුගමනය කරන්න කියලයි.

බුදුරජාණන් වහන්සේ විශාකා උපෝසථ’ සූත‍‍්‍රයේ ඒ බව විශාකාවට දේශනා කළා.

ඒ උපෝසථ සීලයේ විශේෂත්වය තමයි උපෝසථය සමාදන් වෙන වෙලාවට රහතන් වහන්සේ සිහිකරනවා. රහතන් වහන්සේ සතුන් මැරීමෙන් වැළකී සිටියා. ඒ නිසා අද පොහොය දවසේ මමත් සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා.

රහතන් වහන්සේ සොරකම් කළේ නෑ. අද පොහොය දවසේ මමත් රහතන් වහන්සේ සිහි කර ගෙන සොරකමින් වැළකී සිටිනවා.

රහතන් වහන්සේ බ‍‍්‍රහ්මචාරීව වැඩ සිටියා. ඒ රහතන් වහන්සේ අනුගමනය කොට මමත් අද පොහොය දවසේ බ‍‍්‍රහ්මචාරී ව වාසය කරනවා.

රහතන් වහන්සේ බොරු කිව්වේ නෑ. ඒ නිසා මමත් රහතන් වහන්සේ අනුගමනය කොට අද පුන් පොහෝ දවසේ බොරු කීමෙන් වැළකී සිටිනවා. රහතන් වහන්සේ මත්පැන් මත්ද්‍රව්‍ය පරිහරණය කළේ නෑ. ඒ නිසා මමත් රහතන් වහන්සේ අනුගමනය කරලා අද මත්පැන්, මත්ද්‍රව්‍ය පරිහරණය කරන්නේ නෑ. රහතන් වහන්සේ ඉර අවරට ගියාට පස්සේ ආහාර වැළඳුවේ නෑ. මමත් අද ඉර අවරට ගියාට පස්සේ ආහාර වළඳන්නේ නෑ. රහතන් වහන්සේ දිවි තිබෙන තුරු , මල්, සුවඳ විලවුන් ආදිය පරිහරණය කළේ නෑ. මමත් අද ඒ දේවල් පරිහරණය කරන්නේ නෑ.

රහතන් වහන්සේ විකාර දේ නරඹන්න ගියේ නෑ. මමත් අද විකාර දේ නරඹන්න යන්නේ නෑ.

රහතන් වහන්සේ විසිතුරු වස්ත‍‍්‍රාභරණවලින් සැරසුණේ නෑ. මමත් අද දවසේ විසිතුරු වස්ත‍‍්‍රාභරණවලින් සැරසෙන්නේ නෑ.

රහතන් වහන්සේ වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණය කළේ නෑ. මමත් අද වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණය කරන්නේ නෑ’කියලා උතුම් සීලයක හික්මෙනවා.

මේ විදිහට අපිත් උපෝසථ දවසට අටසිල් ආරක්ෂා කරන්න ඕන. අනෙකුත් සෑම දිනකම පංච ශීලය ආරක්ෂා කර ගන්න ඕන. ශ‍‍්‍රද්ධාව ඇති කරගෙන සිල්වත් ජීවිතයක් ගත කරන කෙනාට පැහැදිලි ආරක්ෂාවක් තියෙනවා. ඔබත් ජීවිතයට අන්න ඒ ආරක්ෂාව ඇති කරගන්න ප‍‍්‍රමාද වෙන්න එපා.

මේ දහම් කරුණු ඔබ හැම දෙනාටම උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]