[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

සම්බුදු සමිඳු නමදිමි සැදැහෙන් සාධු

මෙත් කරුණාදියෙන් ජන හදවත් සේදු
සිත් එකතැන තබා නිවනට මඟ පෑදු
මත් කරවන විලස තුන්ලොව රැස් වීදු
ගත් මඟ මහිමි සිහිකර නමදිමි සාධූ

මිසදිටු දහම් පැතිරෙන අවදියක ලොවේ
දස දෙස වැඳුම් කර සිටි අය වෙතට පවේ
තිසරණ සරණ මතුකොට දෙසූ දහම් සුවේ
හිස බිම තබා වඳිනෙමි හිමි නිතර දෙවේ


වන්දනාව

උදාහිරු නැඟෙනා බිමේ දී සිත් පහන්කර අපි සැමා
මහා රහතුන් වහන්සේලා වැඩ සිටිය බිම හිස නමා
සේරුවාවිල මහා සෑයට සුවඳ තවරා රෑ දිවා
ලලාඨ ධාතුන් වහන්සේ විඳිමු වැතිරී මල් පුදා


ගමේ පන්සල වට්ටාරම

කෑගලු දිනිතිගේ මහඔය ගලන ඉමේ
පෙර රජ දවස පටන් ලක්දිව බැඳුන සමේ
අරහත් මලියදේව හිමි වැඩ සිටි මෙපින් බිමේ
එම බිම හඳුන්වයි වට්ටාරම පන්සල ගමේ

ගරුතර සඟ රුවන වට්ටාරම වැඩවසන
දහමේ වැඩ කරති කාගෙත් සිත නිවන
මලියදේව මහරහතුන් හා බැදුන
වටේට ආරාම නිසා වට්ටාරම වෙමින


අම්මා

හිරු රැස් වාගෙයි මගෙ අම්මා
සඳ රැස් වාගෙයි මගෙ අම්මා
අහසේ තරු වාගෙයි අම්මා
ලොවේ උතුම් ගුණ පිරි මගෙ අම්මා

රන්වැට අතර දිලිසෙන ඇස් දෙක අම්මා
බෝ මලුවේ සුදු වැලි කැට අම්මා
පහන් වැටේ ආලෝකය අම්මා
මගේ ලොවේ රැජිනයි මගෙ අම්මා

පුංචි කාලේ මගේ අතින් වැරදි වුණා අම්මේ
නොදැනුවත් ව අම්මට මම බනින්න ඇති අම්මේ
වැඳ වැඳ ඔබේ පා යුග නමදිමි අම්මේ
මේ පින් ගෙන මතු බුදුබව ලබා ගන්න අම්මේ

බිහිවුණ දා මා ලෝකෙට වින්ද දුකට අම්මේ
ගතට මොන අමාරු ආවත් මං නිසා යටපත් කළ අම්මේ
සිරුරේ තියන රුධිරය කිරි වුණා ද අම්මේ
මතු භවයක නිවන් දකිනු මැන ආදර අම්මේ


දුක

සිත පෙළන
ජනිත කරවන වේදනා
ඇත මේ සිත වසා
මහා ආසව කෙලෙස් කුණු
ද්වේෂය - මාන්නය
ඇත එමට
ක්‍රෝධ සිත
වෛර බව
පටිඝය
එනම් - එරෙහි බව
ඇත එමට
සිත පුරා දැක ගන්ට

මම ම ය මගේකම
උපාදානය
ඒ විතරක් ද තව
නොසන්සුම
කලබලකාරී බව
අසංවර දුශ්ශීලකම
ඇත බලන්නට
අද මිනිස්සුන්ට


නිවී සැනසෙමු

ගෙවා ආ දුර
නික්ම යන දුර
කොපමණක් වෙද
කවුරු දනිති ද
කටුක වූ
මිරිගු මාවත
දහම් පොදවැසි
වැටෙන දිනයක
සිසිල විඳගෙන
නිවී සැනසෙමු
නුවණ ලැබ ගෙන


සමිඳුන් උදෙසා

අනූ අටක් නිකිණි සඳේ
සැම සිත් සැදිලා
සේරුවිලේ මල් පිපිලා දම්සිලිලාරේ
අහස් ගැබේ මහ සෑයට
මල් වරුසාවේ
මා ආවේ පැතුම් සැදී
නිල් ආකාසේ.....

දෑස හරින විටම එදා
එකම අහස සේ
සමිඳු ලලාඨ දා සමිඳුන් සෑ රජු දුටුවේ
එදා පටන් සිතේ සදා
සමිඳු ලලාඨ දා ....
කුල සිරිතේ
මා විසුවා සමිඳුන් උදෙසා


හිත

දුර ගමන් යන්නේ - තනිව ම යි හැසිරෙන්නේ
කයක් නොදරන්නේ - ගුහාවක සැතපෙන්නේ
හිතුණ හිතුණ තැන දුව පනිමින්
ඉඳහිට තැන තැන නතර වෙමින්
දියෙන් ගොඩ දැමු මසකුට
අතු අග පනිනා වානරයකු හට
උපමා කරනා මේ හිත
යමෙක් හික්මවා ගතහොත්
එ තෙම මරණය ජය ගත්තෙකි
පබසර වූ මේ හිත - හික්ම වූ අප බුදුපියා
තිලොවට ම අග බුදු පදවි ලැබු
දෙසා වදහළ සේක හිත ගැන


පින් කළ නිසා

බුදු බණ පදයක් සවනට ඇසුණා
කළ පින් හින්දා නිරන්තරේ
අමා ගඟක් සේ දම්පද ගැලුවා
බුදු හිමි වැඩ සිටි පින දෙරණේ

නිවනට යන මඟ පෙන්වා දුන්නේ
බුදු හිමි අප අනුකම්පාවෙන්
ඒ මඟ යන්නට තුන් සිත පහදා
කුසල් පුරමු අපි ශ්‍රද්ධාවෙන්

සිත එක් තැන් කර සමාධි ගතවී
බවුන් වැඩුව සිත නිරන්තරේ
වෙන සරණක් නැහැ බුදුන් සරණ මිස
දුකෙන් මිදෙන්නට මේ සසරේ

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]