[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා 79 කොටස: සොළී පාලනයෙන් සාධාරණයක් අපේක්ෂා කළ නොහැකියි

දුටුගැමුණු මහ රජතුමා 79 කොටස:

සොළී පාලනයෙන් සාධාරණයක් අපේක්ෂා කළ නොහැකියි

“ඇත්තටම මට මේ සම්මාන උපහාර ලැබෙන්නේ එළාර රජුට හෝ රාජ්‍යයට කරන සේවයට නොවෙයි. කරන ද්‍රෝහිකම්වලටයි. සිතට එකඟ නැති වුණත් මේ සාධාරණ මිථ්‍යාව රට, ජාතිය, ආගම වෙනුවෙන් තව කාලයක් කරන්නට වෙනවා.”

“බොරුව, වංචාව, හොරකම, විශාල පිරිසකට යහපතක් වෙනවා නම් එය පාපයක් නොවෙයි. දහස් සංඛ්‍යාත පිරිසකට විපත් පමුණුවන එක පුද්ගලයෙක් විනාශ කිරීමේ වරදක් නැහැ.”

“දැන් යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවට යන්නට වෙලාව හරි. රජතුමා එන්නේ එකොළහට බව කලින් දැනුම් දී තිබුණා. අද දීර්ඝ වශයෙන් සිදුකෙරෙන සාකච්ඡා නැහැ. යුද්ධ මණ්ඩල රැස්වීමට දිනයක් නියම කර ගැනීම, සෙනෙවිවරුන්ගේ වාර්තා ලබා ගැනීම, වෙනත් විශේෂ කාරණාවක් තිබුණොත් සාකච්ඡා කිරීම ආදියයි. මේ සියල්ලට ම පැය භාගයක පමණ කාලයක් ගතවේවි.

“ඊට අමතරව ඒ අවස්ථාවේ දී එතැනට එක් කළ යුතු විෂබීජයක් සඳහා ලිපියක් මා සූදානම් කර තිබෙනවා. ඒ ලිපිය මෙන්න. පියාණෙනි, ඔබ මෙය රැගෙන දොළහට පමණ යුද සම්මන්ත්‍රණ ශාලාවට පැමිණෙන්න. එහි මුර පොළේ ආරක්ෂක භටයන්ට මා හමුවී හදිසි තල්පතක් බාර දෙන්නට අවශ්‍ය බව කියන්න”.

“ආරක්ෂක සෙනවියකු පණිවිඩය ගෙන ආ විට රජතුමා ඔබව සම්මන්ත්‍රණ ශාලාවට කැඳවාවි. කිසියම් රාජකාරියක් රජතුමා ඔබට පැවරුවොත් සතුටින් එය භාරගන්න.”

සමන්තී මාතාවට වැඳ සමුගත් සිරිනාග අශ්වයා පිට නැඟී මහමෙව්නාව බලා පිටත් විය.

තමාගෙන් දුටුගැමුණු රජතුමාට ඉටුවන සේවය ප්‍රමාණවත් නැතැයි සිරිනාගගේ සිත තුළ නිතර පසුතැවීමක් වෙයි. කුණ්ඩල බ්‍රාහ්මණතුමා පැවසූ පරිදි ජනතාව බොරුවෙන් මුදා, යථාර්ථයට ළං කිරීම සඳහා තරුණ පිරිසක් සූදානම් කිරීමට යොදා ගත හැක්කේ කෙසේ දැයි සිරිනාග කල්පනා කළේ ය. ආපසු විහාරස්ථානවලට පැමිණ සිටින භික්ෂූන් වහන්සේලාගෙන් ජාතික, ආගමික. ප්‍රබෝධය උදෙසා දැනටමත් ඉටුවන සේවය ප්‍රමාණවත් වුව ද එයින් වැඩි වාසිය ලබා ගන්නේ එළාර රජු නොවේදැ’යි ඔහුට සිතිණි.

දුටුගැමුණු රජතුමා යුද්ධයට සූදානම් වීමත් සමඟ අනුරාධපුර රාජධානියේ සිදුවී ඇති පරිවර්තනය ගැන සිරිනාග පුදුමයට පත්විය. නමුත් තාවකාලිකව අත්වන වාසිය නිසා මිනිසුන් මෑත අතීතය පවා අමතක කිරීමට පෙළඹීම ගැන අති වූයේ කලකිරීමකි.

සාධාරණ, යුක්තිගරුක යන වචනවල අර්ථය විමසිය යුත්තේ සොලී පාලනයේ ව්‍යාජයෙන් බැහැරව නොවේදැ'යි වරක් සිරිනාග දීඝාභයගෙන් විමසූ විට ඔහු පුදුමයට පත්ව බලා සිටියේ ය.

“අපි වැරැදියි දීඝාභය මහ සෙනෙවි තුමනි, ධනය, බලය, නිලයට කෑදර වෙලා ඔබතුමාත්, මමත් සිටින තැන වැරදියි.”

“සිරිනාග තොපගේ සිහි විකල් වෙලා ද?” ප්‍රශ්න කළ ඔහු “කට ප්‍රවේසම් කර නොගත්තොත් තොපට සිදු වෙන්නේ දංගෙඩියට බිලි වෙන්නයි”

කියමින් වේගයෙන් අසු පිට නැඟී ඉවත්ව ගියේ ය. නමුත් ඔහු එසේ ඉවතට ගියේ තමන් කී සත්‍ය තේරුම් ගනිමින් යැයි සිරිනාගට සතුටක් ඇති විය.

බර කල්පනාවක නිමග්නව ගමන් කළ සිරිනාග දුටුවේ ඉදිරියේ යන එළාර රජු ය. පර්වත ඇතු පිට නැඟී මහත් තේජාන්විත බවක් පාමින් ඉදිරියෙහි හා පසුපස අශ්වාරෝහකයන් දස දෙනකු, බැගින් ඇතිව යන පිරිස දුටු ඔහු සිය අශ්වයා අතුරු මාර්ගයකට වේගයෙන් මෙහෙයවී ය. එළාර රජු එන්නට පෙර සම්මන්ත්‍රණ ශාලා භූමියේ දොරටුවෙන් ඇතුළු විය. රජතුමා පිළිගැනීමට ශාලා දොරටුවෙහි සිටි පිරිස අතරට එක්වීමට ඔහුට හැකි විය.

දුටුගැමුණු සේනාංක කවර ස්ථානයකින් මහවැලි ගඟ තරණය කළත් එතැනදී ම සටනට මුහුණ දී සතුරා පළවා හැරීමේ සැලැස්මක් දීඝජන්තු මහ සෙනෙවි විසින් ඉදිරිපත් කෙරිණි. විජිතපුර බලකොටුව ආරක්ෂා කර ගැනීමේ හා සතුරාට පහර දීමේ සැලැස්ම දීඝාභය මහ සෙනෙවි විසින් ඉදිරිපත් කරන ලදී.

මහවැලි ගඟ මෙගොඩ තීරයේ කඳවුරු පිහිටුවීමේ වැදගත්කම පෙන්වා දුන් දීඝාභය එම කටයුතු අධික්ෂණය සිරිනාගට පැවරීම සුදුසු යැයි යෝජනා කෙරිණි.

සිරිනාග මහ සෙනෙවි තමන්ගේ නිර්දේශ දීඝජන්තු මහ සෙනෙවි වෙත යවා තිබිණි. අතිරේක සේනාංකයක් නොමැතිව තමන් යටතේ සිටින සේනාව මෙහෙයවා රාජධානියේ පොදු ආරක්ෂාව සලසා දිය හැකි බව ඔහු විශේෂයෙන් පෙන්වා දුන්නේ ය.

ගිරිල, මහේල ප්‍රධානීන් තමන්ගේ බලකොටුවල ආරක්ෂාව තර කළ බවත්, වැඩි ආරක්ෂාව සඳහා සේනාංක හතරක් සොළී රටින් ගෙන්වා ගැනීමට අදහස් කරන බවත් සිය සෙනෙවිවරු මඟින් දන්වා තිබිණි.

යුද්ධය ආරම්භ වූ තැන් සිට නිසි පරිදි ආහාර බෙදාහැරීම, අවි ප්‍රවාහන කටයුතු ගැන සිරිනාගගේ සැලැසම කාගේත් සතුටට හේතු විය. ජයනාථ මහ සිටුතුමා ආහාර ගබඩා පාලනය කිරීම සඳහා පත්කිරීමට රජතුමාගේ අනුමතය අපේක්ෂා කෙරිණි.

මේ අතර සිරිනාග මහ සෙනෙවි තුමාට හසුන්පතක් බාරදීමට ඔහුගේ පියා බෝධිනාග පැමිණ සිටින බව ආරක්ෂක සෙනවියකු විසින් දන්වන ලදී. සිරිනාග සභාවෙන් ඉවතට යන්නට කලින් රජතුමා කතා කළේ ය.

ආරක්ෂක සෙනෙවිය. බෝධිනාග මෙහි කැඳවාගෙන එනු. සෙනෙවිවරු සැවොම කුතුහලයෙන් බලා සිටියහ.

බෝධිනාග සභාවට පැමිණ රජතුමාට ආචාර කළේ ය. රජු ඔහු දෙස බැලීය.

“බෝධිනාග තොප ප්‍රසන්න පුද්ගලයෙක්. තොප බොහෝ ශිල්ප ශාස්ත්‍ර උගතකු බව මම දන්නවා. තොප සියල්ලට ම වඩා කෘෂිකාර්මික කටයුතුවලට දක්ෂයකු බව මට දැන ගන්නට ලැබුණා. නමුත් මිත්‍ර මහ සෙනෙවි තොපගේ දක්ෂතාවලින් නිසි ප්‍රයෝජනයක් ගත්තේ නැහැ.

“දැන් තොප මෙහි පැමිණියේ සිරිනාග හමුවීමට. නුඹ රැගෙන පැමිණි හදිසි හසුන්පත ලැබුණේ කාගෙන් ද?

“දේවයන් වහන්ස, මාගමින් ආ පරවියකු මඟින් දැන් ලැබුණු හසුන්පතක්.

“හොඳයි. එය සිරිනාග මහ සෙනෙවිට දෙන්න. ඔහු එය කියවා බලන තෙක් මට සවන් දෙන්න.”

“අපට රහස් දූත මෙහෙයක් සඳහා පි‍්‍රයමනාප පුද්ගලයකු අවශ්‍ය වී තිබෙනවා. ප්‍රාදේශීය රජවරුන් වෙත ගොස් ඔවුන් අප කෙරෙහි පහදවා ගැනීමත්, යුද්ධයේ දී දුටුගැමුණු රජුට සහාය දැක්වීමෙන් වළක්වා ගැනීමත් අපේ අරමුණයි. මෙම කාර්යය සාර්ථකව ඉටු කරන්නට ඔබට හැකි යැයි මට සිතෙනවා. මෙම කාර්යය සාර්ථකව ඉටු කළ හොත් ඔබට බොහෝ වස්තු සම්භාරයක් ලබා ගන්නට පුළුවන්.

බෝධිනාග, සිය පුතු සිරිනාග දෙස බැලුවේ ය. නැවත රජතුමා දෙස බැලුවේ ය.

“මහ රජතුමනි. මේ කාර්යය සඳහා මා සුදුසු යැයි ඔබ වහන්සේ කල්පනා කරනවා නම් රට, ජාතිය වෙනුවෙන් මම ඒ වගකීම භාර ගන්න කැමතියි. ඒ සඳහා මට මිල මුදල් අවශ්‍ය නැහැ.

රජු සතුටට පත් විය. දීඝජන්තු කෙරෙන් පළවූයේ ද සතුටකි. උපතිස්ස රඳවා ගත හැකි වීම නිසා දීඝාභය ද සතුට පළ කළේ ය.

“හොඳයි, මේ යුද්ධ සම්මන්ත්‍රනයෙන් පසුව කළ යුතු කාර්යයන් පිළිබඳ සිරිනාග තොපට දන්වාවි.

හොඳමයි මහ රජතුමනි. මට යාමට අවසර”

- අයන්ති විතාන

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]