[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තණ්හා ආශා ඔලොගු කරේ ලා එළිය දකින්නද මේ යන්නේ

තණ්හා ආශා ඔලොගු කරේ ලා එළිය දකින්නද මේ යන්නේ

ලෝකය යනු දුක සැප දෙකෙහිත්, එසේම හොඳ නරක දෙකෙහිත් සංකලනයකි. සෑම සැපතක් අවසානයේ ඇත්තේ දුකකි. සිනහව කෙළවර කඳුළක් ද ඇත.

ජීවන මාවත රෝස මල් පමණක් අතුරපු සුන්දර මාවතක් නොවේ. එය අතිශයින් ම කර්කශ රළු කටුකොහොලින් පිරුණු මාවතකි. දුක සැප දෙක පරිවර්තනය වෙමින් පවතී.

‘චක්‍රවත් පරිවර්තන්තෙ දුක්ඛානිච සුඛානිච’ යනුවෙන් ආප්ත වදන් ලියැවී ඇත්තේ ද ඒ නිසා ය. මෙම ලෝක සත්‍ය නිර්මාණකරුවන් හෙළ සාහිත්‍ය පෝෂණය කර ගැනීමට යොදා ගෙන ඇත්තේ සමාජයට යථාර්ථවත් පණිවිඩයක් ලබා දීමට ය.

1964 පටාචාරා චිත්‍රපටයට මඩවල එස්. රත්නායකයන් විසින් රචිත තණ්හා ආශා ගීතය එබඳු අරුත්බර පද වැලකි. එම පදවැල සංගීතාම්බරයෙහි දිදුලන තාරකාවක් බඳු විශාරද අමරදේවයන්ගේ මුවින් ගැයීම කෙතරම් නම් ආනන්දජනක ද?

පටාචාරාව සිටුමැදුරෙහි වැඩ කරන තරුණයකු සමග නිවසින් යන මොහොතේ එම දෙදෙනාගේ මුවින් පිටවන ගීතයක් ලෙස චිත්‍රපටයට මෙය ඇතුළත් වෙයි. සන්ධ්‍යා කුමාරි සහ ආනන්ද ජයරත්න යන දෙදෙනා රංගනයෙන් මෙයට දායකත්වය සපයා ඇත.

සත්ත්වයා සසර ගමනෙහි ඈතින් ඈතට ඇදි ඇදී ගමන් කරන්නේ තණ්හාව නම් මේ සසරේ බැඳ තබන බැමි නිසා ය. එය නැති කර සසර ගමන කෙළවර කිරීමෙහි මාර්ගය බුදුන් වහන්සේ දේශනා කොට වදාළහ. බුද්ධ ශ්‍රාවකයා එකී සංසාර ගමන කෙළවර සොයමින් මැදුම් පිළිවෙතින් ගමන් කරයි.

තණ්හා ආශා
තණ්හා ආශා ඔලොගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්න ද මේ යන්නේ
ඒ සැපත සොයන්න ද මේ යන්නේ
කතරේ.... ගිනිගත් වැලි තලයේ

බොහෝ මිනිසුන් තණ්හා ආශා පොදි බැඳගෙන යාත්‍රා කරන්නේ සසරෙහි නිවීමක් සැනසීමක් ලබා ගැනීම උදෙසා යැයි සිතුව ද එය එසේ නොවේ. කවියා මෙහි දී පටාචාරාවගෙන් සහ තරුණයාගෙන් විමසන්නේ මෙම යන ගමනේ විදර්ශන ආලෝකය ලැබිය හැකි ද යන්නයි. සංසාරය නමැති ගිනි ගත් වැලි කතරේ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් ඇවිදින සත්ත්වයාට සුඛ සෝමනස්සයන් හමුවන්නේ නිමේෂයක් පමණි. ඒ බව සිය සදාදරණීය පාඨකයාට අවබෝධ කරවීම ගීත රචකයාගේත් ගායකයාගේත් ඒකායන පරමාර්ථයයි.

උතුරන ගංගා නියඟය ආ දා
වියළී යනවා ගහ කොළ මැලවී
මල් හට ගන්නා වසන්තයම නෑ
හැමදා...අප යන මේ ගමනේ

“පරෝපකාරාය වහන්ති නද්‍යාඞ” ගංගා ගලා බසින්නේ අනුන්ට සැප පිණිස ය. ගංගාවල ගලා බසින දිය දහර සත්ත්වයාත්, තුරු ලතාදියත් ආනන්දයට පත් කරයි. එහෙත් නියඟය පැමිණි කල ගංගාවල ජලය සි¼දී යයි. ඒ ශුෂ්ක බව නිසාම සත්ත්වයාත් තුරු ලතාදියත් විඳීන්නේ අපමණ වේදනාවකි.

මෙම ප්‍රබල උපමාලංකාරය යොදාගනිමින් එය කවියා ආදේශ කරනු ලබන්නේ සංසාර ගමනටයි. සසර ගමන් කරන සත්ත්වයා ද වරෙක වියළුණු තුරු ලතා මෙන් නිරර්ථක නිසරු තත්ත්වයට පත්වේ. අනන්ත දුක් කම්කටොලුවලට මුහුණ දෙයි.

අප සිතා සිටින්නේ මල් පිපුණ වසන්තය ම සැමදා අපට උරුම වේ යැයි කියා ය. එහෙත් එම මල් පිපුණු වසන්තය ටික දිනකින් අපට අහිමි වී යයි. මානව ජීවිතයෙහි සුඛ පක්ෂය නියෝජනය කරන වසන්තයට අප මුහුණ දෙන්නේ ඉතාමත් කෙටි කාලයයි. නැවත නැවත අපට යොමු කරන්නේ සංසාර දුක්ඛය ම ය.

සොබාදහමත්, පරිසරයත් දෙස බලා එකී සංසාර යථාර්ථය තේරුම් ගෙන යහපත් ලෙස ජීවත් වීමට කවියා සිය ශ්‍රාවකයාට සානුකම්පිතව ආරාධනා කරයි.

අඳුරෙන් ගැලවී එළිය සොයන්නෝ
හැමදා අඳුරේ අඳුර දකින්නෝ
අඳුර දකින්නෝ
දිවියේ සාරය
දිවියේ සාරය මෙපමණි ඇත්තේ
අඳුරේ... අප හැම වල්මත් වී

ලෝකයෙහි ජීවත් වන මිනිසුන් අතර සමහරු අඳුරෙන් මිදී ආලෝකය සොයමින් සිටිති. “තමෝ ජෝති පරායණ”. එසේම තවත් පිරිසක් අඳුරෙහි ජීවත් වෙමින් නැවත සොයන්නේ අඳුරමයි.

“ජෝති ජෝති පරායණ”. බුදු දහමෙහි උගන්වනුයේ අඳුරෙහි සිට ආලෝකය සොයන්නන් හා ආලෝකයේ සිට නැවත අඳුරට නොගොස් ආලෝකය ම සොයන්නන් උතුම් බවයි. මෙම ගීත රචකයා පටාචාරාටත්, එම තරුණයාටත් දෙන උපදේශයක් ලෙස සමස්ත පාඨකයාගේ ම අවධානය යොමු කරන්නේ අඳුරෙහි වල්මත් වී නොසිට විදර්ශනාලෝකය ගවේෂණය කරන ලෙසයි.

ගීත ශ්‍රවණයෙන් හුදු විනෝදාස්වාදයට පමණක් නොගොස් ජීවන දර්ශනයක් එමගින් සිය සහෘදයාට අවබෝධ කරවීමට ගත් උත්සාහය අතිශයින් ම ප්‍රශස්ත ය.

වර්තමානයෙහි රචනා වන සමහර ගීතවල ඇත්තේ මතුපිටින් පෙනෙන නිසරු අරුත් පමණි. මඩවල එස්. රත්නායක සතු ජීවන පරිඥානය මෙම ගී පද වැල මගින් මැනවින් ප්‍රකට වෙයි.

සැපත විනෝදේ උපත කදුළ වේ
විපත පියා වේ මේ ලොව සැපතේ
විපත පියා වේ මේ ලොව සැපතේ
පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ
කිසිදා.... නැත උන් වෙන් වන්නේ

මෙහිදී සැපත හා විපත පිළිබඳ ගැඹුරු අර්ථ මතු කරමින් රචනා කොට ඇත. මෙලොව උපදින සෑම සත්ත්වයකු ම උපදින්නේ හැඬීමෙනි. උපතෙහි ම කඳුළක් උරුම වී ඇත. එදා සිට දිවි ගමන මරණය නම් සනාතන ධර්මතාව සොයා පියමං කරයි.

සත්ත්වයාට පමණක් නොව සෑම භෞතික වස්තුවකට ද අවසන උරුම වනුයේ විනාශයයි. “සබ්බේ සංඛාරා අනිච්ඡාති” සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. එසේ ම නිත්‍ය නොවන ස්වභාවය යථාර්ථයයි. එම නිසා සෑම සැපතක් ම කෙළවර වන්නේ සනාතන ධර්මතාවයට මුහුණ දෙමිනි.

එකී අනිත්‍ය ස්වභාවය පියකු ලෙස සැලකීමට කවියා පෙළඹී ඇත. මෙහිදී අපට හැඟෙන්නේ හටගැනීමත්, විනාශයත් දෙක පිය පුතු දෙදෙනා වශයෙන් අදහස් කර ඇති බවයි.

උපදින - හටගන්න සෑම සත්ත්වයෙක් ම, භෞතික වස්තුවක් ම මරණයට හෝ විනාශයට පත්වේ. එනිසා උපතත්, මරණයත් වෙන් නොවන, එකට සැරිසරන ධර්මතාවකි.

පටාචාරාව මෙම සංසාර ගමනේ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දී යථාර්ථය තේරුම් ගෙන නිවන් අවබෝධ කර ගැනීම මෙහි ඇති යථාර්ථයයි. කවියා ශ්‍රාවකයාගේ අවධානයට යොමු කරමින් අවධාරණය කරන්නේ එකී සුන්දර යථාර්ථය සසර ගමන තුළ විමසන ලෙසයි.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]