[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

අපවත් වී වදාළ කටුකුරුන්දේ මෛත්‍රී නා හිමි

මොරටුව කොරලවැල්ල වාලුකාරාම මහා විහාරාධීෂ්වර කටුකුරුන්දේ මෛත්‍රී නාහිමි 2022.06.26 වන දින අපවත් විය. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිතිකරගෙන ය.

රිචඩ් ප්‍රනාන්දු නම් වූ පින්වත් කුමරා 1933.10.18 වන දින කටුකුරුන්දේ දී උපත ලැබීය. එල්. අන්තෝනිස් ප්‍රනාන්දු හා දිස්නා ප්‍රනාන්දු යන දෙපළ මෙම පින්වත් කුමරුවාගේ දෙමාපියන් විය. සිප් සතර හැදෑරීමේ නිසිවයස් සම්පූර්ණ වූයෙන් කටුකුරුන්ද ශාන්ත මරියා විද්‍යාලයට ඇතුළත්ව මූලික අධ්‍යාපනය ආරම්භ කරන්නට යෙදුණි.

මෙලෙස අධ්‍යාපනය ලබමින් සිටින අතරතුර පැවිද්ද සඳහා සිත යොමු වූ බැවින් 1948.02.07 වන දින පැවිදි විය. ඒ කොරලවැල්ල වාලුකාරාම මහා විහාරයේ දී ය. කටුකුරුන්දේ මෛත්‍රී නමින් ඒ උතුම් පැවිදි දිවිය ආරම්භ විය. එවකට විහාරාධිපති ව වැඩසිටි අග්ගමහා පණ්ඩිත පොහොද්දරමුල්ලේ විභාවී මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මෙම සාමණේරයාණන් වහන්සේගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ ය. පයාගල ධර්ම ගුප්ත පිරිවෙනෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ මෛත්‍රී හිමිපාණෝ උතුම් වූ ශාසනික සේවාවක නිරත විය.

1954.12.22 වන දින කොළඹ තොටළඟ කල්‍යාණි නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී උන්වහන්සේ උපසම්පදාව ලැබීය.

මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් ප්‍රාචීන මධ්‍යම විභාගය ද, කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී විභාගයද සමත් වූ මෛත්‍රී හිමිපාණෝ “සද්ධර්ම පුණ්ඩරික” සූත්‍රයේ ජපන් පිටපත සිංහලයට පරිවර්තනය කිරීම, “සාමණේර බණ දහම් පොත” ඇතුලු තවත් පොත් කිහිපයක් රචනා කර තිබේ.

ජපානයේ “සාම චෛත්‍ය” සංකල්පය ඉදිරිපත් කළ නිචිදන්සූ සුජි ගුරුජිතුමාගේ මෙහෙයවීමෙන් ජපානයට වැඩම කර අවුරුදු 20 ක් එහි වැඩසිටින ලදී. “ලෝක සාම පා ගමන” නම් වූ ආගමික චාරිකාව විශේෂ කණ්ඩායමක් සමඟ ශ්‍රී ලංකාවේ ශ්‍රී පාදස්ථානයෙන් ආරම්භ වී ඉන්දියාව, එංගලන්තය, ජපානය හා යුරෝපා රටවල් හරහා කැනඩාවටත්, චිකාගෝ හරහා අමෙරිකාවටත් නැවෙන් හා පාගමනින් වැඩම කර ධවල මන්දිරය වෙතට ළඟා වීම ඒ හිමියන්ගේ ජීවිතයේ වැදගත් සිද්ධියකි.

1996.02.10 වන දින අග්ගමහා පණ්ඩිත විභාවී හිමි අපවත් විය. ඉන් අනතුරුව මෛත්‍රී හිමි එහි විහාරාධිපති විය. ශාසනික කටයුතු මැනවින් සිදුකරමින් සිටින අතර තම විහාරාධිපති තනතුර මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පානදුර ප්‍රාදේශීය සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨානුවිජ්ජික ශාසන කීර්ති ශ්‍රී විභූෂණ විනයාචාර්ය නෑහින්නේ අරියඤාණ මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට පවරන ලදී.

නෑහින්නේ අරියඤාණ හිමි මෛත්‍රී හිමියන්ට ප්‍රශංසනීය වූ ද, ආදර්ශවත් වූ ද උපස්ථානයක් සිදුකරමින් වර්තමාන සමාජයට උත්තම වූ මා හැඟි පණිවිඩයක් මුදා හැර තිබීම මේ අවස්ථාවේ දී ගෞරවයෙන් සිහිපත් කළ යුතුම වේ. කටුකුරුන්දේ මෛත්‍රී හිමි අවුරුදු 90 කට ආසන්න කාලයක් ශාසනික සේවාවේ නිරත විය. උන්වහන්සේට උතුම් නිවන් ශාන්තිය ලැබේවා.


රැකෝගම සිරිනිවාස හිමියෝ නායක පදවි ලබති

කිරිමැටියාව ඇඹුල්ගිරි රාජමහා විහාරය, වලස්සෑගල පුරාණ රාජමහා විහාරය, උඩගම ශ්‍රී ඉන්දසුමන මහ පිරිවෙන් විහාරය, මහව ගලයාය පුරාණ විහාරය යන පංච මහා විහාරාධිපති, රැකෝගම සිරිනිවාස හිමි “වන්නි දෙමළ හත්පත්තු දෙකේ ප්‍රධාන සංඝ නායක” පදවියෙන් පිදුම් ලැබූහ.

රැකෝගම සිරිනිවාස නා හිමි අපවත් වී වදාළ බළල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක නා හිමියන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නයයි. අපවත් වී වදාළ බළල්ලේ පඤ්ඤාලෝක නා හිමියන් වහන්සේ දරන ලද එම පදවිය තම ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය රත්නය වූ රැකෝගම සිරිනිවාස නා හිමියන් වහන්සේට ලැබීම සුවිශේෂී සංසිද්ධියක් ලෙස සැලකීමට පුළුවන.

කුඩා අවධියේම සසුන් කෙතට ඇතුළත් වී තම ගුරුවරයා යටතේ සියලු ශිල්ප ශාස්ත්‍ර මනාව ප්‍රගුණ කළහ. තම පැවිදි ජීවිතයට සිල්වත්ව, ගුණවත්ව බැබළෙන්නාහ. උන්වහන්සේ පිරිවෙන් විහාරස්ථානයෙහි නේවාසිකව වැඩ සිටිය ද තමන්ට අයත් සියලු විහාරස්ථානයන්හි දායක පින්වතුන්ගේ ජාතික, ආගමික, සාමාජික කටයුතු නොපිරිහෙලා ඉටු කරන්නාහ.

පිරිවෙන් විහාරස්ථානයෙහි තම ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ හතළිහකට ආසන්න පිරිසක් වැඩ සිටින අතර සියලු ඕනෑ එපාකම් පිරිමසාලමින් උන්වහන්සේට අධ්‍යාපන පහසුකම් නොපිරිහෙලා සලස්වති.

කරුණාව දයාව පෙරදැරිව නිරතුරුව සිනා මුසු මුහුණින් අනෙකාට පිහිට වන උන්වහන්සේ සමාජීය වශයෙන් ද ගම් නියම් ගම් සිසාරා විශාල සේවාවක් සිදු කරන්නාහ.

රැකෝගම සිරිනිවාස නායක හිමි කිසිදු තනතුරක් පසු පස හඹා නොයන්නා නමුදු එම තනතුරු හා වරප්‍රසාද උන්වහන්සේ කරා හඹා එන්නේ අඩු වයසින් වීමද උන්වහන්සේ ලද භාග්‍යයක් කොට සැලකීමට පුළුවන. සෑම පැත්තකින්ම පිරිපුන් චරිතයක් වන රැකෝගම සිරිනිවාස නා හිමිගේ පින් මහිමයේ ප්‍රතිඵලයක් නිසාම 2022.08.23 දින මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක මාහිමිපාණන් වහන්සේගේ සුරතින් මල්වතු මහාවිහාරීය උපෝෂථාගාරයේදී විනය කීර්ති ශ්‍රී ඉන්දසුමන පඤ්ඤාලෝක ගෞරව නාමය සහිතව “වන්නි දෙමළ හත්පත්තු දෙකේ ප්‍රධාන සංඝ නායක පදවිය ලැබූහ . එම පදවියෙන් පිදුම් ලැබූ රැකෝගම සිරිනිවාසාභිධාන නායක නාහිමිපාණන් වහන්සේට තුණුරුවන්ගේ ආශිර්වාදයෙන් තව බොහෝ කාලයක් ශාසනික කටයුතු සිදු කිරීමට කායික මානසික සුවයත්, දීර්ඝායුෂත් ලැබේවා'යි ප්‍රාර්ථනා කර සිටිමු.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]