[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මධර විනයධර වියත් පඬිරුවන

ධර්මධර විනයධර වියත් පඬිරුවන

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගලගම ධම්මරංසි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

"දේශීය හා විදේශීයව ලබාගත් දැනුම් සම්භාරය ආශ්‍රයෙන් ද, අත්දැකීම්වලින් පිරිපුන් පරිණත බවෙන් ද, විචක්ෂණ බුද්ධියෙන් ද සම්භාවනාවට පාත්‍ර වූ ගලගම ධම්මරංසි නායක හිමිපාණන් වහන්සේ ජාතික, ආගමික, සාමාජික වශයෙන් අගය කළ යුතු උදාර සේවාවක නියැළෙන බහුශ්‍රැත පඬිරුවනකි."

අමරපුර මම්මවංශාභිධජ සිරිසද්ධම්ම යුක්තික මහා නිකායේ හිටපු මහා ලේඛකාධිකාරී බත්තරමුල්ල කොස්වත්ත ම්.ධ්.ඍ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ උපදේශක කොළඹ හත්බෝධි විහාරාධිපති බොරැල්ල සුසුමයවර්ධන විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගලගම ධම්මරංසි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මධර විනයධර ශ්‍රද්ධා සම්පන්න ආදර්ශවත් වියත් පඬිරුවනකි.

ළමා වියේ දී ම පුණ්‍යවන්ත වූ උදාර පැවිදි ජීවිතය ඇලුම් කළ උන්වහන්සේ උසස් ජීවන දර්ශනයක් ගොඩනඟාගත් යතිවරයාණන් වහන්සේ නමක් වශයෙන් ද ප්‍රකටය.

දකුණු පළාතේ මාතර ප්‍රදේශයේ පරවාහැර නමින් හඳුන්වන රමණීය ගැමි පරිසරයක ජීවත් වූ එමළින් බෝගහවත්ත සහ ජෝන් යන සදාදරණීය ශ්‍රද්ධා බුද්ධිසම්පන්න ගුණවත් මව්පිය දෙපළගේ පුණ්‍ය වන්ත පුත් රුවනක් ලෙසින් ජන්මලාභය ලැබූ උන්වහන්සේගේ ඥාතිවරුන් කිහිපදෙනකු ම උතුම් සම්බුද්ධ ශාසනයේ උත්තරීතර පැවිදිබව ලබා සිටි බැවින් පැවිදි ජීවිතය කෙරෙහි ඇතිවුණ ආකර්ෂණයත්, අතිපූජනීය වන්දනීය ගරුතර මහා සංඝරත්නය කුඩා කල සිටම ඇසුරු කරන්නට ලැබීමත්, සංසාරගත ව පුරණ ලද පාරමී බලයත් උන්වහන්සේගේ ජීවිතය වඩාත් ප්‍රභාෂ්වර වීමට හේතුවිය.

දෙවිනුවර ගන්දරාවත්තේ ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති ව වැඩ විසූ අමරපුර ධම්මවංශාභිධජ සිරි සද්ධම්මයුක්තික මහා නිකායේ අධිකරණ සංඝනායක නරවැල්පිට සිරි පියරතන නායක හිමිපාණන් වහන්සේගේත්, කොළඹ නාරාහේන්පිට සිරි හත්බෝධි විහාරාධිපති අමරපුර සද්ධම්මයුක්තික මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් වැඩ විසූ රාජකීය පණ්ඩිත නරවැල්පිට ධම්මරතන මහා නායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් වලස්මුල්ල ඕලුආර ශ්‍රී පූර්වාරාම මහා විහාරාධිපති ව වැඩ විසූ කණුමුල්දෙණියේ සිරිසෝරත මහා නායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1974 වර්ෂයේ දී ගලගම ධම්මරංසි යන උත්තරීතර ශාසනික නාමයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් ප්‍රවෘජ්‍යා භාවයට පත් වූයේ දෙවිනුවර ගන්දරාවත්ත ශ්‍රී නිග්‍රෝධාරාම මහා විහාරස්ථ පුණ්‍ය භූමියේ දී ය.

පැවිදි දිවියට ඇවැසි මූලික වත්පිළිවෙත් පුරුදු පුහුණු වූ උන්වහන්සේ මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරස්ථ ශ්‍රී රේවත පිරිවෙන, මාතර සුදර්ශී පිරිවෙන යන ලංකා ශාසනම්බරය ආලෝකවත් කළ දීප්තිමත් පරිවේණාස්ථානයන්හි වැඩ සිටි සාර භෞම වියත් ඇදුරු මඬුල්ලක් හමුවේ ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබූහ. ශාස්ත්‍රෝන්නතතිකාමිත්වයෙන් යුතුව ශාස්ත්‍රීය ශික්ෂණය ලැබූ ධම්මරංසි හිමිපාණෝ 1980 වර්ෂයේ දී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් ව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. එම කාල පරිච්ඡේදයේ ම නිසි වයස් සම්පූර්ණ වීමත් සමඟ උන්වහන්සේ පැවිදි කළ ආචාර්යපාදෝත්තමයාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි කළ උපාධ්‍යායන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1983 වර්ෂයේ දී ගාල්ල ගිං ගඟ නදී උදඛුක්ඛේප සීමාමාලකයේ දී උතුම් අධිශීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබීමට තරම් පූර්වෝකෘත පුණ්‍යමහිමය බලවත් විය. නිවැරැදි ශාසනික ප්‍රතිපදාවන් අනුගමනය කරමින් ශාසනානුලෝමී හැඟීමෙන් උදාර ශාසනික සේවාවක නිරත වූ පාණ්ඩිත්‍යයෙන් පිරිපුන් සංඝ පීතෘන් වහන්සේලාගේ අවවාද අනුශාසනා උන්වහන්සේගේ භික්ෂු ජීවිතය සාර්ථක වීමට හේතු විය.

1988 වර්ෂයේ සිට 1992 වර්ෂය දක්වා ලිබියාවේ අල්පාතා විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව ලබා ගත් උන්වහන්සේ එම කාල පරිච්ඡේදයේ දී කර්නල් අල් ගඩාෆි, නෙල්සන් මැන්ඩෙලා, සෑමි හුජුමා, යසර් අර්පත්, ඩැනියෙල් ඔටේගා, චාල්ස් ටේලර් වැනි නායකයන් හමුවී සාකච්ඡාකොට බොහෝ අත්දැකීම් ලබා ගත්හ. ලෝක ජාතික විමුක්ති ව්‍යාපාරයේ සිටි බොහෝ නායකයන් මුණ ගැසීමේ දුර්ලභ අවස්ථාව තුළින් ලබා ගත් දැනුම් සම්භාරය උන්වහන්සේගේ පැවිදි ජීවිතය ශක්තිමත් වීමට මනා පිටිවහලක් විය. නැවත ලංකාවට වැඩම කළ උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්හ.

උන්වහන්සේ ශාස්ත්‍රීය ලෝකයට දායාද කළ ග්‍රන්ථ වශයෙන් ජනවාර්ගික අර්බුදයට විසඳුම්, පංචශීල ප්‍රතිපත්තිය, මාපිය සංග්‍රහය, කාන්තා විමුක්තිය ආදී ග්‍රන්ථත්, නැවත සංස්කරණ ලෙස සතිපට්ඨාන හා භාවසන්නස හැඳින්විය හැකිය.

ජපානය, තායිලන්තය, මාලදිවයින, සිංගප්පූරුව, ඉන්දියාව, පාකිස්ථානය, ස්විට්සර්ලන්තය ආදී පෙර අපරදිග රටවල් තිහක පමණ ධර්මදූතයකු, පරිසරවේදියකු ලෙස කටයුතු කළ උන්වහන්සේ විදේශගත විහාරස්ථාන සම්බන්ධතා මත පදනම් ව ලංකාවේ සුබසාධන, ආධ්‍යාත්මික, අධ්‍යාපනික සංවර්ධනය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළහ.

සුනාමි ව්‍යවසනයේ දී නිවාස 500 කට අධික ප්‍රමාණයක් ඉදිකර දීමටත්, එම විපතේ දී නටබුන්ව පැවැති විහාරස්ථාන 36ක් නැවත නඟාසිටුවීමටත්, පාසල් දරුවන් 500කට අධික ප්‍රමාණයකට අවශ්‍ය පාසල් උපකරණ ලබා දීමටත් කටයුතු කළ උන්වහන්සේ කොරෝනා වසංගතය හමුවේදීත් ජනතාවට බොහෝ ආධාර උපකාර කළහ. අඩු ආදායම්ලාභී පවුල් සඳහා දිරියක් වීමට මහන මැෂීන් 1000කට අධික ප්‍රමාණයක් ලබා දුන්හ. බත්තරමුල්ල කොස්වත්ත ම්.ධ්.ඍ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ දී ද පුරෝගාමීව කටයුතු කළ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මරදාන සංඝරාජ විද්‍යාලය, තිඹිරිගස්යාය විද්‍යාතිලක විද්‍යාලය යන පාසල්වල ආචාර්යවරයකු වශයෙන් කටයුතු කරමින් ගුණ නැණ බෙලෙන් පිරිපුන් දරු පිරිසක් දැයට දායාද කිරීමට ද වෙහෙස වූහ.

දේශීය හා විදේශීයව ලබා ගත් දැනුම් සම්භාරය ආශ්‍රයෙන් ද, අත්දැකීම්වලින් පිරිපුන් පරිණත බවෙන් ද, විචක්ෂණ බුද්ධියෙන් ද සම්භාවනාවට පාත්‍ර වූ ගලගම ධම්මරංසි නායක හිමිපාණන් වහන්සේ ජාතික, ආගමික, සාමාජික වශයෙන් අගය කළ යුතු උදාර සේවාවක නියැළෙන බහුශ්‍රැත පඬිරුවනකි.

පොසොන්
අමාවක

 ජුනි 28 අඟහරුවාදා පූ.භා. 05.54 අමාවක ලබා 29 බදාදා පූ.භා. 08.23 ගෙවේ.  
28 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]