ගැඹුරු දහමක් සරලව අවබෝධ කළ උපමා උපමේය
වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරවාසී
ශාස්ත්‍රවේදී
වැලිපත
ධම්මාරාම හිමි
දිනක් ජානුස්සෝණි බ්‍රාහ්මණයා අමතා බුදුරජාණන් වහන්සේ වදාළ “චුල්ලහත්තිපදෝපම”
සූත්‍රය එදා මිස්සක පර්වතය අභියස මිහිඳු හිමියන් ලක්දිව නරපති දෙවන පෑතිස් රජුට
දේශනා කළහ. යමෙක් සන්සුන් මනසකින් මේ පිළිබඳ අවබෝධ කරගන්නේ නම්, මෙහි ඇති ප්‍රබල
ඥානමාර්ගය ප්‍රත්‍යක්‍ෂ වේ.
“මහ රජතුමණි, ඇතුන් වසන වනයකට ඇතුල්වන්නකුට දිගු පුළුල් ඇත් අඩි පියවර දුටුවහොත් ඒ
පිළිබඳ ව අවබෝධය ඇත්තා එය මහ ඇතකුගේ පියවර යැයි එකවර තීරණයකට නොපැමිණේ.” හේතුව
“වාමනිකා” නම් මහ ඇතින්නගේ පියවර ඇති හෙයිනි.
එසේම “මහරජතුමණි, තව තවත් වනයේ ඉදිරියට යනකොට මහා ඇත් අඩි පියවර හා
උස් ගස්වල අතු කඩාදමා ඉහළින්ම දළ පහර ගසා තිබෙනු දක්නට පුළුවනි. ඒ පිළිබඳ ව මනා
අවබෝධය ඇත්තා එය මහ ඇතකුගේ යැයි තීරණයට නොපැමිණේ.” හේතුව “උච්චාකාළාරිකා” නම්
ඇතින්නගේ අඩි ද විශාල හෙයිනි. එනිසා පූර්ව නිගමනය වෙනස්වෙන නිසා අවබෝධයක් ඇති
තැනැත්තා වනයේ තවතවත් ඉදිරියට යයි. එවිට ඔහුට දකින්නට ලැබේවි මහ ඇතු. එවිට මැනවින්ම
තීරණය නිවැරැදි යැයි ප්‍රත්‍යක්‍ෂ වේ.
“මහරජතුමනි, මේ උත්තම බුද්ධ ශාසනයත් එසේ ම ය. සිව්වනක් පිරිස බුද්ධ ශාසනයට
ඇතුළු වෙද්දී ඉතාම ප්‍රසාදයට පත්වේ. ධර්මයෙහි මුල, මැද, අග මනාව අවබෝධ වූ පසු
ශීලයෙන්, ඉන්ද්‍රීය සංවරයෙන්, මනා සතියෙන් ඉදිරියට යයි. භාවනාව වඩයි. “ධ්‍යාන
සමාපත්ති” ලබා ගනී. එතැනින් නොනැවතී “පුබ්බේනිවාසානුස්සති ඥාණය “චුතූපපත්ති” ඥානය
ලැබෙයි.
එහෙත් අවසන් අවබෝධය යැයි තීරණය නොකරයි. ප්‍රත්‍යක්‍ෂ නොකරයි. ඉදිරියටම යයි.
කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා අවිද්‍යා ආශ්‍රවයන්ගෙන් සිත මුදවා නැවත නැවත ඉපදීම
නතර කරන මාර්ගඵල අධිගමනයට පැමිණ අරහත් ඵලය පරමනිෂ්ට නිර්වාණය පසක් කරගනී.
“මහ රජතුමනි, ශාස්ත්‍රය ශිල්පය දන්න පුද්ගලයා කුඩා ඇත් අඩි මහ ඇත් අඩි දැක එකවරම
තීරණය නොකළා සේ ධර්මය පිළිබඳවත් එසේ ම ය. මේ පිළිබඳ මනා සිහියෙන් අවබෝධයෙන් සිටී.
දෙවන පෑතිස් නිරිඳු ශ්‍රේෂ්ඨ වූ තථාගත දහම පිළිබඳ මහත් වූ චිත්ත ප්‍රසාදයට පත්විය.
එදා මිහින්තලාවේ දී දේශනා කළ මේ සූත්‍රය කෙතරම් ගැඹුරු ද? උපමා උපමේය සංසන්දනය ඉතාම
ශ්‍රේෂ්ඨ ය. ඇතුන් වනයේ සැරිසැරීම පංචනීවරණ ප්‍රහාණය යි. මේ බුදුන් වදාළ දහම යි.
ඇතුන් පිළිබඳ අවබෝධය ඇත්තා යනු ධර්ම මාර්ගයට පිළිපන් පිළිවෙත් පුරන්නා ය. ලොකු ඇත්
අඩි ලෙස දැක්වූයේ සතර කර්මක්ලේශ ප්‍රහාණයෙන් ලබන උතුම් නිවන යන්න යි. ධර්ම මාර්ගයට
පිළිපන් පුද්ගලයා අතරමඟ නතර නොවේ. විමර්ශනය කරයි. ආර්ය මාර්ගය සොයයි. පරම සත්‍ය
අවබෝධයෙන් පසු ස්ථීර කරගනී. හෙළ බුදු සසුනේ මංගල ශීලාව ලෙස “චුල්ලහත්ති පදෝපම”
සූත්‍රය පෙන්වා දිය හැක.
දොරටු අරින ලද ළඟ පිහිටි ගෙවල් දෙකක් අතර සිටින යම් පුද්ගලයකු ඒ ඒ ගෙට
ඇතුල්වන්නේත්, පිටවන්නේත් මැනවින් දන්නා සේ ය. තමන් වහන්සේ ද උපදින සත්වයාගේ චුති
සිත කෙසේ ද යන්න හොඳීන් දන්නා බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
වැඩිහිටියන්ට, මව්පියන්ට, ශ්‍රමණයින් වහන්සේලාට නොසලකන පවේ ඇලුණු ගැලුණු යමෙක්
මරණින් මතු නිරයේ උපදී. අපායේ දී යමපල්ලන් විසින් යම රජුවෙත ඔහු කැඳවාගෙන යයි.
යමරජු විසින් මරණයේ දුකත්, ජීවිතයේ නිසරු බවත් පැහැදිලි කරන දේවදූතයන් දුටුවා ද?
යනුවෙන් ප්‍රශ්න කරයි. ඔබ දුටුවාද තමන්ට කිසිවක් කරකියාගත නොහැකිව උපදින දරුවා මල
මුත්‍රා ගොඩේ වැටී නිදන ආකාරය. ඒ පළමු දේව දූතයා ය. තමා ආශාවෙන් පරිහරණය කළ
රැක ගත් ශරීරය කෘෂවී වැහැරී ජරාවට පත් මහල්ලා දුටුවා ද? ඒ දෙවන දේවදූතයා ය.
අපරාධවලට අසුවී රාජ දඩුවම් ලබා කසපාර කන, වේදනා විඳීන පුද්ගලයා දුටුවා ද? ඒ තෙවැනි
දේවදූතයා ය. ඔබ ජීවිතයේ නිසරුබව දුටුවා ද? මළ මුත්‍රා ගොඬේ එක් තැන් වී දුක් විඳීන
ලෙඩා දුටුවා ද? ඒ හතරවැනි දේව දූතයා ය.
මෙසේ යමරජු සතර අපාය සංජීවය, කාළ සූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය,
ප්‍රතාපය, අවිචිය තත්ත්වය දකින්නට සලස්වනු ඇත.
මෙසේ ඉතා වටිනා ධර්ම කරුණු රාජවාසලේ දී දේශනා කිරීමෙන් පසු දෙවන පෑතිස් මහ රජු අගනා
දහම් පණිවුඩය සිත් සතුටින් පිළිගන්නා ලදී.
අනුබුදු මිහිඳුහිමියන් ලක්වැසි දනන් හට හඳුන්වාදුන් ඒ නිර්මල බුදු සමය සමඟ මෙරට
ආගමික, ජාතික, සංස්කෘතික හා සාමාජික නවෝදයක් ඇති විය. මිනිසාගේ ක්‍රියා කලාපය
සිතුම් පැතුම්, අදහස් උදහස් පූර්ණ වෙනසකට බඳුන් විය. එදා සිට අද දක්වා ලක්දිව බුදු
සසුන ඔපවත්ව බබළවන්නට ලක්වැසි දනන් කැපවනුයේ එනිසාම ය. ඒ අනුව රටේ රජුගේ පටන් හුදී
ජනයා දක්වා හදවත් තුළ මුල් බැසගත් ආගමික ශ්‍රද්ධාව හා ධාර්මික ආර්ථික රටාව, දැහැමි
පෝෂණය අනොන්‍ය සුහදතාවය, ආගමික සහජීවනය, ජාතික එකමුතුව බුදු දහමේ හර පද්ධතීන් ය.
එදා මෙදා තුර ගිහි පැවිදි දෙපාර්ශවය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වශයෙන් සිව්වනක්
පිරිස එකට ඇද බැඳ තබන්නට උතුම් බුදු දහමට හැකියාව ලැබුණි. |