[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුගති ලෝකය හිමි ආර්ය ශ්‍රාවිකාව

සුගති ලෝකය හිමි ආර්ය ශ්‍රාවිකාව

"අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටි අනුරුද්ධ මහ රහතන් වහන්සේට ඕනෑම දෙයක් දිවැසින් දකින්නට පුළුවන්. දිනක් අනුරුද්ධ මහ රහතන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩියා. උන්වහන්සේ දුටු දිව්‍යාංගනාවෝ පිරිවර පිටින් පැමිණ උන්වහන්සේට වන්දනා කළා. "

මේ සම්බුද්ධ ශාසනය පිවිතුරු යි‍. ඒ පිවිතුරු ශාසනයෙන් පිහිට, පිළිසරණ ලැබූ පිරිසක් ඉන්නවා. ඒ තමා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස. භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ සිටි බොහෝ භික්ෂුන් වහන්සේ ධර්මය අවබෝධ කර ගෙන පිරිනිවන් පෑවා.

ඒ වගේම භික්ෂුණීන් වහන්සේත් ධර්මය අවබෝධ කරගෙන පිරිනිවන් පෑවා. බොහෝ භික්ෂූන් වහන්සේ සෝතාපන්නව, සකදාගාමිව, අනාගාමීව ධර්මය අවබෝධ කර ගත්තා. එදා සිටි බොහෝ භික්ෂුණීන් වහන්සේත් සෝතාපන්නවී, සකදාගාමිවී, අනාගාමි වී, ධර්මය අවබෝධ කර ගත්තා. මේ බුද්ධ ශාසනයේ උපාසක පිරිසත් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි ශ්‍රාවක පිරිසක් බවට පත්වුණා.

භාග්‍යවතුන් වහන්සේගේ සිව්වනක් පිරිස එතැනින් ඉවර නැහැ. සිව්වනක් පිරිසට ශ්‍රාවකා උත්තමාවියොත් අයිතියි.‍

මේ ජීවිතයේ කාන්තාවකට ආවේණික වූ දුක් ‍ විශාල ප්‍රමණයක් තිබෙනවා. ඒ දුක් විඳීමින් නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින ඇය ධර්මය ජීවිතයට ළංකර ගත්තොත් ඇයගේ ජීවිතය සාර්ථක යි. ගුණ ධර්ම ඇතිකර ගන්නා කාන්තාවට ඒකාන්තයෙන් ම සුගති ලෝකය හිමියි.

භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ගිහි ජීවිතය ගත කළ බොහෝ උපාසිකාවන් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි වුණා. ඔවුන් දැන් දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ ඉපදී සිටිනවා. ඒ ශ්‍රාවිකා‍වෝ මේ ධර්මය පුරුදු කළා. කිසිදු දෙයක් නොතේරෙන හැඳී මිටේ නුවණ පමණක් ඇතැයි ඇතැම් අය කියන මේ කාන්තාවට මෙවැනි ගම්භීර ධර්මයක් ‍අවබෝධ වේවිද කියලා සිතෙන්නට පුළුවන්. එහෙත් ගැහැණුකම පරදවා සසරින් එතෙර වූ උත්තමාවියෝ බුදු සසුනේ වැඩ සිටියා.

කාන්තාව නිසාත් මේ බුද්ධ ශාසනය බැබැළුණු ආකාරය ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගොස් ශ්‍රාවිකාවක් බවට පත්වුවහොත් ඒ හැම දෙනාටම නිදා පිබිදියාක් මෙන් සුගති ලෝකයක උප්පත්තිය ලබන්න පුළුවන්.

භාග්‍යවතුන් වහන‍්සේගේ බුද්ධ ශාසනයේ අපට ඕනෑ තරම් සුගති ලෝකයේ උපත ලැබූ ශ්‍රාවිකාවන් මුණ ගැසෙනවා. ඒ සම්බන්ධව ඉතා සුන්දර දේශනාවක් තිබෙනවා අනුරුද්ධ මනාපකායික සූත්‍රය කියා.

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටි අනුරුද්ධ මහ රහතන් වහන්සේට ඕනෑම දෙයක් දිවැසින් දකින්නට පුළුවන්. දිනක් අනුරුද්ධ මහ රහතන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩියා. උන්වහන්සේ දුටු දිව්‍යාංගනාවෝ පිරිවර පිටින් පැමිණ උන්වහන්සේට වන්දනා කළා.

ඉතා අලංකාරව බැබළෙමින් සිටි මේ දිව්‍යාංගනාවෝ මනුස්ස ලෝකයේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකාවන්. ඉතින් මේ දිව්‍යාංගනාවෝ අනුරුද්ධ මහ රහතන් වහන්සේට වන්දනා කර පැත්තකින් වාඩි වුණා. මනුස්ස ලෝකයේ දී නොයෙක් ආකාරයෙන් පින් කරලයි ඒ මනාපකායික දෙවියන් අතර ඒ අය උපන්නේ. මේ දිව්‍ය පිරිස අනුරුද්ධ මහ රහතන් වහන්සේට වන්දනා කරද්දී උන්වහන්සේ සිතුවා මේ පිරිස කහපාට වේවා කියලා. සිතූ පමණින් පිරිස කහපාට වුණා. ඉන්පසුව සිතුවා මේ පිරිස සුදුපාට වේවා කියා. සුදුපාට වුණා.

සවස් කාලයේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි විහාරයට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ වන්දනා කර මෙසේ අසා සිටියා.

“ස්වාමිනි ස්ත්‍රියක් කුමන ආකාරයෙන් ධර්මයෙන් යුක්ත වුයේ නම් ද කය බිඳී මරණින් මත්තේ සුගති ලෝකයේ මනාපකායික දෙවියන් අතර ඉපදෙන්නේ?”

මනාපකායික දිව්‍ය ලෝකය කියන්නේ නිම්මානරතියට යි. ස්ත්‍රියක් නිරන්තරයෙන් ගුණ ධර්ම පුරුදු‍ කළොත් ස්ත්‍රිත්වය ඉක්මවා චාතුම්මහාරාජිකය, තව්තිසාව, තුසිතය, යාමය දිව්‍ය ලෝක පසුකරලා නිම්මානරතියේ ඉපදෙන්න පුළුවන්. සමහර විට ඔබට සිතෙයි දිව්‍ය ලෝකයේ යන්න ලොකු පින්කම් කරන්න ඕනේ කියලා. නමුත් මේ දේශනාවේ සඳහන් වන ගුණධර්ම කාන්තාවක් පුරුදු කරනවා නම් ඇයට ඒකාන්තයෙන් ම ඉහළ දිව්‍ය ලෝකයකට යන්න පුළුවන්කම තිබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා,

යම්කිසි තරුණියක් මව්පියන්ගේ යහපත කැමැතිව වාසය කරනවා. ඔවුන්ට හිතවත්ව, අනුකම්පාවෙන් උපස්ථාන කරනවා. ඒ වගේම මව්පියන් නිසි වයසේ දී ඇයව විවාහ කර දුන් පසුව ඒ ස්වාමියාට කීකරුව වාසය කරන්න ඕනේ. ස්වාමියාට පළමුව අවදිව නිවසේ තිබෙන සියලු කටයුතු සොයා බලා කළ යුතු වෙනවා. රාත්‍රියට සියලු දෙනාම නින්දට ගිය පසුයි ඇය නිදන්න ඕනේ. ඇයට ස්වාමියා කෙරෙහි ප්‍රිය මනාප වචන මෙන් ම ප්‍රිය මනාප හැසිරීම් තිබෙන්න ඕනේ. මේ ගුණ ධර්මය ඇති තැනැත්තිය නිම්මානරතී දිව්‍ය ‍ලෝකයේ ඉපදෙනවා.

ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළා තමන්ගේ ස්වාමියාගේ ගුරුවරු, මව්පියන්, වැඩිහිටියන් , ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා ද ඒ අයටත් සත්කාර ‍කරන්න ඕනේ. අද අපේ සමාජයේ බොහෝ කාන්තාවන් තමන්ගේ මව්පියන්ට හොඳට සලකන නමුත් සැමියා‍‍ගේ මව්පියන්ට සලකනවාට අකැමැතියි. එහෙත් දිව්‍ය ලෝකයේ ඉපදෙන ආර්ය ශ්‍රාවිකාව එහෙම නැහැ. ඇය ස්වාමියා‍‍ගේ මව්පියන්ට, නෑයන්ට, වැඩිහිටියන්ට සත්කාර කරනවා. ගෞරව කරනවා. බුහුමන් කරනවා. මේ සුගතියේ ඉපදෙන්න තිබෙන දෙවැනි කාරණාව යි.

ඒ ‍වගේම තමන්ගේ ස්වාමියා යම් රැකියාවක්, ව්‍යාපාර කටයුත්තක් කරනවා ද ඇය ඒ වැඩ කටයුතුවලට ඉතාමත් දක්ෂව උදව් උපකාර කරනවා. මෙය මනාපකායික දෙවියන් අතර ඉපදෙන තුන්වැනි කාරණාව යි.

ස්වාමියා යටතේ සේවකයන්, මෙහෙකරුවන් සිටිනවා ද, වැඩවලට උදව් උපකාර කරන අය සිටිනවා ද, මේ සේවකයන් ගැන සොයා බලා යුතුකම් ඉටුකර දෙනවා. ඇයගේ කාරුණික ගුණධර්ම හදවත නිතරම ඉස්මතු වෙනවා. ඒ පිරිස රෝගී වූවිට අවශ්‍ය ‍උදව් කර දෙනවා. කෑමට තිබෙන දේ වුවත් බෙදාහදාගෙන කනවා‍. එයත් නිම්මානරතියේ ඉපදෙන්නට කාරණාවක්.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාළා ස්වාමියා යම් ධනයක් රැස් කරනවා ද, මුදලක් උපයනවා ද එය විනාශ නොකර ඒ දේ ආරක්ෂා කරනවා. රකිනවා. ඒ වගේම ඇය සොර තැනැත්තියක්, දූර්ත තැනැත්තියක්, ලොල් තැනැත්තියක් නොවේ. ස්වාමියා් උපයන දේ, නොයෙක් දේ කියමින් විනාශ නොකර ආරක්ෂා කරනවා. එයත් සුගතියේ යන්න කාරණාවක්.

ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළා බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය සරණ ගොස් නිරන්තරයෙන් සිල්පද පහ ආරක්ෂා කරන තැනැත්තියක් වෙන්න ඕන. ඒ ආර්ය ශ්‍රාවිකාව ත්‍යාගවන්තියක්. ඇය මසුරු තැනැත්තියක් නොවේ. ඇය නිරන්තරයෙන් දන් දෙනවා. අනේ මට තිබෙන දෙයක් කවුරු හරි ඉල්ලාගෙන එනවා නම් මම ඒ දේ සතුටු සිතින් දෙනවා කියා නිතරම ඇය සිතනවා. ඇය දන් දෙන්න වගේම දන් බෙදන්නත් ඇලී කටයුතු කරනවා.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළා පින්වත් අනුරුද්ධ, මේ කරුණෙන් සමන්විත යම් ස්ත්‍රියක් ඇද්ද ඇය කය බිඳී මරණින් මතු හිසේ තිබූ බරක් බිම තබන්නාක් වේගයෙන් මනාප කායික දෙවිවරු සිටින නිම්මානරතියේ උපදිනවා කියා.

ඉහත දේශනාව දෙස බැලූ විට ආර්ය ශ්‍රාවිකාවකට කරන්න තිබෙන්නේ ගුණධර්ම කීපයක් පුරුදු කිරීම පමණයි. නමුත් ඇය ඒ සුළු සුළු දේ අතහැර “අනේ මට පින් කරන්න වෙලාවක් නැහැ” කියමින් තැවෙනවා නම් එය ඇයට සුදුසු දෙයක් නොවේ. එදා සිටි ආර්ය ශ්‍රාවිකාව කළෙත් මේ ගුණධර්ම පුරුදු කිරීම යි. අද සිටින ආර්ය ශ්‍රාවිකාවට කරන්න තිබෙන්නෙත් මේ ගුණ ධර්ම පුරුදු කිරීම පමණම යි.

පොසොන්
අමාවක

 ජුනි 28 අඟහරුවාදා පූ.භා. 05.54 අමාවක ලබා 29 බදාදා පූ.භා. 08.23 ගෙවේ.  
28 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]