[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලජ්ජාව සහ බිය නැති තැන ඉවසීම ද නැත

ලජ්ජාව සහ බිය නැති තැන ඉවසීම ද නැත

ඝෝෂිත සිටාණන් එදා කොසඹෑ නුවර ඉදිකළ ඝෝෂිතාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ වසන සේක. නවවැනි වස් විසීම සිදුවූයේ ද මෙම විහාරයේ දී ම ය. බුදුරජාණන් වහන්සේ ජීවමානව ම වැඩ සිටි දවස්හි දිනක් මෙම විහාරයේ වැඩ සිටි විනයධර හා ධර්මධර ස්ථවිරයන් වහන්සේ දෙනමක් අතර කතාබහක් ඇති වුණි.

ධර්මධර ස්ථවිරයන් වහන්සේ වැසිකිළියට වැඩියේ, සිරුර කිස නිම කොට අතපය සෝදා බඳුනේ දිය මඳක් ඉතිරි කොට නික්ම ආහ. මෙය සුළු වරදක් බව සම්මත වූවකි.

ඉන් ටිකකට පසු විනයධර ස්ථවිරයන් වහන්සේ එහි වැඩියහ. බඳුනෙහි තිබූ ඉතිරි දිය දැක ධර්මධර ස්ථවිරයන්ගෙන් ඒ ගැන ඇසූහ. “ඔව්, ඇවැත්නි, යි පිළිතුරු දුන්හ. කිම ඇවැත්නි, එයින් ඇවැත් සිදුවන බව නොදනිහු දැ? යි ඇසීය. ‘නොදනිමි’ යි කී ය. ‘ඇවැත්නි, මෙයින් ඇවැත් (සුළු වරදක්) වේ යැයි විනයධර ස්ථවිර කීය. “එසේ නම් මම එයට පිළියම් කරමි’යි ධර්මධර ස්ථවිර කීය.

“ඔබ වහන්සේ එය නොදැන සිහි මද කමින් කළා නම් ඇවැත් නැතැයි කීය. විනයධර ස්ථවිරයන් ධර්මධර ස්ථවිරයන්ට එසේ කීවද, පසුව තම අතවැස්සන්ට ‘අර අපගේ ධර්මධරයා ඇවැතට පැමිණ ද, ඒ ඇවැත නොදනී’යැයි කීය. එවිට ඒ අතවැසි භික්ෂුහු ධර්මධර තෙරුන්ගේ අතවැස්සන්ට ඔබ වහන්සේගේ ගුරුවරයා ඇවැතට පැමිණ ද, ඇවැත නොදනී’යි නිග්‍රහ කළහ.

ඔවුහු සිය ගුරුන් වෙත ගොස් එය දැන්වූහ. එවිට ධර්මධර ස්ථවිරයන් වහන්සේ “මේ විනයධරයා මුලදී ඇවැත් නැතැයි කියා දැන් ඇවැත් යැයි කියයි. මොහු බොරු කියන්නෙකැ යි සිය අතවැස්සන් ඉදිරියේ කීයේ ය. එවිට ඔවුහු විනයධර ස්ථවිරයන්ගේ අතවැස්සන් ළඟට ගොස් “ඔබ වහන්සේගේ ගුරුවරයා බොරු කියන්නෙකැ’යි නිග්‍රහ කළහ. මෙයින් දෙපස අතර කෝළාහලයක් හට ගත්තේ ය.

මේ අරගලය ඉදිරියට ගියේ ය. විනයධර ස්ථවිරයන් විසින් ධර්මධර ස්ථවිරයන්ට උක්ඛේපනීය කර්මය කරනු ලැබුවේ ය. වැරැදි කළ භික්ෂුවක් ඒ වැරැද්දට පිළියම කර ගන්නා තුරු සංඝයා විසින් බැහැර කිරීමෙ විනය කර්මයකි. මෙතැන් සිට ඔවුන්ගේ ප්‍රත්‍යය දායකයෝ ද, උපස්ථායකයෝ ද, භික්ෂුහු ද, දෙවියන් බඹුන් ඇතුලු සියලු පෘථග්ජනයෝ ද දෙපසට බෙදුණාහ.

මෙසේ දියුණුව ගිය මේ අරගලය එක් භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් දන්වා සිටියහ. ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ “සමඟි වන්න’යි දෙවරක් ම ඔවුන්ට දන්වා වදාළ සේක. එහෙත් ඔවුහු සමඟි නොවූහ.

එවිට ඔවුන් වෙත වැඩම කොට විනය කර්මය පැනවීමෙහි වරද ද, ඇවැත් නො දෙසීමෙහි වරද ද වදාරා දෙපසට ම එක් සීමායෙහි වෙන වෙන ම පොහොය කිරීමට ද, දාන ශාලාවෙහි හිඳිනා විට අසුනක් හැර අසුනක් හිඳීම ද නියම කොට වැඩි සේක.

එහෙත් දබරය නොසංසිඳුණු බව අසා නැවතත් වැඩම කොට මහණෙනි, කෝළාහලය දරුණු ය. නපුරු ය. කෝළාහල නොකරවූ යැයි දේශනා කළහ.

කලහ විවාදයෝ මෙලොව, පරලොව දෙකේ දියුණුව නසන්නේ යැයි දේශනා කරමින් ලටුකික හා වට්ටක ආදී ජාතකයන් ද වදාළ සේක. එහෙත් ඔවුහු එය ද නොපිළිගත්හ.

එවිට තථාගතයන් වහන්සේ කලහය සංසිඳවීමට වන වෙහෙස දුටු වෙනත් භික්ෂු නමක් “ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ නිරුත්සාහීව වාසය කරන සේක්වා’යි කීයේ ය. මෙවිට ද තථාගත බුදුරජාණන් වහන්සේ දිඝිති කෝසල ජාතකය දක්වමින් මහණෙනි, යනුවෙන් ආමන්ත්‍රණය කොට දඬුගත්, අවිගත්, රජවරුන්ගේ පවා ඉවසීමත්, කීකරුකමත්, දුරදිග බැලීමත් මෙසේ නම්, මාගේ සසුන් පිළිවෙතෙහි හැසිරෙන ඔබලා සුළු කරුණකට මතභේද නොවිය යුතු ය. උනුන් කෙරෙහි ඇලුනේ වන්නහු නම් කලක් ඇසුරු කළේ හොඳ නිසා ය. සුළු කාරණයකට ඒ ඇසුර විනාශ කර නොගන්න. එය කොතරම් වටින්නේදැ යි අවවාද කළහ. එහෙත් සමගි කරන්නට නොහැකි වූ සේක.

එහිදී ‘දැන් මම මොවුන් හා එක්ව වසන්නේ වුව ද මා කියන දෙය නොපිළිගනිති. මම මොවුන්ගෙන් වෙන් ව තනිව වෙසෙමි’යි සිතා කොසඹෑ නුවරෙහි පිඬු සිඟා ගොස් භික්ෂූන් ගැන නොබලා පාත්‍ර සිවුරු ගෙන බාලකාලෙණක නම් විහාරයට වැඩියහ. මුව වනයෙහි වැඩ සිටි අනුරුද්ධ, කිම්බිල, නන්දිය යන ස්ථවිරයන් වහන්සේට සමගියෙහි අනුසසුත් වදාළ සේක. මෙම හමුවෙහි දී බුදුරජාණන් වහන්සේ අනුරුද්ධයෙනි, ඔබ සමගි ව වසන්නෙහි දැයි ඇසූ සේක. ‘වහන්ස, අපි සිරුරෙන් වෙන්වී මුත් සිතින් එකකු වනැ’යි කීහ. අනතුරුව බුදුරජාණන් වහන්සේ පාරිල්‍යෙයක වනයට වැඩි සේක. දස වැනි වස් කාලයෙහි පාරිලෙය්‍යක ඇත් රජුගේ උපස්ථාන ලැබ පාරිලෙය්‍යක වනයෙහි වස් විසූ අයුරු අපි අසා ඇත්තෙමු.

කොසඹෑ නුවර වැසියෝ ඝෝෂිතාරාමයට ගියහ. බුදුරජාණන් වහන්සේ නොදැක කරුණු විමසූහ. එහි වැසි භික්ෂූන් වහන්සේලාගෙන් සියලු කරුණු දැන ඔබ වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟ මහණ ව සමගි වන්නට කියද්දීත් සමඟි නොවී කර ඇත්තේ මහ වරදකි. ඔබ නිසා අපට බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්නට, වැඳුම් පිදුම් කරන්නට, දහමක් අසා දැන ගන්නට නොහැකි විය. එනිසා “අපි මින් ඉදිරියට ඔබ වහන්සේ වෙනුවෙන් කිසිවක් නොකරන්නෙමු ය’ යි කියා ආදර සංග්‍රහ සියල්ල නවතා දැමූහ.

උන්වහන්සේ ආහාර පානාදිය නොලැබීමෙන් ක්ලාන්තව ගියහ. ටික දිනයකින් ම ඔවුනොවුන් වරද පිළිගෙන සමගි වූහ. එහෙත් වස් කාලය හෙයින් බුදුරජාණන් වහන්සේ හමුව, වැඳ සමාව ගැනීමට නොහැකි විය. එහෙයින් ඉමහත් දුකට පත් වූහ.

මේ අතර බුදුරජාණන් වහන්සේ වනගත ව සිටින බවට අනේපිඬු, විශාඛා ආදී මහ උවසු උවැසියන්ට හා ජන ප්‍රධානීන්ට ආරංචි විය. ආනන්ද හිමියන් ප්‍රමුඛ පන්සියයක් මහණ පිරිස් එහි පිටත්කර යැවූහ. එහිදී මේ සියලු මහ පිරිස් ද ඇතුගෙන් උපස්ථාන ලැබ පසුව බුදුරජාණන් වහන්සේ එ පිරිස් සමඟ නැවත දෙවුරමට වැඩි සේක.

කොසඹෑ නුවර කලහකාරී භික්ෂූන් ද එහි එන බව කොසොල් රජුට ආරංචි විය. ඒම වැළැක්වීමට පියවර ගත් විට ඔවුන් කළ වරද පිළිගෙන මා කමා කර ගන්නට පැමිණෙන හෙයින් ඒමට ඉඩදෙන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ සේක. අනේපිඬු සිටු ද දුශ්ශීලයන්ට මගේ විහාරයට ඇතුල්වීමට ඉඩ නො දෙමි’යි කීවේ ය. තථාගතයන් වහන්සේ එය ද වළක්වාලූ සේක. පසුව ඔවුහු විහාරයට පැමිණිමුත් එහි රැස්වූවන්ගේ නිග්‍රහයට ලක්වූහ. ලජ්ජාවෙන් හිස් පවා ඔසවන්නට නොහැකිව ම බුදුරජාණන් වහන්සේ වැඳ කමා කරවා ගත්හ. එහිදී කෝසම්බි ජාතකය ද වදාරා

“මගේ වචනය නොපිළිගැනීමෙන් ඔබ කළේ මහ සැහැසිකමකැයි ද දේශනා කරමින් ඉහත ගාථාවෙන් දහම් දෙසූ සේක.

සම්ප්‍රාප්ත ව සිටි බොහෝ භික්ෂූන් වහන්සේ උතුම් සෝතාපත්ති ඵලයන්හි පිහිටියෝ ය.

පොසොන්
අමාවක

 ජුනි 28 අඟහරුවාදා පූ.භා. 05.54 අමාවක ලබා 29 බදාදා පූ.භා. 08.23 ගෙවේ.  
28 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]