[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් අමාවක 2022-06-28

අභියෝග ජය ගැනීම

නොලැබෙන දෙය ගැනම සිතමින් ඒ වෙනුවෙන් සුසුම් හෙළන, හඬා වැටෙන අය අප අතර කොපමණ වෙත් ද? කෙනෙක් නොලැබුණු දේ ලබා ගන්නට උත්සාහය, වීර්යය ගත්ත ද තවත් කෙනෙක් ඒ පසුපස හඹා යන්නේ අනුන් විපතට, කරදරයට පත් කරමින් තමන්ට ද අනර්ථයක් කර ගනිමිනි.

නොපසුබට උත්සාහයෙන්, දෑතේ වීර්යයෙන්, වෙහෙස මහන්සි වී යහපත් බලාපොරොත්තු, යහපත් අයුරින් මුදුන්පමුණුවා ගැනීම දහම් මඟ යන පුද්ගලයාගේ ස්වභාවයයි. දියුණුවන පුද්ගලයාගේ ස්වභාවයයි. ඒ උට්ඨාන වීර්යය ජීවිතයට අත්‍යවශ්‍ය අතර ම ලද දෙයින් සතුටු වීම ද ඒ තුළ අනිවාර්ය ය.

මෙකල බොහෝ දෙනෙක් විවිධ සමාජ, ආර්ථික ප්‍රශ්න නිසා ජීවත්වීම ඉතා අසීරු දෙයක්, කරදරයක් කොට සිතමින් මුහුණ දෙන්නට වන අපහසුතා හමුවේ තමන්ගේ ම කර්මයට දෝෂාරෝපණය කරන ආකාරය පෙනේ. තවත් කෙනෙක් ලෝ දහමේ සෘණාත්මක නියතයන් දරා ගන්නට නොහැකිව අධික මානසික පීඩනයට, අසහනයට පත්ව විවිධ රෝගාබාධයන්ට ගොදුරුවන ආකාරය ද දුලබ නැත. මිනිසත්කම ලැබීම ම පවා කරදරයක් ලෙස සිතන අය ද වෙති.

එහෙත් මේ කිසිවෙක් මේ ඝෝර සසර මඟ තමන්ට ලැබුණු වටිනා ම සම්පත ගැන, වාසනාව ගැන නොසිතති. ඒ සම්පත මිනිසත් බව ම ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ “දුල්ලභංච මනුස්සත්තං“ මිනිසත් බව ලැබීම ඉතා ම දුර්ලභ බව ය. ඝෝර සසර මඟ නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත භවය, අරූප (බහ්ම) ලෝක හා අසඤ්ඤතලය, ඉතාමත් නොදියුණු (ප්‍රත්‍යන්ත) ප්‍රදේශවල යන මෙබඳු තැන්වල උපත ලැබීම හෝ වාසය කිරීම, ඇස, කන, නාසය, දිව, ශරීරය යන පස් ඉඳුරන් විකලවීම, දරුණු ලෙස මිසදිටු අදහස් ගැනීම, ලොවට ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාරන්නා වූ සම්මා සම්බුදුවරයකු පහළ නොවූ කාලයක මිනිස් ලොව ඉපිද සිටීම යන අෂ්ට දුෂ්ටක්ෂණයෙන් දුරුව ක්ෂණ සම්පත්තිය ලබා ගැනීම ම මොන තරම් භාග්‍යයක් ද?

මිනිසා යනු මනසින් උසස් ම සත්වයා ය. එසේ උසස් මනසක් ලැබූවෙක් ජීවිතය ගැන කළකිරීම ම මොන තරම් අභාග්‍යයක් ද? ඕනෑම ප්‍රශ්නයකට සාර්ථක පිළිතුරක් ඇත. එය සොයා ගැන්ම යම් විටෙක අසීරු වූව ද නොපසුබස්නා වීර්යය තුළ ඒ තැනට ළඟා වීම අසීරු නැත. ඕනෑම කෙනකුට අපූර්ව ශක්තියක් උපතින් ම උරුම වී ඇත. අවාසනාව බොහෝ දෙනෙක් ඒ හැකියාව හඳුනා නොගැනීම ය. අනුන් කරන දෙය ම අනුකරණයට නොව තමන් ගේ නිර්මාණ ශක්තිය මෙහෙයවා දියුණුවට පැමිණීමට ඕනෑම පුද්ගලයකුට පුළුවන. අවශ්‍ය ඒ සඳහා මනස පුරුදු පුහුණු කිරීම ය. ඒ තුළ ඕනෑම දුෂ්කර අවස්ථාවක් ජය ගැනීම අසීරු නැත.

ඒ සඳහා බොහෝ ආදර්ශ බෞද්ධ සාහිත්‍ය තුළ මොන තරම් අන්තර්ගත ද?

ඉතා දිළිඳු තරුණයෙක් වූ චුල්ලන්තේවාසික මහා ධන සිටුවරයෙක් වූයේ මළ මීකුණක් විකිණීමේ පළමු පියවර මනා සිහිකල්පනාවෙන් ඉදිරියට වර්ධනය කර ගැනීමෙනි. තමන් තුළ සැඟවී තිබූ ශක්තිය සොයා ගැනීමෙනි. මේ ඝෝර සසර මඟ නවතා උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට යන මාවත තුළ ජීවත්වීමේ කලාව සම්බුදු දහම අපට උගන්වයි. ඒ සඳහා මාර්ගෝපදේශ ලබා දෙයි. අප තුළ සැඟවුණු ශක්තිය තේරුම් ගෙන ඒ දහම් මාවතට පිවිසෙන්නට හැකි නම් අභියෝගය ජය ගැනීම අභියෝගයක් නොවනු ඇත.

පොසොන්
අමාවක

 ජුනි 28 අඟහරුවාදා පූ.භා. 05.54 අමාවක ලබා 29 බදාදා පූ.භා. 08.23 ගෙවේ.  
28 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]