[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මේ ලෝකයේ වාසනාවන්තම දරුවා වෙන්න ඔබත් කැමැති ද?

මේ ලෝකයේ වාසනාවන්තම දරුවා වෙන්න ඔබත් කැමැති ද?

දුවේ, පුතේ. අප හැම දෙනාටම, විවිධ වූ හැකියාවන් තිබෙනවා. කෙනකුට හොඳින් ඉගෙන ගන්න පුළුවන්. කෙනෙක් දක්ෂ ලෙස චිත්‍ර අඳිනවා. මේ වගේ එක එක දක්ෂතා අපට තිබෙනවා. ඒ හැකියාවන් අපේ ජීවිතයට ආලෝකයක්. අම්මට, තාත්තට කීකරු, හොඳට ඉගෙන ගන්න, ගුණ යහපත් දරුවෙක් දැක්කාම අපි කියනවා.

“අනේ ඒ දරුවා හරි වාසනාවන්ත දරුවෙක්"

කියලා. ඒ වගේ ඇගයීමක් ලබන්නත් වාසනාවන්ත වෙන්න ඕනෑ.

අපට මේ ජීවිතයේ මුණ ගැසුණු වාසනාවන්තම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ තමයි අපගේ ශාස්තෘන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝකයට පහළවෙලා පුංචි ඔබටත්, වැඩිහිටි අපටත් යහපත – අයහපත, පින – පව, හොඳ – නරක කියා දුන්නා.

ජීවිතය ගැන අවබෝධ කර දුන්නා.

පින් කළොත් වාසනාවන්ත වෙන බවත්, පව් කළොත් අවාසනාවන්ත වන බවත් අපට කියා දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ යි.

අපේ බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය අපරිමිතයි. උන්වහන්සේ කිසිම කෙනෙක් ගැන තරහ ගන්නේ නෑ. තවත් කෙනකු දෙස රවා බලන්නේවත් නෑ. උන්වහන්සේ වෙත වූ ගුණ ධර්ම ආශ්චර්යයි. මේ යැයි වචනයෙන් කියලා නිම කරන්නට නොහැකියි.

දුවේ, පුතේ මේ ලෝකයේ ඇතැම් දෙනා රූපයෙන්, ගුණයෙන්, බලයෙන්, හැකියාවෙන් වත්පොහොසත්කමින් සමානයි. එහෙත් අපේ බුදුරජාණන් වහන්සේ අසමසමයි. ඒ කියන්නේ ඒ වගේම උතුම් ගුණ තිබෙන්නේ තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. අනෙක් සියලු දෙනාම අසමානයි. කිසිවකුට සම කළ නොහැකියි.

බොදු දරුවන් ලෙස අප පුංචි කාලයේ පටන් උදේ, සවස

"බුද්ධං සරණං ගච්ඡාමි"...

කියලා සරණ යන්නේ ඒ උතුම් මනුෂ්‍ය රත්නයයි. අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ හරියට මඩදිය පිරුණු පොකුණක පිපුණ ලස්සන නෙලුමක් වගෙයි. හාත්පස සුවඳ විහිදුවනවා. පව් කරන මිනිසුන් අතරේ ගුණ සුවඳ විහිදුවමින් අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා.

ඉතින් දුවේ පුතේ, බුදුරජාණන් වහන්සේට මේ ආකාරයට හැම දෙයකින් ම සම්පූර්ණ වෙන්න හැකි වුණේ උත්සාහය නිසයි. උන්වහන්සේ බෝසතාණන් වහන්සේ විදිහට එක් එක් ආත්මවල ඉපදෙමින් බොහෝ පින් රැස් කර ගත්තා. තමන් සතු හැම දෙයක් ම අනෙක් අයට දන් දුන්නා. හොඳින් සිල් රැක්කා. ඉලක්කයක් ඇතිව, තමන් කැමැති දෙයට වීර්යය කළා. හොඳින් නුවණ දියුණු කර ගත්තා. අපිට හිතාගන්නවත් බැරි විදිහට ඉවසීම පුරුදු කළා. කවදාවත් බොරු කිව්වේ නැහැ. සත්‍ය වචනය ම පුරුදු කළා.

කවදාවත් අනෙක් කෙනා පහත් කරලා වචන පිට කළේ නැහැ. අහංකාර වුණෙත් නැහැ .ජීවිතයේ දුක් බර, කටුක කාලවල දී කඩා වැටුණෙත් නැහැ. මේ විදිහට අපමණ ගුණධර්ම පුරුදු කරලා තමයි සම්මා සම්බුද්ධත්වයට පත්වුණේ.

දුවේ, පුතේ එලෙස අවබෝධ කර ගත් ධර්මයයි උන්වහන්සේ අපට කියා දුන්නේ. ඒ සද්ධර්මය පුරුදු පුහුණු කළොත් තමයි අපට යහපත සැලසෙන්නේ.

බුදුරජාණන් වහන්සේ ගැන මේ ලෝකයේ හැමෝටම අහන්න වෙන්නේ නෑ. මිනිසුන් අතර ඉතාම සුළු පිරිසකටයි ඒ උතුම් මනුෂ්‍ය රත්නය ගැන අහන්න ලැබෙන්නේ. බොහෝ මිනිසුන් අවාසනාවන්තයන් ලෙස මේ ලෝකය අත හැරලා මිය යනවා. ඒත් පුංචි ඔබට ඒ වාසනාව උදා වුණා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන තව තව ඉගෙන ගන්නටයි. සිත පහදවාගෙන මුළු හදවතින් ම උන්වහන්සේ සරණ යන්නට යි. සරණ යනවා කියන්නේ ජීවිතයේ හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ සිහි කරමින් ‘මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. මට පිහිට උන්වහන්සේ පමණයි’ කියලා උතුම් පැහැදීමකට පත්වීමයි. උන්වහන්සේ දේශනාකොට වදාළ ධර්මය පිළිපැදීමයි.

එනිසා පුංචි කාලයේ පටන් ම ඔබත් උන්වහන්සේ අයහපත්, නරකයි, මේ දේ කළොත් දුක් විපාක ලැබෙනවා යැයි දේශනා කළ දේ අතහරින්නට පුරුදු පුහුණු වන්නට ඕනෑ. ඒ වගේ දරුවන්ට කවදාවත් අයහපතක් වන්නේ නැහැ. වරදින්නේ නෑ. යහපතම සැලසෙනවා. එනිසා පින්වත් දුවේ, පුතේ හැබෑම වාසනාවන්තයා වෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඔබයි. මේ ජීවිතයේ උදාර දේ ලැබෙන්නෙත්, අපගේ මරණයෙන් පසු ජීවිතයේත් යහපත සැලසෙන්නේ එවැනි ගුණදහම් පුරුදු කරන කෙනාට පමණයි.

ඒනිසා ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ගැන තව තවත් සිත පහදවාගෙන උන්වහන්සේ සරණ යන්න ඔබ හැම වාසනාව උදාකර ගන්නට ඕනෑ. දහම් පාසල් යන දරුවකුගේ වගකීම එයයි.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]