[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආදිවාසි දරුවන්ගේ නැණ ගුණ දම් වඩන දඹානේ සදහම් පියස

ආදිවාසි දරුවන්ගේ නැණ ගුණ දම් වඩන දඹානේ සදහම් පියස

දඹාන මංසන්ධියේ සිට ආදිවාසි ගම්මානය දෙසට සැතපුම් භාගයක් පමණ ගොස් දඹාන විද්‍යාලය සමීපයෙන් දකුණට හැරී වතුයාය ගම්මානය පසුකරමින් ගුරුකුඹුරට පිවිසෙන මාර්ගයේ ගොස් එයින් වමට හැරී මීටර් සියයක් පමණ ගිය විට ආදිවාසි ජනඋරුම බෞද්ධ මධ්‍යස්ථානය හමුවෙයි.

මෙහි ආරම්භය 2010 වසරේ දී ය. නැඟෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක ගෞරවණීය මීගහකිවුලේ සුගතවංශ නාහිමිගේ අනුශාසනා පරිදි ආදිවාසි නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ ප්‍රධාන දායකත්වය සහිත ව පවත්වාගෙන යන විහාරස්ථානයකි.

එතුමාගේ දැඩි කැපවීම සහ උත්සාහය නිසා ම ආරම්භ කර වසර දොළහක් ඇතුළත සංඝාවාසයක්, ජලය ලබා ගැනීමට ළිඳක් සහ දහම්පාසල පවත්වාගෙන යාමට විශාල ගොඩනැඟිල්ලක් ඉදිකර විදුලි ආලෝකය ලබා ගැනීමට ද කටයුතු කර ඇත.

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් ද රෝපණය කර තිබේ. ඒ වටා ඉදිවුණු රන්වැටක් ද වෙයි. ප්‍රදේශයේ පවතින දාගැබ්වලින් මහියංගණ දාගැබට පමණක් දෙවැනි වන මහාසෑයක් විහාර මලුවේ ඇත. “සිරි ශාක්‍ය පුත්‍ර සීවලී මහා සෑරදුන්” නමින් හඳුන්වන මෙම දාගැබ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති වතුරකුඹුරේ ධම්මරතන නා හිමියන්ගේ මඟ පෙන්වීම අනුව ඉදිකර ඇත. දහම් පාසල් ගොඩනැඟිල්ල ඉදිකර ඇත්තේ අත්තනගල්ල විහාරාධිපති පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ මූල්‍ය අනුග්‍රහයෙනි.

විහාරස්ථානය ආරම්භ කිරීමට පෙර මෙම ස්ථානයෙහි පැරැණි ශාලාවක් විය. එහි පළමු වරට දහම් පාසලක් ආරම්භ කර පවත්වාගෙන ගොස් තිබේ. මේ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ ගුරුකුඹුර විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු වූ විජේරත්න මහතා ය. එතුමාට නොමඳ සහයක් කිරිබණ්ඩා මහත්මා දක්වා ඇත. එම දහම් පාසල “ආදිවාසී ජනඋරුම දහම් පාසල” නමින් හඳුන්වයි.

දහම් පාසල් අධ්‍යාපනය අවසන් කරන දරුවන් වෙතින් ඉටුවිය යුතු සමාජ මෙහෙය පවත්වා ගෙන යාමටත්, බෞද්ධ ප්‍රබෝධය රැක ගැනීමටත් තරුණ දරුවන් යොමු කිරීමේ අරමුණින් කොළඹ තරුණ බෞද්ධ සංගමයට අනුබද්ධ ආදිවාසි තරුණ බෞද්ධ සංගමයක් ද ආදිවාසි දරුවන්ගේ දහම් පාසල කේන්ද්‍ර කරගෙන ආරම්භ කර ඇත. දහම් දැනුම ලබා ගැනීමට ප්‍රමාණවත් මේස, පුටු, බංකු නොමැති නිසා ගස් යට පැදුරු මත සිට දහම් දැනුම ලබා ගනියි.

දරුවන්ගේ දහම් දැනුම ඉහළ නැංවීමට දහම් පුස්තකාලයක අඩුවක් පවතී. ඉරිදා දහම් පාසල ආරම්භ කළ මුල් අවධියේ දරුවන් දහයක්වත් සිට නැත. එහෙත් විහාරස්ථානයේ දියුණුවත්, ගල්පෝරුයායේ ප්‍රදීපවංශ හිමියන්ගේ සහ ආදිවාසි නායකතුමාගේ පූර්ණ කැපවීම මත දැනට දරුවෝ එකසිය අසූව ඉක්මවා දහම් අධ්‍යාපනය ලබමින් සිටිති. ප්‍රාදේශීය දහම් පාසල් තරගවලට ඉදිරිපත් වී ජයග්‍රහණ ලබා ගැනීමට ද සමත් වී ඇත. දහම්පාසල් අවසාන විභාගයටත්, ධර්මාචාර්ය විභාගයටත් ඉදිරිපත් වෙමින් ජයග්‍රහණ ලබා තිබේ.

සවස පහට විහාරයට පැමිණෙන දරුවන් විහාර මලුව, දාගැබ් මලුව, ධර්ම ශාලාව ආදිය අමදියි. භික්ෂූන් වහන්සේ සමඟ වන්දනාවට එක්වන දරු පිරිස සවස හයයි තිහේ සිට නවය දක්වා පාඩම් කටයුතුවල නිරත වේ. දහම්පාසල් ගුරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සියලු කටයුතු සිදු වේ.

සුන්දර පරිසරයක පිහිටා ඇති ආදිවාසී ජනඋරුම බෞද්ධ මධ්‍යස්ථානය බෞද්ධ ජනතාවට ලබා දෙන්නේ අනගි ආදර්ශයකි.

ආදිවාසී ජනඋරුම බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවිදි බිමට පත්වීමට කුලදරුවෝ තිස් දෙනකු ඉදිරිපත් වී සිටිති. එක් දරුවෙක් ආදිවාසී නායක වන්නිලැත්තන්ගේ මුනුබුරෙකි. උන්වහන්සේලාගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපකරු දායකත්ව ශිෂ්‍යත්ව ක්‍රමයක් පිරිනැමීමටත්, වැඩ සිටීමට දෙමහල් සංඝාවාසයක් ඉදිකිරීමටත් අදහස් කරගෙන සිටියි. ඒ සඳහා පින්වත් දානපතියන්ට ආරාධනා කරන බව ආදිවාසී නායකතුමා සහ විහාරාධිපති හිමියෝ සිහිපත් කරති.

සතුන් දඩයම් කරමින් දිවි ගෙවූ ආදිවාසි ජනයා පින්වත් ආදිවාසී නායකයකුගේ මඟ පෙන්වීමෙන් තෙරුවන් සරණ ගොස් බෞද්ධ දර්ශනය අවබෝධ කරගෙන නිවැරැදි මාර්ගයේ ගමන් කරමින් සිටිති.

ඔහු තමන්ගේ පරපුරේ ජනයාට තවදුරටත් සේවය කිරීමට අපේක්ෂා කරයි. ඒ සඳහා දේශීය විදේශීය කාරුණික බෞද්ධ ජනතාවගේ සහාය අපේක්ෂා කරයි. පසුගිය කාලයේ රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් ව ජයග්‍රහණය කළ මිලියනයක මුදල වියදම් කර ඇත්තේ විහාරස්ථානයේ සංවර්ධනය වෙනුවෙනි. බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් ඔහුට ඇත්තේ ගැඹුරු දැක්මකි.


බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]