[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංකුර පාලි පද්‍ය රචකයකුගේ කුසලතාව පළකරන “සිරි සරණංකර සංඝරාජ ථෙරාපදානය”

අංකුර පාලි පද්‍ය රචකයකුගේ කුසලතාව පළකරන “සිරි සරණංකර සංඝරාජ ථෙරාපදානය”


දෙදියගල නන්දරතන හිමි

මහනුවර අස්ගිරි මහාවිහාර මහා පිරුවන්හි ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණ සිදු කොට ප්‍රාචීන පණ්ඩිත උපාධිය සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටින දෙදියගල නන්දරතන සාමණේරයන් වහන්සේ මැයි මස 25 වැනි දින මහනුවර මල්වතු මහාවිහාරයීය රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී ස්වකීය උපසම්පදාව නිමිත්තෙන් සිරි සරණංකර සංඝරාජ ථෙරාපදානය නමින් පාලි ගාථා 128 කින් යුත් නිබන්ධනයක් මල්වතු මහාවිහාරයීය

විංශත්වර්ගික කාරක සංඝසභාව වෙත ඉදිරිපත් කොට අතිපූජ්‍ය ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අනුනාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ සංඝ සභාවේ මහත් ප්‍රසාදයට පත් වූහ.

බෝධිසත්ත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝ රාජෝත්තමයාණන් වහන්සේ නූතන ශාසන පුනරුද්දීප්තියේ ආදි කතෘවරයාණන් වහන්සේ යි. සම්බුද්ධ ශාසනයත්, භාෂා ශබ්ද ශාස්ත්‍රයනුත් පිරිහී පැවති යුගයක ලංකා ධරණී තලයෙහි ශ්‍රී සම්බුද්ධ ශාසනය පුනර්ප්‍රතිෂ්ඨාපනයෙහිලා අප්‍රතිහත ධෛර්යයෙන් විචක්‍ෂණශීලිව කටයුතු කළ සරණංකර සංඝරාජෝත්තම චරිතය අළලා රචනා වී ඇති ග්‍රන්ථ රාශියකි. 18 වැනි සියවස වන විට ලක්දිව පැවති සමාජ, ආර්ථික හා දේශපාලනික බිඳ වැටීම මෙන්ම ශාසනික පරිහාණිය පිළිබඳ ඓතිහාසික තොරතුරු ඇතුළත් එකී ග්‍රන්ථ සමුදාය මගින් ප්‍රක්‍ෂේපිත ශ්‍රී සරණංකර සංඝරාජ චරිතාපදානය අද්‍යතන ශාසනික ගැටලු නිරාකරණයෙහිලා ද සපයන පිටිබලය සුවිසල් ය.

එකි මහානීය චරිතාපදානය වස්තුවිෂය කොට ගනිමින් පාලි භාෂාවෙන් පද්‍ය කාව්‍යයක් ඉදිරිපත් කිරීමට දෙදියගල නන්‍දරතන හිමියන් විසින් කටයුතු කිරිම අතිශය ප්‍රශංසාර්හ කටයුත්තකි. ප්‍රාචීන අධ්‍යාපනය නිමකරමින් යතිවරයාණන් වහන්සේ නමක් ලෙස ස්වකීය පාලි භාෂා පාණ්ඩිත්‍ය, ගාථා බන්ධනයේ ඡෙකත්වය මෙන් ම, සරණංකර සංඝරාජෝතතමයාණන් විෂයෙහි ස්වකීය ගෞරවය ද මනාව විශද කිරීමට මේ තුළින් නන්‍දරතන හිමියන් සමත් ව ඇත.

මල්වතු මහාවිහාරානුයත්ත දක්‍ෂණ ලංකාවේ අති සම්භාවනීය සංඝ පරම්පරාවක් වන තෙල්වතු සංඝපරම්රාවට අයත් දහර භික්‍ෂුවක් ලෙස සිය අධිශීල සංඛ්‍යාත උපසම්පත්තිය නිමිති කොටගෙන මෙවැනි මහැඟි ශාස්ත්‍රීය ව්‍යායාමයකට ප්‍රවේශ වීම ම නන්‍දරතන හිමියන් තුළ පවත්නා ශාස්ත්‍රකාමීත්ව ප්‍රකාශ කරන්නකි. ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් සමස්ත ලංකා දෙවැනි ස්ථානය ලබාගෙන ශෝභාවත් අධ්‍යාපන පසුබිමකට හිමිකම් කියන දෙදියගල නන්‍දරතන හිමියන් හට තවදුරටත් මෙවැනි විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ සිදු කීරිමට ශක්තිය ධෛර්යය ලැබේවා’යි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]