[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විමසිලිමත් බව පසුතැවිලි නැති කරයි

විමසිලිමත් බව පසුතැවිලි නැති කරයි

නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

න තං කම්මං කතං සාධු - යං කත්වා නානු තප්පති
යස්ස අස්සුමුඛො රොදං - විපාකං පටිසෙවති

"සමාජයෙන් පුද්ගලයාටත්, පුද්ගලයාගෙන් සමාජයටත් චින්තනය සම්පේ‍්‍රෂණය වන බැවින් අන්‍යොන්‍ය වශයෙන් වරද ආරෝපණය කිරීම තමාගේ යුතුකම පැහැර හැරීමේ වංචාවකි."

“සුපින්වත්නි,

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි සීසාන ගොවියකු අරභයා මෙම ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක.

සැවැත්නුවර වාසී ගොවියෙක් නුවරට නුදුරු කුඹුරක් සානා පිණිස අලුයම කුඹුරට ගොස් ඉර අව්වෙන් වන පීඩාව නිසා හැකි ඉක්මනින් සී සාන්නට විය. රාත්‍රි භාගයේ සොරු කණ්ඩායමක් ඉසුරුමතකුගේ ගෙයක් බිඳ ධනය රැසක් සොරාගෙන මෙම කුඹුර මතින් ගොස් බෙදා ගන්නා විට එක් සොරකුගේ දහසින් බැඳි පියල්ලක් වැටී, ගෙන යන්නට අමතක විය.

අප බුදුරජාණන් වහන්සේ අලුයම මහා කරුණාවෙන් ලොව බලා වදාරණ සේක් මෙම ගොවියාට වන යහපත බලා වදාරා ආනන්ද හිමියන් සමඟ මෙම කුඹුර සමීපයට වැඩි සේක. මසුපියල්ල වැටී ඇති තැනින් වඩිනවිට බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතමින්

‘ආනන්ද, විස සර්පයා දුටුවේ දැයි විචාළ සේක.

ආනන්ද හිමි පිළිතුරු දෙමින්”ස්වාමීනි විස සර්පයා දුටුවෙමි'යි කීය.

ගොවියා ද බුදුරදුන් වැඩිය පසු එ තැන පරික්ෂා කරනුයේ සර්පයකු නොව මසු පියල්ලක් දැක එය වළලා සුරක්ෂිත කොට සීසාන්ට පටන් ගත්තේ ය. සොරු ගිය පා සටහන් අනුව රාජ පුරුෂයෝ ධන හිමියා සමඟ අවුත් පරීක්ෂා කොට මසු පියල්ල තිබූ තැනින් ගෙන ගොවියාට අවලාද කියා තලා පෙළා රාජ දඬුවමට ගෙන ගියහ.

ගොවියා ද අසරණ ව

“ආනන්ද විස සර්පයා දුටුවේදැයි” කීප විටක් ම කීවේ ය. රාජ පුරුෂයෝ එම ප්‍රකාශයේ අර්ථය කුමක්දැයි ඇසූ විට ගොවියා සියලු සිද්ධීන් රාජපුරුෂයන්ට විස්තර කිරීමෙන් අනතුරුව ගොවියා රාජ දඬුවමින් නිදහස් විය.

අප බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය නිමිති කර ගෙන මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.

යමෙක් යමක් කිරීමෙන් පසුතැවිලි වන්නේ ද, තැවෙන්නේ ද, කඳුළු සළන්නේ ද එවැනි කර්ම නොකිරීම යහපත් ය. එවැනි කර්ම කිරීමෙන් විපාක විඳින්නේ ය.

මෙම ගාථා ධර්මයෙන් ප්‍රධාන කාරණා කීපයක් ගම්‍ය වේ.

යමක් කිරීමට පෙර සිහිබුද්ධියෙන් කල්පනා කිරීම, සෑම කර්මයක ම විපාකයක් ලැබීම , පාප කර්මවලට අනිටු විපාක ලැබීම හා පින්කම්වලට ඉෂ්ට විපාක ලැබීමය.

නවීන විද්‍යාත්මක උපයෝගීතාවන් ඉතා සාහසික ලෙස තමන්ගේ ආත්මය සඳහා භාවිත කිරීමෙන් පාප ක්‍රියාවන් බහුල වශයෙන් සිදු වන්නේ ය. ශිෂ්ටාචාර ධර්මයන් ඉතා සුලුකොට සලකා ප්‍රාණඝාතා දී පස්පව් ක්‍රියාත්මකවීමෙන් මානව සමාජයට ම පසුතැවිලි වන්නට සිදුවීම ලෝකයේ උදාර ශිෂ්ටාචාරයන්ට මහත් අභියෝගයකි.

දැනට ක්‍රියාත්මක වන පස් පව්, දස අකුසල් නිසා සමස්ත ලෝකය ම ත්‍රාසයෙන්, භීතියෙන්, සැකයෙන් වෙළී පැටලී සිටී. එබැවින් ආගමික නායකයන්, රාජ්‍ය පාලකයන්, බුද්ධිමතුන්, එක්සත්ව එක්සිත්ව වර්තමාන ලෝක ජනතාවට ශාන්තියක් ලබා දීමට යෝග්‍යවන ක්‍රියාමාර්ගයක් ගත යුතු වන්නේ ය.

සත්වයාගේ ක්‍රියාකාරිත්වය ම කර්මය වශයෙන් හඳුන්වන අතර පරිසරය අනුව, කෙනකු පවට හෝ පිනට යොමුවන බැවින් සමාජයක් දුෂණය වන්නේ සමාජයේ ම වරදින් බව අප බුද්ධිමත් ව සිතා ක්‍රියා කළ යුතු ය.

විශේෂයෙන් සමාජයෙන් පුද්ගලයාටත්, පුද්ගලයාගෙන් සමාජයටත් චින්තනය සම්පේ‍්‍රෂණය වන බැවින් අන්‍යොන්‍ය වශයෙන් වරද ආරෝපණය කිරීම තමාගේ යුතුකම පැහැර හැරීමේ වංචාවකි.

අප බුදුරජාණන් වහන්සේ විසින් ඉතා කරුණාවෙන් පෙන්වා වදාළ උතුම් ධර්ම මාර්ගය පිළිබඳ අවබෝධයක් ලබා ගෙන පෙරමඟ හොඳින් සකස් කර ගන්නේ නම්, තම තමන් කරන කියන කර්මයන් ගැන පසුතැවිලි වන්නට අවශ්‍ය නැත.

මෙම ධර්ම දේශනාව කියවා ධාරණය කර ගැනීමෙන් පසුවට පසුතැවිලි වන ලෙස ක්‍රියා නොකරන්නට අදිටන් කර ගන්න.

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusara[email protected]