[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නොනැමෙන සිතෙන් ඇද නැති වැඩ

නොනැමෙන සිතෙන් ඇද නැති වැඩ

හැම විටම සෘජු ගුණයෙන් යුත් අය වැනෙන ,චපල සිතිවිලිවලින් බැහැරව අයුක්තියට, අසාධාරණයට විරුද්ධ,නො නැමෙන සිතෙන් ,ඇද නැති කථා කරනවා වගේ ම නිරතුරුව ම කිසිදු බියක් සැකක් නැතිව ජීවත්වීමේ ශක්තිය ඇති කර ගන්නවා.

තැවෙන, ලතැවෙන, ගිනිගෙන, කකියවන මේ සසර ගින්නෙන් මිදීමට උත්සාහවත් වන අය වෙනුවෙන් කරණීයමෙත්ත සූත්‍රයෙන් ඉදිරිපත් කෙරෙන තවත් චරිත ලක්ෂණ දෙකක් අද දවසේ අපගේ මාතෘකාව බවට පත්වෙනවා.

ඒ ලක්ෂණ දෙක ලෙස .. උජු හා සූජූ ” යන්න පෙන්වා දෙන්නට පුළුවනි. කායික, වාචසික හා මානසික වශයෙන් අප විසින් ඇති කර ගත යුතු නොනැමෙන, ඇද නැති සෘජු ගතිය උජු යන්නෙනුත්, ඒ කියන උසස් ගුණදහම වඩාත් ස්ථිරසාර ලෙස පවත්වා ගැනීම සූජු ලෙසත් පෙන්වා දෙන්නට හැකියාව පවතිනවා.

සමාජ සම්මත ගුණධර්ම, සාධාරණ පැවැත්ම, යුක්තිගරුක බව වැනි ගුණධර්ම ක්‍රියාත්මක වන සමාජයක ජීවත්වන පුද්ගලයන් විසින් මඳ මඳ වශයෙන් ජනිතව ක්‍රමයෙන් දියුණු කර ගතයුතු චරිත ලක්ෂණ දෙකක් ලෙස මෙය පෙන්වා දෙන්නට හැකියාව තිබෙනවා.

හැම විටම සෘජු ගුණයෙන් යුත් අය වැනෙන ,චපල සිතිවිලිවලින් බැහැරව අයුක්තියට, අසාධාරණයට විරුද්ධ,නො නැමෙන සිතෙන් ,ඇද නැති කථා කරනවා වගේ ම නිරතුරුව ම කිසිදු බියක් සැකක් නැතිව ජීවත්වීමේ ශක්තිය ඇති කර ගන්නවා.

අපි දවස ගතකරනවා කියන්නේ පැය විසිහතරක් ගතකරනවා කියන එකයි. මේ පැය විසිහතරෙන් අප නොනිදා ජීවත්වන කාලය අඩුම වශයෙන් පැය 16 හෝ ඊට ඉතා ස්වල්පයක් අඩුවෙන් විය හැකි යි. ඉතින් ඉතිරි පැය 08 ක පමණ කාලය අප නින්ද වෙනුවෙන් වෙන් කරනවා. මේ අවදිව සිටින කාලය ගත කරන්නේ අපේ සිතට විවිධාකාර සිතිවිලි රැසක් එකතු කරමිනු යි. මේ සිතිවිලි නිර්මාණය වන්නේ අපේ ඇස, කන, නාසය, දිව හා ශරීරය යන ඉන්ද්‍රියයන් මඟින් ලබා ගන්නා අරමුණු හා අපේ සිත ස්පර්ශ වීමෙනු යි. ඉතින් එසේ අප ලබන අරමුණු කොයි තරම් දුරට යුක්තිගරුක ද? යන්න තීරණය වන්නේ ඒ වෙලාවට අපේ සිතේ ඇති වන ක්‍රියාකාරිත්වය අනුව යි. කෙටියෙන් ම කියනවා නම් ලෝභ, දෝස හා මෝහ යන මේ ප්‍රබල කෙලෙස් තුන එකී අරමුණුවලට පාදක වන ස්වභාවය අනුව යි.

මේ තත්වය පිළිබඳ අපේ බුදුරජාණන් වහන්සේ වම්මික සුත්‍රයේ දී හොඳ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරනවා. උන්වහන්සේ පෙන්වා දෙනවා වම්මික යන වචනයෙන් කියන්නේ තුඹස කියලා. ඒ තුඹස තමා අප දරා සිටින මේ ශරීරය. මෙහි ස්වභාවය තමා මේ ශරීරය රාත්‍රී කාලයේ දුම් දානවා. එයින් කියන්නේ දිවා කාලයේ කළ යුතු කටයුතු සම්බන්ධයෙන් තර්ක විතර්ක කරමින් ඒ පිළිබඳ විවිධ සිතිවිලි ඇති කර ගෙන ක්‍රියා කිරීම යි.

දවල් කාලයෙහි දිලිසෙනවා. ඒ මොකද? විවිධ කර්මාන්ත රැකියා හා වෙනත් කරුණු කාරණා ඉෂ්ට කර ගැනීම පිණිස දහදිය වගුරවමින් වෙහෙසනවා. ඉතින් අපි ජීවත්වන හැම තත්පරයක් ම එක්කෝ දුම්දාමින් ද ,නැතිනම් ඇවිළෙමින් තමයි ගත කරන්නේ. ඒ රාත්‍රී දුම් දැමීම යන්නෙන් අපේ මේ චිත්තසන්තානයෙහි ඇති වන රාග, ද්වේෂ, මෝහ, මාන, ඊර්ෂ්‍යා ආදි විවිධ අකුසල මූලයන් ඔස්සේ අපේ සිත ක්‍රියාත්මක වීම රත්වීමක්. ඒ රත්වීම වේගවත් වී ඇතුළේ ගිනිජාලා හට ගන්න තත්ත්වයට පත්වෙන කොට දුම් දැමීමක් හා සමාන වෙනවා.

ඉතින් ඒ රාත්‍රී කාලයේ පුද්ගල අභ්‍යන්තරය තුළ රත්වෙච්ච, ගිනි පිටවන්නට තරම් මෝරපු විවිධ සිතිවිලි උත්සන්ත වී ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ඒ ඇති කරගත් සිතිවිලි ක්‍රියාත්මක බවට පත් කරලීම යි. හැම විටම අපේ දවස ගත වන්නේ මේ කියන පිළිවෙල අනුව යි.

ඉතින් එහි දී පුද්ගලයාගේ මේ සන්තානගත හෙවත් මානසික ක්‍රියාවලිය පළමුවෙන් ම සන්සුන් කර ගැනීමේ අවශ්‍යතාව ඉස්මතු වෙනවා. එම කාර්යය වඩාත් හිතකර ආකාරයෙන් ක්‍රියාත්මක කර ගැනීමට නම් එහි දී අප විසින් ලබා තිබෙන මානසික හැදියාව අතිශයින් වැදගත් වනවා.

ඒ අනුව බලන කොට බහුල වශයෙන් දකින්නට ලැබෙන්නේ එවැනි පුද්ගලයා එළිපිට පෙන්වන චරිත ලක්ෂණයන්ට වඩා වෙනස් චරිත ලක්ෂණවලින් ඔහුගේ අභ්‍යන්තරය ක්‍රියාත්මක වන ආකාරය යි. එහිදී කිසි ලෙසකින් වත් එවැන්නකුගෙන් සෘජු බවක් අපේක්ෂා කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ වරක් කොසොල් මහරජතුමා හමුවේ දී ප්‍රකාශ කළේ පිටට පේන වර්ණවත්, රූමත්, දැකුම්කළු බවෙන් කිසියම් පුද්ගලයකු පිළිබඳ තීරණයකට පැමිණීමට නොහැකි බව. කෙනකුගේ යථා ස්වභාවය හඳුනා ගතහැකි වන්නේ දිර්ඝ කාලයක් ඇසුරු නිසුරු කිරීමෙන්, සාකච්ඡාවෙන්, මැනවින් විමසා බැලීමෙන් බවයි. මේ නිසා අපට මෙහි දී පැහැදිලිව පෙන්වා දෙන්නට හැකි වන්නේ උජු ගති ඇත්තන් සෙවීමේ කාර්යය දුෂ්කර වන බවයි.

සුජූ යන චරිත ලක්ෂණයෙන් අර්ථ දක්වන්නේ මෙතෙක් ප්‍රකාශ කෙරුණු සෘජු ගුණය වඩාත් ස්ථිර සාර ලෙස ක්‍රියාත්මක කිරීම යි. බොහොම සාර්ථක චිත්ත ධෛර්යයෙන් ඇති කර ගත් අවංක බව හෙවත් සෘජු ගුණය කිසිදු බාධකයකින් තොරව ස්ථිර වශයෙන් පවත්වා ගෙන යාමයි. සැබවින්ම අප සමාජයේ ජීවත්වන විට එවැනි ස්ථිරසාර ලෙස ගොඩ නඟාගත් ඍජු ගුණය මොනම ආකාරයකින්වත් යටපත් වන්නට ඉඩ නොදී ක්‍රියාත්මක කිරීම යි අපට මෙහිදී වැදගත් වන්නේ.

මේ සෘජුගුණය ඉවත්වීමට ඇති වන ප්‍රධාන හේතුව වන්නේ බලවතුන්ට කීකරු වීමත්, නොයෙක් ලාභ ප්‍රයෝජන කෙරෙහි ගිජු වීමත් බව පැහැදිලි කරුණක්. ඡන්ද, දෝස, භය හා මෝහ යන සතර අගතියෙන් පෙළෙන තැනැත්තා මේ විදිහට ඇත්තට පිටුපා ක්‍රියා කරනවා. මේවා පුද්ගල සිතේ ඇති වන චිත්තවේග යි.

මිතුරුබව, බල තණ්හාව, නෑදැහිතවත්කම ආදි කරුණුවලට පමණට වඩා ගැති වුවහම ඕනැම කෙනෙක් මේ සෘජුගුණයෙන් පිරිහෙනවා. ඒකට හොඳම උදාහරණය තමා දේශපාලන පක්ෂපාති බව. කුමන පක්ෂයක හෝ ගැතිවීම තුළ සිදුවන්නේ සත්‍යය වසන් වීමට මඟ සලසා ගැනීම යි.

මේ අතර අප සන්තානයේ කාලාන්තරයක් තිස්සේ පැසවමින් පවත්නා ද්වේෂය ද පුද්ගලයා අන්දමන්ද කර සත්‍යයෙන් වළකාලනවා. ද්වේෂයෙන් අගතියට පත් පුද්ගලයා අර්ථ අනර්ථය තේරුම් නොගෙන ක්‍රියාකිරීම මහත් අනර්ථයක් ලබා දෙන ඛේදවාචකයකට මඟ පාදනවා. කෙසේ වුවත් මෙය ද හේතු වීමෙන් සෘජු බව ගිලිහෙනවා.

සහජයෙන් ම අප තුළ පවත්නා තවත් මානසික තත්වයක් වන භය ද සත්‍ය වසන් කරන තවත් ආවේගයක් බව පෙන්වා දෙන්නට පුළුවනි.

ඒ වගේම තමා මෝහයෙන් වෙළුණු තැනැත්තාගේ ස්වභාවය. මෝහය කියන වචනයේ අර්ථය වන්නේ මුළාව යන්න යි. අප තේරුම් ගත යුත්තේ සත්‍යය වසාලන මේ අගති ආවේගයන්ගෙන් අපේ මනස ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම යි. මේ උජු කියන සෘජු ගතිය ඇති කර ගෙන, සූජු කියන එහි ඇද නැති, වැනෙන්නේ නැති ස්ථිරසාර සෘජු ගතිය තහවුරු කර ගැනීමටත් අවශ්‍ය කරන කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කර දී තිබෙනවා.

ඉන් පළමුවැන්න සත්පුරුෂ හෙවත් කල්‍යාණ මිත්‍රයාගේ ඇසුර යි. ඒ නිසාම ශ්‍රද්ධාව හෙවත් තුනුරුවන් විෂයයෙහි ඇති ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගන්නවා. ඒ ශ්‍රද්ධාව දියුණු කර ගත් තැනැත්තා සැම අරමුණක්, ක්‍රියාවලියක් සම්බන්ධයෙන් තැන්පත්ව නුවණින් මෙනෙහි කර තම සිහිය මැනවින් පහිටුවා ගෙන මනා සිහියෙන් යුක්තව කල් යවනවා. ඒ තුළින් මනා ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගෙන සිත, කය, වචනය යන තිදොර සංවර බවට පත් කර ගන්නවා. තවත් විදියකින් කියනවා නම් සුචරිතවත් අයකු බවට පත් වෙනවා. ඇද නැති, වැනෙන්නේ නැති,කිසිවකට කම්පා නොවන ගති, සෘජුගති ඇති ඒ ඇති කරගත් සෘජු ගුණය සුස්ථිර කර ගත්, සූජු ගුණය සඵල කර ගත් ආර්ය ශ්‍රාවකයකු බවට ද පත්වෙනවා.

කරණීයමෙත්ත සූත්‍රයේ එන උජු හා සූජු යන ගුණ හෙවත් චරිත ලක්ෂණ දෙකින් අපට පෙන්වා දෙන්නේ මේ තත්වයන් ඇති කර ගැනීමට අවශ්‍ය පිළිවෙතෙහි පිහිටීමේ වටිනාකම යි.

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]