[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරාජය කියලා දෙයක් නෑ... උත්සාහය ශ්‍රේෂ්ඨයි

පරාජය කියලා දෙයක් නෑ... උත්සාහය ශ්‍රේෂ්ඨයි

පින්වත් දුවේ පුතේ, මේ ලෝකයේ හැම දේටම හැම කෙනෙක්ම දක්ෂ නැහැ. “ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියන අපේ පැරැණි කියමන අසා තිබෙනවා නේද? ඕනෑම කෙනකුට එක් දක්ෂතාවක් හරි පිහිටා තිබෙනවා. ඒත් බොහෝ දෙනා තුළ ඇති ඒ දක්ෂතාව සැඟවිලයි තිබෙන්නේ. එය ඔප කරලා ගැනීම තමයි වැඩිහිටි අපි කරන්නේ.

ටිකක් හිතලා බලන්න. දවසක් ගෙවිලා දවසක් උදා වෙන්නේ මොනතරම් වේගයෙන් ද? ගෙවන දවසක් ගණනේ අපිට ජීවත්වෙලා ඉන්න තිබෙන කාලයත් දවසින් දවස අඩු වෙනවා. වෙන විදිහකින් කියනවා නම් මේ මනුස්ස ලෝකයේ අපට ජීවත් වෙන්න තිබෙන්නේ බොහොම ටික කාලය යි.

එහෙත් ඒ ටික කාලයේ දී අපට කරන්නට බොහෝ දේ තිබෙනවා. පාසල් කටයුතුවල පටන් එදිනෙදා ජීවිතයේ සෑම යහපත් කටයුත්තට ම උත්සාහය, ධෛර්යය, වීර්යය, කැපකිරීම අත්‍යවශ්‍යයි. කම්මැලි වුණොත් අපි පරදිනවා. ඒත් ජය, පරාජය දෙකම ජීවිතයට හිමියි. ඒ නිසා පරාජය පිළිගන්නටත් අපි පුරුදු වෙන්නට ඕනෑ.

දුවේ පුතේ, 1964 වසරේ ජපානයේ පැවැත්වුණු ඔලිම්පික් ක්‍රීඩා උළෙල අපේ රටට සුවිශේෂයි. එම තරගාවලියේ මීටර දහදාහ දුර දිවීමේ තරගයට ලංකාවෙන් ඉදිරිපත් වුණේ කරුණානන්ද කියන තරුණයා. හොඳින් පුහුණුවීම් කරලා මේ තරුණයා එදා අධිෂ්ඨානයෙන් තරගයට ඉදිරිපත් වුණා.

තමන්ගේ උපන් බිමෙන් දුර ඈත රටක දී නන්නාඳුනන ප්‍රේක්ෂකයන් ඉදිරියේ තරගය ඇරඹුණා. තරගකරුවන් වේගයෙන් දිව ගියා. පළමුවැනියා, දෙවැනියා, තුන්වැනියා තරගය නිම කළා. අනෙක් ක්‍රීඩකයන් ටිකෙන් ටික පසු බෑවා. තරගය අවසන් නොකරම ක්‍රීඩා පිටියෙන් ඉවත් වුණා.

ඒත් අපේ කරුණානන්ද ක්‍රීඩකයා එහෙම කළේ නෑ. සිතේ තිබුණේ එකම අධිෂ්ඨානය පමණයි. ඒ, මේ තරගය අවසන් කිරීම යි. ඔහු තමයි අන්තිමට ම දිව ගිය ක්‍රීඩකයා. ධාවන පථයේ කිසිවෙක් සිටියේ නෑ. එහෙත් ඔහු තනිවම දුවනවා. තරගය අවසන් කරන්නට තවත් වට හරතක් දුවන්නට ඕනෑ. පළමු වටය දුවන විට තරගය නරඹමින් සිටි අය මේ තරුණයාට

“අර තවම දුවනවා”

කියමින් හිනා වුණා.

දෙවැනි වටයේදීත් ඔවුන් කෑ ගසමින් හිනා වුණා.

තුන්වැනි වටයේ දී ලක්ෂ සංඛ්‍යාත නරඹන්නන් නිහඬ වුණා. ආසනවලින් නැඟිට්ටා.

අවසාන හතරවැනි වටයේ දුවන විට ප්‍රේක්ෂකාගාරය අත්පුඩි ගසමින් පී‍්‍රතියෙන් කෑ ගසමින් ඔහුට ශක්තියක් වුණා. ඔබ දන්නවා ද? මේ තරුණයා ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පරාජිතයා විදිහට සම්මානයට පාත්‍ර වුණා.

අදටත් ජපානයේ සෑම පාසලක ම “පරාජය කියලා දෙයක් නෑ. උත්සාහය ශ්‍රේෂ්ඨයි” කියලා ඔහුගේ ඡායාරූප සහිතව පාසල් පෙළපොතට ඇතුළත් කර තිබෙනවා.

එනිසා දුවේ, පුතේ, අපේ හැකියාවන්, ගුණධර්ම දියුණු කර ගන්නට උත්සාහ කරන විට අපේ හිත කඩා වැටෙන්න පුළුවන්. අපේ හිතම අපට කියනවා. “මට මේ දේ කරන්න බැහැ” කියලා. වරදකින් මිදෙන්න උත්සහ කරද්දී යාලුවෝ අපට හිනා වෙනවා. ඒත් අපි අපේ ඉලක්කයට යන්න ඕනෑ. වැටෙන්න පුළුවන්. එවිට නැඟිටින්න. වැටි වැටී නැඟිටින්න. සාර්ථකත්වයේ පී‍්‍රතිය, සතුට ඇසෙන දවසක් එනවා. ඒ දවස ළඟා කර දෙන්නට කිසිවෙක් නෑ. ඒ හැකියාව තිබෙන්නේ තමන්ටම යි. අවශ්‍ය වන්නේ අධිෂ්ඨානය සහ උත්සාහය යි.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]