[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත පිවිතුරු කරන උතුම් හැසිරීම

සිත පිවිතුරු කරන උතුම් හැසිරීම

භාග්‍යවතුන් වහන්සේ විසින් සීලය මුල්කොට දෙසූ දහමක් අද ඔබට ඉදිරිපත් කරන්නෙමි.

අංගුත්තර නිකායේ ඇතුළත් සික්ඛානිසංස සූත්‍ර දේශනාව මේ සඳහා ආශ්‍රය කෙරේ.

”සික්ඛානිසංසිමිදං භික්ඛවෙ බ්‍රහ්මචරියං වුස්සති පඤ්ඤුත්තරං විමුත්තිසාරාං සතාධිපතෙය්‍යං”

මහණෙනි, ශික්ෂා අනුසස් කොට ඇති ප්‍රඥාව උතුම් කොට ඇති, විමුක්තිය සාරකොට ඇති, සතිය ආධිපත්‍යය කොට ඇති මේ බඹසර වසනු ඇත. මේ ධර්ම දායාද විස්තර කොට කයින් ද, මනසින් ද ධර්ම රසයට හිමිකමක් එකතුකොට ගනිමු.

මේ බඹසර කෙසේ නම් හික්මීම අනුසස් කොට ඇත්තේ ද? භාග්‍යවතුන් වහන්සේ විසින් අපහැදුණු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත්, උත්තරීතර වූ ප්‍රතිපදාව මුල්කොට ශික්ෂාවන් පනවා ඇත්තේ ය. ඒ ශික්ෂාවන් මුලින් හෝ අගින් සමාදන් වූ ශීලය අවබෝධයෙන් ම නොකඩන්නේ ය.

මැදින් එක ද ශික්ෂා පදයක් හෝ නොකඩන්නේ ය. පිළිවෙළින් හෝ දෙක හෝ තුන බැගින් නොකඩන්නේ ය. සමාදන් වූ ශීලයෙහි අතරින් පතර හෝ ශික්ෂාවන් නොකඩන්නේ ය. මෙය උතුම් වූ හැසිරීම නම් වූ ආභිසමාචාරික සීලය නම්වේ ම ය.

එමෙන් ම මාර්ග බ්‍රහ්ම චර්යාවට මුල් වූ සංවර සීලයන් පනවන ලද්දේ ය.

සියලු ආකාරයෙන් දුක් නැතිකිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ දේශනා කරන ලද්දේ ද, එය ද අඛණ්ඩ අච්ඡිද්ද ආදී ලෙසින් දිවිහිමියෙන් ආරක්ෂා කොට ගත යුත්තේ ය.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. යම් ආකාරයකින් මා විසින් සියලු ආකාරයෙන් මනා ලෙස දුක් නැසීම පිණිස ආදි බ්‍රහ්මචරියක සීලය පනවන ලද ද, ඒ ඒ සැටියෙන් ම ඒ ශික්ෂාවෙහි අඛණ්ඩකාරි වෙයි. අච්ඡිද්දකාරි වෙයි. දශබලකාරිවෙයි. අකල්මාෂකාරි වෙයි. මැනවින් සමාදන්ව ‘ශික්ෂාපදයෙහි හික්මෙයි. මෙසේ මේ බඹසර ශික්ෂා ආනිසංස කොට ඇත්තේ වෙයි. මෙම ශික්ෂා ආරක්ෂාවේ දී සම්මා ප්‍රඥාව මත පිහිටාම හික්මිය යුත්තේ ය.

නිදසුන් ලෙස මෙසේයි. අපැහැදුනු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුනු අයගේ වැඩි පැහැදීම පිණිසත් ශික්ෂාවන් රැකිය යුත්තේ ය යන කරුණයි.

සියලු සංඛත ධර්මයෝ අනිච්ච, දුක්ක, අනන්ත නම් වූ ත්‍රිලක්ෂණයට යටත් ය නම් වූ සිද්ධාන්තය ඔස්සේ සිත සහ සිහිය පිහිටුවා ගත යුත්තේ ය. මෙහි ප්‍රතිඵලය විය යුත්තේ සිතින් ගන්නා වූ අරමුණු දැඩිව ගැනීම නම් වූ උපාදානය නොවී ලෝභාදී කෙලෙසුන්හි සන්සිඳීමක් වීමයි. ඒ සන්සිඳීම හෝ සන්සිඳෙන මඟට සිත් පුහුණු කරවමින් ම කායික සහ වාචසික සංවරය සිදුවිය යුත්තේ ය. එනම් සීලයෙන් සුන්දර විය යුත්තේ ය.

බඹසර කෙසේ නම් උත්තම කොට ඇත්තේ ද? භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරති. මේ සසුනෙහි ශ්‍රාවකයන්ට මා විසින් සියලු ආකාරයෙන් මනා ලෙස දුක් නසනු පිණිස දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග නම් වූ චතූ සච්චයෝ දෙසන ලදහ. එය ඒ සැටියෙන් ම ශ්‍රාවකයෝ ප්‍රඥාවෙන් අවබෝධ කරන ලද්දාහු වෙත්. මේ බඹසර උත්තම කොට ඇත්තේ වෙයි.

භවයේ ඇති ඝෝර බව දුක්ඛ ආර්ය සත්‍යයෙන් වටහා ගත යුතු වන්නේ ය. ඒ දුකින් පිරුනු භවය සකස්වීමට හේතුව නම් සමුදය හෙවත් තෘෂ්ණාවයි. හේතූන් ප්‍රත්‍ය කොටගෙන හටගැනීමත්, ඒ හේතූන්ගේ ම විසිරයාමත් අවබෝධ නොකර ගැනීම අවිද්‍යාවයි.

මේ ලෝභ, දෝස, මෝහයන්ගේ සකස්වීම යි. තෘෂ්ණාවේ සම්භවය යි.

නිරෝධය නම් අවිද්‍යාවෙන් විද්‍යාවට සිත මෙහෙයවා , ලෝභ, දෝෂ මෝහ නොඉපදවීමයි. සෑම මොහොතකම සිදුවන උප්පාදය සහ භංගය අවබෝධ කොට ගත්තේ ද ඇලීමකින් හෝ ගැටීමකින් තොරව අරමුණු භංගයට පත්වෙයි. මේ ආශ්‍රව හෙවත් කෙලෙසුන්හි නිරෝධයයි.

ඒ කෙලෙස් නිරෝධ ගාමිණී ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී වශයෙනි. මෙය විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝද නිස්සිත, වොස්සග්ග පරිණාමි හෙවත් නිවන් පිණිසම සිත මෙහෙයවා ගෙන ම පැවතිය යුත්තේ ය. ඒ මාර්ග සත්‍යයි.

බඹසර කෙසේ විමුක්තිය සාරකොට ඇත්තේ ද? භාග්‍යවතුන් වහන්සේ වදාරති. මේ ශාසනයෙහි මා විසින් සියලු ආකාරයෙන් දුක් නසනු පිණිස ශ්‍රාවකයන්ට දහම් දෙසන ලදී. එසේ දෙසන ලද දහම් ඒ ඒ සැටියෙන් ම ශ්‍රාවකයන් විසින් විමුක්ති හෙවත් සම්මා ප්‍රඥාවෙන් අවබෝධ කරන ලද්දෝ ය. එය මෙසේ බඹසර විමුක්තිය සාර කොට ඇත්තේ වෙයි. බොහෝ අයෙක් ධර්මාවබෝධය පිණිස පවත්නා මාර්ගයෙහි පවත්නා යම් යම් චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කෙරෙති.

පස්පව් සහ දස අකුසල්වලින් බැහැර වූ ලෝභ, දෝස. මෝහ උද්දීපනය නොකරන එවැනි සිරිත් විරිත් බෞද්ධ දර්ශනයෙහි ප්‍රතික්ෂේප නොකෙරේ.

සාමාන්‍ය ජනයාගේ සිත් එක්විට ම පටිච්චසමුප්පන්න හෙවත් පරමාර්ථ ධර්මයට නතු කළ නොහැකි බැවිනි. එනමුත් ධර්මයෙහි සාරය හෙවත් පරම සත්‍ය හෙවත් චතුරාර්ය සත්‍යය ස්පර්ශ වීමෙනි. එනම් තම අත්දැකීමෙනි. සමථ – විදර්ශනා භාවාන ප්‍රතිපදාව එම කාර්යට මැනවින් උපකාරී වෙයි.

කෙසේ නම් බඹසර සතිය, ආධිපත්‍යය කොට ඇත්තේ ද? යම් සේ සම්පූර්ණ වූ අභිසමාචාරික ශික්ෂා, පුරයි හෝ මනාව සම්පූර්ණ වූ ආභිසමාචාරික ශික්ෂා ඒ ඒ අරමුණෙහි විදර්ශනා ප්‍රඥාවෙන් අනුගමනය කරන්නෙමි'යි තම සිහිය මැනවින් පවත්වා ගන්නේ වෙයි. එවිට අපරිපූර්ණ ශික්ෂා පරිපූර්ණ කර ගන්නටත්, පරිපූර්ණ ශික්ෂාවන් අනුගමනය කරමින් තම ආධ්‍යාත්මය සම්මා සතියට අනුගත කර ගැනීමට සමත් විය යුත්තේ ය.

මාර්ග ප්‍රඥාවෙන් නොදක්නා ලද හෝ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස මඟ මෙතෙක් ස්පර්ශ නොමැත්තේ යැයි සිහියට හසුකර ගන්නේ නම්, ඒ ඒ චතුසච්ච අවබෝධය පිණිස මාර්ග ප්‍රඥාවෙන් ම සමන්නාගත වන්නෙමි'යි ආධ්‍යාත්මයෙහි සතිය මනාකොට පිහිටුවා ගන්නේ වෙයි.

මෙසේ ඥාන දර්ශනයට හසු නොවූ ධර්මය අර්හත් ඵල විමුක්තියෙන් ම අවබෝධ කර ගන්නෙමි'යි ද ස්පර්ශ වන්නා වූ චතුසච්ච ධර්ම මාර්ගය සම්මා ප්‍රඥාවෙන් ම දකිමින් ආධ්‍යාත්මයෙහි සතිය මනාකොට පිහිටුවා ගන්නේ වෙයි. එසේ වන අනුගමනය කිරීම ම බඹසර, සතිය අධිපති කොට පැවැත්වූයේ වෙයි.

සියලු කායික, වාචසික සහ මානසික ක්‍රියාවන්ට සිත මුල්වෙයි. සිත ප්‍රධාන වෙයි. සිතම සත්වයා හසුරුවයි. ඒ සිත සම්මා ප්‍රඥාවට අනුගතව පුරුදු පුහුණු නොකරන ලද්දේ ද එපමණකින් මිච්ඡා සතියට හසුවෙයි.

පරමාර්ථ ධර්ම දැකීමකින් තොරව කැමති අරමුණෙහි රාගයෙන් ඇලෙයි. නිමිති පවත්වයි. තෘෂ්ණාවෙන් බැඳේ. අකැමැති අරමුණෙහි ගැටෙයි. ද්වේෂය මුල්කොට ගත් විපිළිසර වන තරහව, වෛරය, ක්‍රෝධය. පලිගැනීම, බද්ධ වෛරය ආදී අධර්මයට එකතු වෙයි.

මේ නිසා සතිය නම් මාර්ග ප්‍රඥාවේ දී සතර සතිපට්ඨානය ම පුරුදු පුහුණු කළ යුත්තේ ම ය. එමඟින් ලෞකික සහ ලෝකෝත්තර නම් වූ දෙමගම ආධ්‍යාත්මික උත්තරීතර බවට පත්වන්නේ ය. සීලය සුන්දර වූ විට සිත සුන්දර වෙයි. සිත විදර්ශනාවෙන් සුන්දර වූ විට අසුන්දර වූ භවය සුන්දර ලෙස නිමා කොට ගත හැකිවනුයේ වෙයි.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]