[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිවිතුරු බුදුදහම ලෝකයට දායාද කිරීමෙන් ලංකාවට හොඳ අනාගතයක් ගොඩනඟා ගත හැකියි

පිවිතුරු බුදුදහම ලෝකයට දායාද කිරීමෙන් ලංකාවට හොඳ අනාගතයක් ගොඩනඟා ගත හැකියි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ජර්මනියේ ප්‍රධාන සංඝනායක ස්විට්සර්ලන්තයේ ජිනීවා බෞද්ධ පදනමේ සහ සූරිච් බෞද්ධ විහාරස්ථානයෙහි ප්‍රධාන ආධ්‍යාත්මික උපදේශක යටියන ශ්‍රී සුදර්ශන භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ අධිපති ආචාර්ය වල්පොල කල්‍යාණතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

විදේශීය ධර්ම ප්‍රචාරයේ නියැළෙන සුපේශල ශික්ෂාකාමී පඬිරුවනක් වශයෙන් කීර්තිධර ඔබ වහන්සේ භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් පෝෂණය වීමේදී පුංචි කාලයේ ගුරු හාමුදුරුවන්ගෙන් ලැබුණු ආභාසය සිහිපත් කරමින් එම පසුබිම සකස්වුණු ආකාරය පැහැදිලි කරන්න අපේ හාමුදුරුවනේ,

ස්වභාව සෞන්දර්යයෙන් අනූන මිනුවන්ගොඩ වල්පොල ග්‍රාමයේ දී තමයි ජන්ම ලාභය ලැබුවේ. මගේ ජන්මෝත්පත්තිය සිදුවුණේ 1954 වර්ෂයේ සැප්තැම්බර් මස 18 වැනිදා. ආඬිඅම්බලම බෞද්ධ විද්‍යාලය, වල්පොල රතනසාර විද්‍යාලය, ආඬිඅම්බලම මහා විද්‍යාලය යන විද්‍යාලයන් තුළින් මූලික ගිහි අධ්‍යාපනය ලැබුවා. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න, සද්ගුණවත් මව්පියන්ගෙන් ලැබුණු ආභාසයත්, පෙර සංසාරයේ පුරණ ලද පාරමිතා බලයත් ඉස්මතු වීමත් සමඟ කුඩා අවධියේ සිටම සසුන් බඹසර රැකීමේ ආසාවක් ඇතිවුණා. ඒ අනුව පූර්වෝපචිත කුසලශි‍්‍රයෙන් විරාජමානව 1967 වර්ෂයේ මාර්තු මස 05 වැනි දින වල්පොල කල්‍යාණතිස්ස යන උත්තරීතර ශාසනික නාමයෙන් උතුම් සම්මාසම්බුද්ධ ශාසනයේ ප්‍රව්‍රජ්‍යාභාවය ලබා ගන්න තරම් භාග්‍යසම්පන්න වුණා.

පැවිදි ආචාර්යපාදෝත්මයාණන් වහන්සේ වුණ යටියන සරණතිස්ස නාහිමි, දොරණාගොඩ සදානන්ද මහ පිරිවනේ කුරුකොහොගොඩ ජිණානන්ද නාහිමි හා උපාධ්‍යායන් වහන්සේ වශයෙන් කටයුතු කළ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ උපකුලපති වූ කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමි, වගේම සහාය ආචාර්ය වූ ආඬිඅම්බලමේ සුගුණතිස්ස නාහිමි, යටියන විපුලතිස්ස නාහිමි යන බෝධිසත්ත්ව ගුණෝපේත ධර්ම විනයධර ශ්‍රද්ධා සම්පන්න ආදර්ශවත් සංඝ නේතෘන් වහන්සේ පුණ්‍යානුමෝදනා පූර්වක ව පාදාභිවන්දනයෙන් යුතුව ගෞරවයෙන් මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි.

පැවිදිවීමෙන් අනතුරුව ආඬිඅම්බලම වේළුවනාරාම පිරිවෙන, සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙන, පානදුර පින්වත්ත සද්ධර්මාලංකාර පිරිවෙන, දෙල්ගොඩ කල්‍යාණප්‍රදීප පිරිවෙන යන දීප්තිමත් පරිවේණස්ථානවල වැඩ සිටි සාර්වභෞම පාණ්ඩිත්‍යයෙන් අනූන සංඝසෝභන ගුණයන්ගෙන් සම්භාවනාවට පාත්‍ර වුණ වියත් ඇදුරු මඩුල්ලක් හමුවේ ශාසනානුලෝමී හැඟීමෙන් යුතුව ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට 1975 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී 1975 වර්ෂයේ සිට 1978 වර්ෂය දක්වා ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තා. ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබා ගත් කාල පරිච්ඡේදයේ දී ම නිසි වයස සම්පූර්ණවීමත් සමඟ 1976 වර්ෂයේ මැයි මස 17 වැනි දා උතුම් සුපරිසුද්ධෝපසම්පදාව ලබා ගැනීමට තරම් පූර්වෝකෘත පුණ්‍යමහිමය බලවත් වුණා.

උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව 1980 වර්ෂයේ දී කඳුබොඩ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ භාවනා පුහුණුව ලබා ගත්තා. 1981 වර්ෂයේ සිට 1986 වර්ෂය දක්වා ඉන්දියාවේ කල්කටා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, ආචාර්ය උපාධියත් ලබා ගැනීමට කටයුතු කළා. 1987 වර්ෂයේ සිට 1990 දක්වා ප්‍රංශයේ ඩිගෝල විශ්ව විද්‍යාලයෙන් ප්‍රංශ භාෂා සාහිත්‍ය හදාරා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හැදෑරීමට කටයුතු කළා.

1990 වර්ෂයේ දී නැවතත් ශ්‍රී ලංකාවට වැඩම කරමින් 1991 වර්ෂය දක්වා බත්තරමුල්ල චිත්ත විවේකාශ්‍රයේ දී අතිපූජනීය වන්දනීය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මාහිමිපාණන් වහන්සේ ඇසුරේ අනුශාසනා ලබමින් ධර්මවිනය පුහුණුව ලැබීමට තරම් මා පුණ්‍යවන්ත වුණා.

අග්‍රගණ්‍ය බහුශ්‍රැත ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සිදුකරන ධර්ම ශාස්ත්‍රීය සේවය පිළිබඳ සඳහන් කරනවා නම් නායක හාමුදුරුවනේ,

1986 වර්ෂයේ දී ඉන්දියාවේ මහාබෝධි සමාගමට සම්බන්ධවෙලා සාරානාත්හි භික්ෂු පුහුණු අභ්‍යාස විද්‍යාලය ආරම්භ කරමින් එහි විදුහල්පති ලෙස කටයුතු කරමින් ධර්ම ශාස්ත්‍රීය සේවයෙහි නියැළුණා. 1991 වර්ෂයේ දී යුරෝපයේ පැරැණිතම විහාරස්ථානය වන ජර්මනියේ බර්ලින් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් 1995 වර්ෂය දක්වා ධර්මදූත සේවයෙහි නියැළෙමින් ලෝක ආගමික ශාසනික සේවයෙහි නිරතවුණා.

ජාතික හා ජාත්‍යන්තරව සිදුකරන සේවය ඇගයීමට ලක් කරමින් ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය වෙතින් “අභිධර්ම වාගීශ්වරාචාර්ය” ගෞරව නාමයෙන් සම්භාවනාවට පාත්‍ර වුණා.1995 වර්ෂයේ දී ප්‍රංශයේ අධිකරණ සංඝනායක ධුරයෙන් ද පිදුම් ලැබුවා. 1995 වර්ෂයේ දී මිනුවන්ගොඩ යටියන ශ්‍රී සුදර්ශනාරාමය ආරම්භ කරමින් එහි අධිපතිත්වය හොබවමින් වර්තමානය වන විට ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කළා.

1996 වර්ෂයේ සිට වර්තමානය දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා බෙද්ධ පදනම හා සුරිචි බෞද්ධ විහාරයේ ආධ්‍යාත්මික අධ්‍යක්ෂවරයා වශයෙන් ලෝක ශාසනික සේවය සිදුකරමින් 2016 වර්ෂයේ දී කටාන මඩම්පැල්ලේ ස්විස්ලංකා ධම්ම මධ්‍යස්ථානය නමින් භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කරන්නට කටයුතු කළා. වෙසක් දිනය එක්සත් ජාතීන් විසින් පිළිගැනීම මුල්කොට ගනිමින් ශ්‍රී ලංකා තායිලන්ත මියන්මාර් රාජ්‍ය නියෝජිතයා වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයා ලෙස කටයුතු කරමින් ඒ යටතේ අපි‍්‍රකාව, ලතින් අමෙරිකාව හා දකුණු යුරෝපීය රටවල් 30 ක ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා සහාය ලබා දුන්නා.

ජාතික හා ජාත්‍යන්තරව සිදුකරන ලෝක ශාසනික සේවය වෙනුවෙන් අස්ගිරි මහා විහාර පාර්ශ්වය වෙතින් කැලණි විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් විසින් එංගලන්ත තේමිස් බෞද්ධ විහාරස්ථානයේ දී ගෞරව උපාධියක් පිරිනැමීමට කටයුතු කළා. ලෝක ආගමික සේවය තවදුරටත් සම්භාවනාවට පාත්‍රකරමින් 2004 වර්ෂයේ දී ස්විට්සර්ලන්තයේ දී ගෞරව උපාධියක් ද, 2005 වර්ෂයේ දී වෙනිසියුලා විශ්ව විද්‍යාලයෙන් සම්මාන ආචාර්ය උපාධියක් ද පිරිනැමීමට කටයුතු කළා.

විදේශීය ධර්මදූත සේවාවේ නියැළී සිටින ස්වාමීන් වහන්සේ අතරින් ජ්‍යෙෂ්ඨතම ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් අගයෙන් අගය කළ යුතු විශිෂ්ට ධර්මදූත සේවාවක නියැළෙන ඔබ වහන්සේ ලෝක බෞද්ධ ප්‍රජාව කෙරෙහි බලපාන නානාප්‍රකාර අභියෝග හමුවෙහි අප පෙළ ගැසිය යුතු ආකාරය පිළිබඳ පැහැදිලි කරමින් අපේ සාකච්ඡා අවසන් කරමු නායක හාමුදුරුවනේ,

භික්ෂූන් වහන්සේ දේශපාලනයෙන් ඉවත්විය යුතු බවයි මගේ අදහස. භික්ෂූන් වහන්සේට අයිති කාර්යභාරය පමණක් ඉටුකරනවා නම් ලෝකයේ ඕනෑම රටක සුන්දර ධර්මය දේශනා කළ හැකියි.

ලෝක ප්‍රජාව අතර විවිධ ගැටලු තිබුණත්, බුදුරජාණන් වහන්සේ ලෝකයා වෙත දේශනා කළ ධර්මයෙන් ලබා දෙන පණිවිඩය වෙනසක් වන්නේ නැහැ. එම පණිවිඩයට හානියක් නොවන ආකාරයට ඉදිරියට රැගෙන යන්න හැකියාව තිබෙන්නේ ථෙරවාදී භික්ෂූන් වහන්සේටයි. ලංකාව ලෝකයට පිවිතුරු බුදුදහම රැගෙන යන මධ්‍යස්ථානයක් ලෙස සලකන්න පුළුවන්.

භික්ෂූන් වහන්සේ දේශපාලනයෙන් ඉවත්වෙලා නිර්මල ථෙරවාදී බුදුදහම නිවැරැදි ව භික්ෂූන් වහන්සේට ලබා දෙමින් ලෝක ප්‍රජාව අතර බුදුරජාණන් වහන්සේගේ උතුම් පණිවිඩය දායාද කරනවා නම්, බුදුදහම හරහා ලංකාවට දේශපාලන, ආර්ථික ප්‍රශ්න ඇති නොවන අනාගතයක් ගොඩනඟන්න පුළුවන්. එවිට ස්වාමීන් වහන්සේ වෙතින් විදේශිකයන්ගෙන් විශාල සහයෝගයක් ලබා ගත හැකියි. එතුළින් විශාල විනිමය ප්‍රමාණයක් ලංකාවට රැගෙන එන්න පුළුවන්. හොඳ සංවර්ධනයක්, යහපත් අනාගතයක් බුදුදහම හරහා ගොඩනඟන්න පුළුවන්කම තිබෙනවා. ලෝක ධර්ම දූත සේවය සඳහා ධර්මදූතයන් වහන්සේ පුහුණු කරන ආයතනයක් ලංකාවේ ගොඩනැඟෙන්න අවශ්‍ය යයි කියා මා විශ්වාස කරනවා.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]